Tuesday 28 May 2013

නේපාල අංක එකේ ධන කුවේරයාගේ ඇස යාපනයට


සුප්‍රකට ෆෝබ්ස් සඟරාවට අනුව නේපාලයේ සිටින ඇමරිකානු ඩොලර් බිලියනයක වත්කම් හිමි එකම ව්‍යාපාරිකයා වන බිනෝඩ් චෞද්රි නැමැත්තා මෙරට සිදුකරන සංචාරක කර්මාන්තයට අදාළ ආයෝජන පුළුල් කිරීමටත් උතුරේ සිමෙන්ති කම්හලක් ආරම්භ කිරීමටත් සූදානම් වනබව වාර්තා වේ.

මේ පිළිබඳව වාර්තා කරන “ඩේලි මිර්ර්“ පුවත් පත සඳහන් කරන්නේ වසරකට මෙට්‍රික් ටොන් 600,000 ක සිමෙන්ති නිපදවීමට සැලසුම් කර තිබෙන මෙම කම්හල ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් යාපනය අර්ධ ද්වීපයෙන් ලබාගැනීම සඳහා චෞද්රි මේ දිනවල ඉඩම් හිමියන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.
මෙම සිමෙන්ති කම්හල ඉදි කිරීමට ඩොලර් මිලියන 100 ක පමණ ආයෝජනයක් කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන්ය.
මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීමේ කාර්යංශය විසින් මේ වනවිටත් මෙම කම්හල සඳහා මූලික අවසරය ලබාදී තිබේ.
යාපනය අර්ධද්වීපයේ සිමෙන්ති නිෂ්පාදනය කිරීමට ගන්නා උසස් තත්ත්වයේ හුණුගල් නිධි ඇත.
චෞද්රිගේ සමාගම මීට අමතරව ඩොලර් මිලියන 15 ක පමණ මුදලක් නුවර පිහිටි හෝටලයක් සඳහා ජෙට් වින්ග් සමූහය සමග එක්ව ආයෝජනය කිරීමට සූදානම් වන බවද සඳහන්ය.
මීට අමතරව, ඔහුගේ සමාගම් සමූහය හැටන් ප්‍රදේශයේ පිහිටි බංගලා තුනක් හෝටල් බවට පරිවර්තනය කිරීමට සූදානම් වන බවද වාර්තා වේ.
2013 වනවිට චෞද්රි සතුවූ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වේ.

No comments:

Post a Comment