Tuesday 18 June 2013

රට සුන්දරකරණයේ ත්‍රස්තවාදයට යටවෙලා... සමහරු කට අරින්නේ කේක් කන්න විතරයි

මේ රටේ සමස්ත සංස්කෘතියේම සහ තීරණ ගැනීමේ සහ කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙනවා. මේ ආණ්ඩුව කි‍්‍රයාත්මක වෙන්නේ අලුත්ම ත‍්‍රස්තවාදයක් මතයි. එය සුන්දරකරණයේ ත‍්‍රස්තවාදයයි. එයට සියලූ දේවල් කැප කරනවා. නගර සංවර්ධනය කරනවා කියලා සියලුම දේවල් ආණ්ඩුවට ඕන විදියට කරගෙන යනවා. යැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා කියා සිටියේය.
අද (18) පෙරවරුවේ මරදාන, ඩීන්ස් පාරේ සමාජය හා සාමූහික කේන්දුයේදී සමාජවාදී කලා සංගමය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියේය. මෙම අවස්ථාවට සමාජවාදී කලා සංගමයේ ප්‍රේමරත්න තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විනී හෙට්ටිගොඩ, ප්‍රවීණ චිත්‍ර ශිල්පී අනුර ශ්‍රීනාත්, ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා යන මහත්වරුන් සහභාගි වූහ.
සංවර්ධනය යනු තාර හෝ කොන්කී‍්‍රට් නොවේ. සංවර්ධනයෙන් ප‍්‍රතිලාභ උදාකර දෙන්නේ ජනතාවට නම් ඔවුන් සමඟ ඒ පිලිබඳ සාකච්ඡා කළ යුතුයි. එවැනි සංස්කෘතියක් අපේ රටේ නැහැ. යහපත් සමාජයක් ගොඩනගන්න නම් අපේ සහයෝගයත් ලැබෙනවා. ඒ නිසා අපට තිබෙන එකම කලාභවන දායාදයක්. එය කඩා ඉවත් නොකළ යුතුයි. උරුමය රකින අය, අනුවන කලාමණ්ඩලවල ඉන්න අය මොකද මේ ගැන කරන්නේ. ඒ අය කේක් කන්න විතරද කට අරින්නේ. ජනතා මුදලින් ජනතාව විනාශ කරන සංවර්ධන ව්‍යාපෘතිවලට හා කියාගෙන ඉන්නවාදැයි චන්ද්‍රගුප්ත තේනුවර මහතා එහිදී ප්‍රශ්න කර සිටියේය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්...
මේ වන විට අපිට කට කතා ඇහෙමින් තිබෙනවා. කලින් නිවේදන එන්නේ නෑ. ඉන් පසු කට කතා නීතිය බවට පත් වෙලා ක‍්‍රියාත්මක වෙනවා. අපේ රටේ අලූත් ආකල්පයක් තිබෙනවා සංවර්ධනය ගැන. නමුත් එම සංවර්ධන මේනියාව සංදර්ශන මේනියාවකින් ඉවර වෙනවා. ජනතාවට සෙතක් සැලසෙන්නේ නෑ. ආර්ථිකය සංවර්ධනය කරන්නේ ආණ්ඩුව ගෙදරින් ගෙනා සල්ලිවලින් නොවෙයි. ජනතාව ඇපයට තියලා ගන්න ණය ගෙවන්න වෙන්නේ ජනතාවටයි. එනිසා ජනතාවට සෙතක් වෙනවා නම් අපිට ඒ පිළිබඳව ගැටලූවත් නැහැ.
දැන් ආණ්ඩුව කරන්න යන්නේ අලූතින් ආව අඟට හරියන විදිහට පැරණි කණ හදන්න යන එකයි. ඒ කියන්නේ නෙළුම් පොකුණට ගැලපෙන විදිහට ජෝන් ද සිල්වා රඟහල පරිශ‍්‍රය නවීකරණය කරන්න යන එකයි. මේ ආරම්භ කළේ 1913 දී මේ වන විට අවුරුදු 100ක් පමණ වෙන ඉතිහාසයක් මෙයට තිබෙනවා. සීගිරිය වගේම කලා භවනටත් ඉතිහාසමය වටිනාකමක් තිබෙනවා. නූතන කලාව ප‍්‍රදර්ශනයට ඉදිවූ තැනක්.
ලංකාවේ සංස්කෘතිය කන්නේ සංස්කෘතික අමාත්‍යංශයයි. අමාත්‍යංශය නැති කාලේ අපිට හොඳ සංස්කෘතියක් තිබුනා. ආනන්ද කුමාරස්වාමි මාවත වහලා දැම්මා. ඒ වගේම මිනිසුන්ගේ කටත් වහලා දැම්මා.  දැන් කොළඹ හරියට අලූතින් මුදාගත් ප‍්‍රදේශයක් වගේ. හැබැයි කලා භවන මුදාගන්න බැරිවෙලා. මේවට වගකියන කලා මණ්ඩල අනු මණ්ඩල තිබෙනවා. ඒවා අනුවන මණ්ඩල බවට පත් වෙලා. කාලෝ ෆොන්සේකලා මේ ගැන මොකද කියන්නේ.
මෙම කලා භවන පරිශ‍්‍රයත් පුරාණ නීතියට අදාල වන ගොඩනැගිල්ලක්. සාමාන්‍යයෙන් නීතියක් තිබුනා අවුරුදු 60ට වැඩි ගොඩනැගිලි මෙම නීතියට යටත් වෙනවා කියලා. දැන් විහාරමහාදේවී උද්‍යානය නිරුවත් කරලා තිබෙනවා. වැටවල් නැති සමාජයක් හදන්න යනවානම් මුලින්ම කරන්න  ඕන අරලියගහ මන්දිරයේ තාප්ප ඉවත්කරන එකයි. මේ තරම් ආරක්‍ෂාවක් තිබෙන සමාජයක් නම් මුලින්ම ඉවත්කළ යුත්තේ ඒ තැන්වල තාප්පයි. මෙතෙක් කාලයක් සිදුකළ සමාජ පරිහාණිය නිසා තමයි මිනිසුන්ට තාප්පවලින් වටකරගත් තැන් හදන්න වුණේ. සොර සතුරු බිය වැඩිවෙලා. සොර සතුරු බිය ඇති සමාජයක් හදපු නිසයි ඒ විදියට සොර සතුරන්ගෙන් ආරක්‍ෂා වෙන්න සිදුවුණේ.
ආණ්ඩුව කරන දෙය අප බලාසිටිය යුතුද? ජාතික කලාභවන ගොඩනැගිල්ලේ බිත්තිවල ඇන ගහනඑක වළක්වන්න අපි ලොකු උත්සාහයක් කළා. ඒ තරමට අපි එය ආරක්‍ෂා කළා. නමුත් කලා භවන විනාශ කරන අන්තිම ඇණය ගහන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ජනතාවගේ ජීවිතයෙන් කලාව, සංස්කෘතිය ඉවත්කරන්න හදනවා. මේ ආණ්ඩුව පමණක් නොවෙයි බලයට ආපු සියලූම ආණ්ඩු මේ දේවල් කළා. මේ ආණ්ඩුවට ඇස් තිබෙනවානම් කලාව, සංස්කෘතිය ගැන කැක්කුමක් තියෙනවානම් මේ දේවල් ආරක්‍ෂා කරන්න  ඕනෑ. ප‍්‍රංශය වගේ රටවල් ඒ වගේම බංගලාදේශය වගේ දුප්පත් රටවල පවා සංවර්ධනයට වැඩපිළවෙල් තිබුණා. සංස්කෘතිය ආරක්‍ෂා කළා. වැනීසිය, වැනි ජලයෙන් පිරුණු රටවල් නිර්මාණය කළේ ස්වභාව සෞන්දර්යය ආරක්‍ෂා වන විදියටයි.
පාරවල් වැහුවාම ගොඩනැගිලි කැඩුවාම එය ප‍්‍රශ්න කරන ජනතාවක් සිටිය යුතුයි. 1934 තාගෝර් ප`ඩිවරයා ලංකාවට පැමිණි වෙලාවේ ඔහුට යන්න තිබුණු කලාගාරයක් තමයි, කලාභවන කියන්නේ. මේ ආණ්ඩුවට සංස්කෘතිය ගැන කිසිම අදහසක් නැහැ. වෙන රටවල්වලින් කොපි කරන එක මෙහෙ සංස්කෘතිය බවට පත්වෙලා. රඟහලවල් වෙනුවට නවීන සිරගෙවල් හදමින් යනවා. රඟහල්, පාසල්, කලා භවන වැනි ස්ථාන විනාශ කළාම ජනතාවගේ කලාව, මානසික නිදහස, සංහිඳියාව නැතිවී යනවා. අලින්ට යන්න දිග මංතීරු හදනවා. ගුවන් යානා නැති ගුවන් තොටුපලවල් හදනවා.
ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා
මේ වන විට ජෝන් ද සිල්වා පරම්පරාවේ කළාකරුවන්ගේ හෙවනක් වූ ජෝන් ද සිල්වා සමරු රඟහල කඩා ඉවත් කිරීමට යන බවට තොරතුරු ලැබෙනවා. ඒ වගේම කළා ක්‍ෂෙත‍්‍රයේ ගැටළු ගණනාවක් පැන නැගී තිබෙනවා. කළාකරුවන්ට සැක සංකා මතු වෙලා තිබෙනවා අවුරුදු සීයක් පැරණි චිත‍්‍ර ශිල්පීන්ගේ කලාකරුවන්ගේ කලාභවන පරිශ‍්‍රය කඩා ඉවත් කිරීමට යෑම පිළිබඳව. වේදිකා නාට්‍ය ශිල්පීන්ගේ හා චිත‍්‍ර ශිල්පීන්ට අයිති කලා භූමියක් වූ එය දැනුවත් කිරීමකින් තොරවම කඩා දැමීම බරපතල ගැටලූවක්.
ඒ වගේම සිනමා ක්‍ෂෙත‍්‍රයේ චිත‍්‍රපට පිටපත් පිළිබඳවද කතා බහක් මතුවෙලා තිබෙනවා. සියලූ නීති රීති චක‍්‍රලේඛ රාජපක්‍ෂකරණය කරමින් අධිකරණ තීන්දු පවා ඉවත දමමින් ආණ්ඩුවට හිතවත් කලාකරුවන්ගේ චිත‍්‍රපට සිනමාහල් වල ප‍්‍රදර්ශනය කරමින් තිබෙනවා. ඒ වගේම චිත‍්‍රපට පිටපත් 35 පිළිබඳව දැඩි කතා බහක් මතු වෙලා තිබෙනවා. අතීතකාමය, ජාතිකවාදය විනෝදකාමයට කලා ක්‍ෂෙත‍්‍රයේ ගැටලූ යටපත් කරමින් තිබෙනවා. ඒ පිළිබඳව ජනතාව මාධ්‍ය දැනුවත් කිරීම අපේ අරමුණ වෙලා තිබෙනවා.
චන්ද්‍රසෝම බිංදුහේවා මහතා
1971 වසරේ මම අගනුරට ආවා. අතීතය ගැන කතා කරන විට ජෝන් ද සිල්වා රඟහල ක‍්‍රමිකව ගොඩනැගුණු එකක්. 1958 එතන තිබුනේ යකඩින් කරපු වේදිකාවක්. එම වර්ෂයේ හටගත් ගංවතුර නිසා පීඩාවට පත් වූ ජනතාවට ආධාර පිණිස ලේක් හවුස් එකත් මැදිහත් වෙලා ජන නාට්‍යයක් කළා මට මතකයි. ඉන් පස්සේ එක් එක් රජයන් විසින් දියුණු කරලා තමයි කළාවට මෙහෙයක් කරපු නීතීඥ ජෝන්ද සිල්වා ගේ නමින් මෙය නම් කළේ.
කණගාටුවට කරුණ එය කඩා ඉවත් කරන්න යන එකයි. ඒ පිළිබඳව කලාකරුවන්ට දන්වා නෑ. මෙය රජයට සංස්කෘතික අමාත්‍යංශයට අයත් එකම රඟහලයි. එය කලාකරුවන්ගේ ගෙදර වගෙයි. මෙය කඩා ඉවත් කරන්නේ නැවත ගොඩනගන්නද අපි දන්නේ නෑ. නැවත ගොඩ නගනවා නම් එය සිදුවිය යුත්තේ කලාකරුවන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහටයි. ආනන්ද කුමාරස්වාමි ප`ඩිවරයාගේ නමින් තිබූ පාරේ බෝඞ් ලෑල්ලත් ගලවා ඉවත් කළා. ඒ නිසා ජෝන් ද සිල්වා සමරු රඟහල පිළිබඳවත් අපිට කිසිම විශ්වාසයක් නෑ. මෙය කඩා ඉවත් කර නැවත හදනවා නම් අනිවාර්යයෙන්ම ජෝන්ද සිල්වා නමින් නම් කළ යුතුයි. එහෙම වැඩපිළිවලක් තිබෙනවා නම් කලාකරුවන් දැනුවත් කළ යුතුයි. මොකද එය කලාකරුවන්ගේ තැනක්.
චිත‍්‍රපට පෝලිම පැනලා චිත‍්‍රපටි පෙන්වීම, චිත‍්‍රපට පිටපත් 35 ගැටලූව පිළිබඳව නඩුවක් ගොනු කරලා තිබෙනවා. සිනමාකරුවන්ගේ සංසදය විසින් ගෙනයන ඒ අරගලයට අපේ පූර්ණ සහාය ලබා දෙනවා.
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විනී හෙට්ටිගොඩ මහතා...
කලා භවන කියන්නේ චිත‍්‍ර ශිල්පීන්ට ඉතා අඩු මුදලට ප‍්‍රදර්ශනයක් තියන්න පුළුවන් එකම ස්ථානයයි. ලාභ වගේම කලාකරුවන්ටත් ජනතාවටත් ඉතාම පහසු තැනක්. පසුගිය කාලයේ කලාභවන ක‍්‍රම ක‍්‍රමයෙන් ජනතාවගෙන් අමතක කර දමන්න වැඩ කරාද කියලා සැකයකුත් අපිට තිබෙනවා. මොකද මෙහි තිබුණු කලාගාරය චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති සමයේත් විනාශ වෙන්න ඉඩ හැරියා. මේ වෙන කොට කලාගාරයෙන් කොටසක් වහලා ගබඩා කාමරයක් හදලා තිබෙනවා. කලා කරුවන් පමණක් නොවේ දේශපාලකයින් කලාභවනට ගොඩ වදින්න පටන් ගත්තා. දැන් අපි ශාලාව ඉල්ලූවාම එක එක විදිහේ ප‍්‍රශ්න. මොකක්ද තියන්න යන ප‍්‍රදර්ශනය? ආණ්ඩු විරෝධීද? නැද්ද? වැනි විවිධ ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. අපිට  ඕන වෙලාවක වෙන් කරගන්න බැහැ. විකල්ප තැනකුත් නැහැ. වැඩි මුදලක් ගෙවන්න සිදු වෙනවා. ඒ මුදල අපිට ආණ්ඩුවෙන් ලැබෙන්නේ නෑ.
දක්‍ෂ ගෘහ නිර්මාණ ශිල්පීන් පිරිසක් විසින් ඉදිකළ කලාභවන පරිශ‍්‍රය කඩා ඉවත් කරලා මොකක්ද කරන්න යන්නේ. ආර්ථික වශයෙන් වාසිදායක මුදල් හොයන තැනක් බවට පත් කරන්න යනවද? රටක සංස්කෘතිය කියන්නේ සල්ලිම නොවෙයි. අපිට කලාවක් තියෙන්න  ඕනා. ඒ නිසා අපි කියන්නේ මේ කලාභවනට අත තියන්න එපා කියලා. 

No comments:

Post a Comment