Sunday 16 June 2013

හුඹස්වලාන ශ්‍රී ෙශෙලබිම්බාරාමයේ ඉදිකෙරෙන ලොව විශාලතම සැතපෙන පිළිමය

ලොව සුපතළ  විශාලතම බාමියන් බුදු පිළිමය  මීට වසර කීපයකට පෙර  තලෙයිබාන් ත්‍රස්තවාදීන්  විසින් විනාශ කිරීමේ  ඛිෙදජනක සිද්ධියෙන් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව දැඩි ශෝකයට  හා සන්ත්‍රාසයට පත් වූහ.
එහෙත් ලාංකික කැටයම් ශිල්පීන් හා බෞද්ධ ජනතාවගේ සහයෝගයෙන් එම බුදු පිළිමයන්ට වැඩි විශාලත්වයකින් යුත්  අලංකාර ෙශෙලමය බුද්ධ ප්‍රතිමාවක් රුවන්වැල්ල හුඹස්වලාන ශ්‍රී  ෙශෙලබිම්බාරාම විහාර  පරිශ්‍රයේ ඉදි කෙරෙමින් පවතී.
හෙළ ඉතිහාසයේ විසූ රජ දරුවෝ සිය රාජධානි  තුළ ලොවම විශ්මයට පත්වන සෙල් පිළිම, වෙහෙර විහාර දාගැබ් නිර්මාණය කළහ.  සියවස් ගණනකට  පෙර දැයට දායාද කළ එම ආගමික සංස්කෘතික හා කලා උරුමයන් අදත් ශ්‍රී ලාංකික හා ලෝකවාසීන්ගේ ගෞරවයට  භක්තියට  පාත්‍ර වී තිබේ. එදා තාක්ෂණ ,  විද්‍යා හා නවීන ශිල්පීය ක්‍රම භාවිතය නොමැතිව  කළ එම විශ්මිත  නිර්මාණ  අපට අභිමානයකි.
13-1එම හෙළ නිර්මාණ අභිබවමින්  අනාගත පරපුර සඳහා ලොව සුවිශාල ෙශෙලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව රුවන්වැල්ල , හුඹස්වලාන ශ්‍රී ෙශෙලබිම්බාරාම මහා විහාර පරිශ්‍රයේ නිර්මාණය කෙරේ.
එදා බුදුරදුන් ලක් දෙරණට  වැඩම කර  සමන්තකූට පර්වතයේ ,ශ්‍රීපාද ලාංඡනය තබා දිවා ගුහාවෙහි දිවා විහරණය සඳහා සයනාසනයෙහි සැතපී  වැඩ සිටින අයුරු එම පිළිමයෙන් නිරූපණය වේ.
විහාරය පසුපස ගල් පර්වතයක නිර්මාණය කෙරෙන එම පිළිම වහන්සේ දිගින් අඩි 80 ක් හා සිරසෙහි උස අඩි 11 අඟල් 4 කින් යුක්තය. ශ්‍රී පතුල  ප්‍රදේශය අඩි 9 යි අඟල් 8 ක් හා සිරස තබන කොට්ටය අඩි 11 අඟල් 4 කි. ඊට සම්බන්ධ මල් ආසනය  සඳකඩපහණ මුරගල්  හා සන්නස එම ගල් පර්වතයෙන්ම නිර්මාණය කරනු ලැබේ.
දර්ශනීය කඳු වළල්ලක් මැද උස් කඳු මුදුනක විහාරස්ථානය පිහිටා ඇති අතර  ඊට යාබද එම පර්වතයට නැගෙනහිර දිසාවෙන්  සමනල කන්ද  දිස් වේ.  සැතපෙන පිළිමය එම දිසාවට මුහුණලා නිර්මාණය  කිරීමට  සැලසුම් කර ඇත.
අමරපුර මහා නිකායික සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක හා ශ්‍රී ෙශෙලබිම්බාරාමාධිපති ශාස්ත්‍රපති  පූජ්‍ය නාරංගස්තැන්නේ ධම්මකිත්ති හා විහාරවාසී  පූජ්‍ය වරකා‍පොළ නන්දරතන හිමියන්ගේ  අනුශාසකත්වයෙන්  හා සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු.  ලොකුබණ්ඩාර  මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන්  ඉකුත් 2012 ඔක්තෝබර් 29 වෙනි දින එහි ඉදිකිරීම් කටයුතු  ආරම්භ කර ඇත. පිළිම වහන්සේගේ සියලු කටයුතු වසර තුනකින් නිම කර බැතිමතුන්ට වැදුම්පිදුම් කිරීමට ඉඩ සැලසීමට විධි විධාන සලසා ඇත. එහි සියලු  කටයුතු නිම කිරීම  සඳහා රුපියල් හත්කෝටි  තිස්තුන් ලක්ෂ දාසයදහසක් වැය කෙරේ.
අනාගත පරපුර වෙනුවෙන් අතිශය භාරධූර  කාර්යයක් ඉටු කරන පූජ්‍ය  නාරංගස්තැන්නේ ධම්මකිත්ති හිමියෝ  අදහස් දක්වමින්  මෙසේ පැවසූහ.
යුග ගණනාවක සිට මේ රටේ බෞද්ධයන් තුළ ආගම පිළිබඳ දැඩි බැඳීමක් තිබුණා. ඒ නිසා  අනුරාධපුර , ‍පොළොන්නරු යුගවල රජවරු හා මැති ඇමතිවරු  බුදු දහම සුරැකීම සඳහා පිළිම දාගැබ් ඉදිකළා  . නමුත් පසු කාලයේ එම කටයුතු යටපත් වුණා. සංඝයා වහන්සේලාගේ හා රාජ්‍ය පාලකයින්ගේ උනන්දුව නැති වුණා.
ජනතාව තම ජීවන රටාව අනුව ආගමික  කටයුතු වලින් බැහැර වුණා. වසර තිහකට අධික කාලයක්  පැවැති කුරිරු  යුද්ධයෙන්  උතුරු නැගෙනහිර  පළාත්වල  ආගමික සංස්කෘතික  හා කලා නිර්මාණ රැසකට හානි  සිදුවුණා.  එම කටයුතු පිළිබඳ පාරම්පරික ශිල්පීන්  දක්ෂතා  ඇති ශිල්පීන්  වෙනත් වෘත්තීන්වල යෙදුණා.
එම තත්ත්වයන් හා පෞරාණික රාජධානි  සීමාවලින් බැහැරව           දුෂ්කර  ප්‍රදේශවල ආගමික පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා  සුවිශාල මෙම පිළිම වහන්සේ නෙළීමේ  කටයුතු ආරම්භ කළා. සබරගමුව පළාතට ශ්‍රී පාදය හැරුණු විට  වෙනත් විශේෂිත  පූජනීය  ස්ථානයක් නැහැ.  මෙහි සියලු  කටයුතු සඳහා  දේශීය පාරම්පරික  කැටයම්  ශිල්පීන්ගේ සහය ලබා ගන්නවා. මෙහි තොරතුරු අන්තර්ජාලයට යොමු කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට කීර්තියක් හිමි වෙන අතර  විදේශීය , දේශීය සංචාරකයින් මේ ගැන අවධානය යොමු කරනවා.
මෙහි ඉදිරි සැලැස්ම අනුව වසර තුනක් ඇතුළත සියලු නිර්මාණ කටයුතු අවසන් කිරීමෙන් පසු ලැබෙන ආධාර  මගින් දිවයිනේ  ග්‍රාමීය ප්‍රදේශවල  පවතින විහාර  සංවර්ධනය කිරීමේ      වැඩපිළිවෙළක් ක්‍රියාත්මක  කරනවා.  එය දීර්ඝ කාලීන අඛණ්ඩ වැඩපිළිවෙළක් බවට පත් කරනවා.
13-2මේ පිළිබඳ අනුග්‍රහය ලබාදීම සඳහා  කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් ඉදිරිපත් වුවහොත්  රන්වැලි ෙශෙලමය බුද්ධ ප්‍රතිමා කමිටුව, සමග සම්බන්ධ වී  කටයුතු කළ හැකියි. විදුලි සංදේශ හා තොරතුරු  තාක්ෂණ ඇමැති  රංජිත් සියඹලාපිටිය මහතා එම කමිටුවේ සභාපති වශයෙන්  කටයුතු කරනවා. රාජ්‍ය නිලධාරීන් පිරිසක් කමිටුව නියෝජනය කරනවා.
විහාරස්ථ දායක සභාවේ සභාපති ඊ. ජේම්ස් ප්‍රකාශ කළේ  මෙම පිළිමය නිර්මාණය කිරීමෙන් පසු ප්‍රදේශය ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙනවා. නව යුගයක් බිහි වෙනවා. තවමත් කෘෂිකාර්මික හා කුලී වැඩ කරමින්  ජීවත් වන ජනතාවගේ  ජීවන තත්ත්වය යහපත් අතට පත් වෙනවා. මාර්ග, ගමනාගමන, නිවාස ඉදිකෙරෙනවා. ඉදිරි පරම්පරාවට හොඳ යුගයක්  උදා වෙනවා. සබරගමුවට උසස් ආගමික පුදබිමක් හිමි වෙනවායනුවෙනි.
නිර්මාණ ශිල්පී පී.ආර්.ජී.පී. කුමාරසිංහ පැවසුවේ මගේ පියා (පී.ආර්. ධර්මදාස මහතා) ෙශෙල ප්‍රතිමා නිර්මාණ ශිල්පියෙක්. පියාගෙන් ඉගෙනගත් ශිල්පය අනුව දිවයිනේ  විවිධ ප්‍රදේශවල විහාරස්ථාන ගණනාවක බුදු පිළිම නෙළා තිබෙනවා.
මෙහි සියලු කටයුතු බි.කේ. ගුණරත්න  මහතා භාරගෙන තිබෙනවා. ප්‍රධාන කැටයම් ශිල්පී  ලීලානන්ද  කොස්තා මහතා යටතේ මෙම ප්‍රතිමාවේ කටයුතු කරනවා.
අනුරාධපුර  හා      ‍පොළොන්නරුව යුගවල  කැටයම් හා සිතුවම්  ෙශෙලීන් භාවිතා කරමින්  දැකුම්කලු පිළිමයක් නිර්මාණය කරනවා.
රුවන්වැල්ල නිට්ටඹුව මාර්ගයේ කිලෝමීටර්  01 කණුව අසල දන්නොරුව අතුරු මාර්ගයේ කි.මී 2 ක් පමණ දුර ශ්‍රී ෙශෙලබිම්බාරාම විහාරය පිහිටා ඇත. සැදැහැවතුන්ට අවශ්‍ය තොරතුරු 036-3862259 හා 0719990409 දුරකථන අංක මගින් විමසන ලෙස විහාරාධිපති පූජ්‍ය නාරංගස්තැන්නේ ධම්ම කිත්ති හිමියෝ කාරුණිකව දන්වා සිටිති.
හාතාගොඩ ධර්මසේන 

No comments:

Post a Comment