Monday 17 June 2013

මහින්ද මහත්තයට ආසියාවේ ආශ්චර්ය හදන්න වෙන්නේ කොරියාවේ - ටිල්වින් සිල්වා

අපේ රටේ සංවර්ධනය සඳහා යොදාගත හැකි ස්වාභාවික සම්පත් මෙන්ම මානව සම්පත් තියෙනවා. ඒත් අද මේ සියල්ල අතහැර දාලා රජය කටයුතු කරනවා. ස්වාභාවික සම්පත් විනාශ කරනවා. සමහර දේ වටිනාකමකින් තොරව පිටරටවල්වලට විකුණනවා. රටේ තරුණ තරුණියන්ට රැකියා නෑ. එම මානව සම්පත්වලින් රජය ප්‍රයෝජන ගන්නේ නෑ. ඒ නිසා ඔවුන් දේශපාලකයන්ට පගාව දීලා හෝ කොරියාවට, ඕස්ට්‍රේලියාවට යන්න දඟලනවා. හුඟක් දෙනා යනවා. එතකොට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තය හදනව කියන ආසියාවේ ආශ්චර්ය හදන්න මේ රටේ ස්වාභාවික සම්පත් මෙන්ම මානව සම්පත් නෑ. එවිට කොරියාවේ තමයි ආසියාවේ ආශ්චර්ය හදන්න වෙන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ‍ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය.
පඬුවස්නුවර රත්මල්ල ප්‍රදේශයේ ජුනි 09 වැනි දින පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක රැස්වීමකදී ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පැවැසීය. පළාත් සභා ක්‍රමයට අපි විරුද්ධයි. පළාත් සභාව රටේ ආර්ථිකය විනාශ කරන සුදු අලියෙක්. මේක ගෙනාවේ ඉන්දියා රජයේ අවශ්‍යතාවට උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳන්න. එය හරි ගියේ නෑ. දැන් පළාත් සභාව තියාගෙන ඉන්නේ රජයේ වැඩි ඇමැතිවරුන්ගේ බිරින්දෑවරුන්ට, දරුවන්ට සහ ඥාතීන්ට දේශපාලනය ඉගෙන ගන්න යැයි ටිල්වින් සිල්වා මහතා පැවැසීය.
අපේ රටට අවශ්‍ය නිෂ්පාදන ආර්ථිකයක්. ඒත් දැන් තියෙන්නේ පිටරටවලින් ණයට සල්ලි ඉල්ලාගෙන කන ආර්ථිකයක්.  මේ සල්ලි ණයට ගෙනල්ල පාරවල් කාපට් කරන්නයි ගොඩනැගිලි හදන්නයි තමයි යොදන්නේ. අධිවේගී මාර්ග හදන්නත් යොදවනවා. එතකොට මේ ණයට ගේන මුදල්වලින් ඒ අයට අධිවේගීව කොමිස් මුදල් ගලාගෙන එනවා.
2012 වන විට රජය රුපියල් කෝටි ලක්ෂ 06කට වඩා ණය අරගෙන තියෙනවා. ලංකාවේ ජීවත්වෙන හැම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 03ක ණයකාරයෙක් කරලයි තියෙන්නේ. ඊයේ පෙරේදා මහින්ද රාජපක්ෂ මහත්තයා ගියා චීනයට. චීන බැංකුවකින් ඩොලර් කෝටි 200කට වඩා ණයක් ගත්තා. ලංකාවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇපයට තියල රුපියල් කෝටි 12,000ක ණයක් ගන්න යනවා. ණය ගන්නේ නිකම් ‍නෙවෙයි. පම්‍පෝරිත් ගහලයි. මේ ගන්න ණයවලින් එක කර්මාන්ත ශාලාවක්, කෘෂිකර්මාන්තය දියුණු කළාද? ගොවි‍පොළක් හැදුවද? අධ්‍යාපනයට වෙන් කළාද? සෞඛ්‍යයට වෙන් කළාද? ධීවර කර්මාන්තයට යෙදෙව්වාද? මේ කිසි දේකට යෙදෙව්වේ නෑ. යෙදෙව්වා නම් ඒවායින් ලැබෙන ආදායම්වලින් ණය ගෙවන්න තිබුණා. නැති නම් ජනතාවට සහන දෙන්න තිබුණා. යටිතල පහසුකම් සංවර්ධනය කරල මහා පරිමාණ කොමිස් ගහන වැඩ තමයි කළේ.
2012 වසරේ කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් කෝටි 100යි. එම වසරේ එම මාර්ගය නඩත්තු වියදම රුපියල් කෝටි 650යි. පාඩුව එවිට රුපියල් කෝටි 550යි. හම්බන්තොට හැදුව වරායක්. අඩුම ගානේ ඒ වරායෙන් පිටරටකට කිරි හට්ටියක් වත් යවලා නෑ. මෙවැනි විනාශයක් තමයි ලංකාවේ තියෙන්නේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ පවු‍ලේ අය තමයි පිටරටවලින් ගන්න ණයවලින් කොමිස් මුදල් ගන්නේ. යටිතල පහසුකම් සංවර්ධනය මුවාවෙන් තමයි කරන්නේ. ජනාධිපතිගේ වියදම දිනකට රුපියල් කෝටි 02යි. ඒත් ගොවියජගේ විශ්‍රාම වැටුප දැන් ගෙවන්නේ නෑ. ‍පොහොර සහනාධාරය දෙන්නේ නෑ. මේ විදියට තමයි ජනතාව වෙනුවෙන් වෙන්කරන මුදල් කපන්නේ. තෙල් සංස්ථාවේ තෙල් පිරිපහදු කරන්නේ නෑ. බොරතෙල් නැතුව තෙල් සංස්ථාව දවසකට රුපියල් ලක්ෂ 38 ගණනේ පාඩු ලබනවා. ලබන මාසේ විතර තෙල් ගණන් යන්න පුළුවන්. අද අපේ රටේ ආර්ථිකයක් නෑ.
රජය බදු සහන දෙන්නේ කැෂිනෝකාරයින්ටයි. කර්මාන්ත ශාලාවට වෙළෙඳුන්ට බදු සහන නෑ. ලංකාවේ මත්පැන් පානය වැඩිවෙලා. මත්පැන් ගෙන්වීම වැඩිවෙලා.
එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ‍පොදු පෙරමුණ තමයි වසර 65ක් මේ රට පාලනය කළේ. දැන් රට විනාශ වෙලා. මේ දෙගොල්ලටම රට සංවර්ධනය කරන්න බෑ. ඒ වෙනුවෙන් අප එකතු වෙලා රටට ගැළපෙන නිෂ්පාදන, ආර්ථිකයක් ඇති කරන රජයක් ගොඩනගන්න එකතු වෙමු යැයි ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය. හිටපු පළාත් සභා මන්ත්‍රී මැණිකේ ගුණසේකර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.
කේ.ඒ. ජයසූරිය - පඬුවස්නුවර

No comments:

Post a Comment