Sunday 9 June 2013

සේවකයින්ට නැවත පහරදුන්නොත් විදුලි බිල් නිකුත් කිරීමත් විසන්ධි කිරීමට යෑමත් නවතනවා -ලංවිම අනතුරු අඟවයි-

විදුලි සේවකයින් හට නැවත පහරදීමක් සිදු වුවහොත් විදුලි බිල් නිකුත් කිරීම නතර කරන බවටත් විදුලි බිල් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමට යාම නතර කරන බවටත් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. විදුලි ගාස්තුව ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගිකයකු විසින් විදුලි සේවකයකු හට පහර දීම සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් අද දින කොළඹ නිපොන් හෝටලයේදී ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මගින් පැවති මාධ්‍ය හමුවකදී එම සන්ධානයේ කැඳවුම් කරු රන්ජන් ජයලාල් මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයලාල් මහතා,

"විදුලි බල මණ්ඩලය විකිණීමට හදපු අවස්ථාවකම අපි සේවකයො විදියට එකතුවෙලා මේක විකුණන එක නැවැත්තුවා. අපිට ඕන නම් තිබුණ ලැඛෙන්න නියමිත වන්දි මුදල ගැන හිතල විකුණන්න ඉඩ දෙන්න. නමුත් මේක රටට බලපාන ප්‍රශ්ණයක්. රටේ ජනතාවට ප්‍රශ්ණයක්. ඒ නිසා තමයි අපි විදුලි බල මණ්ඩලය විකුණන එක වළක්වන්න එකතුවෙලා හිටියෙ.

ඒ වගේම තමයි විදුලි බිල වැඩිකරපු වෙලාවෙ සිට මේ දක්වා අපි ඒකට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරා. මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය විතරක් නෙමෙයි ජනතාවත් එකතුවෙලා මේ විදුලි ගාස්තු වැඩිකරපු අහෝසි කරන්න කියල ආණ්ඩුවට බලකලා. අපි විදුලි සේවකයෝ විදියට අපේ ආයතන ඇතුලෙ මේ විදුලි ගාස්තුවට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරා ජනතාවගේ සහයෝගයත් එකතුව. අපි අපේ පැත්තෙන් මේ දක්වා විදුලි ගාස්තුව වැඩි කලේ ඇයි, මේක ජනතාව මත පටවන්න එපා කියල ආණ්ඩුවට දිගින් දිගටම බලකලා. ජනතාවට කරුණු පැහැදිලි කරා මේ ගැන.

නමුත් ආණ්ඩුව දිගටම ජනතාව නලවමින් ජනතාව රවටමින් විදුලි බිල වැඩිකරා. ආණ්ඩුවේ උවමනාවට සියළු පාඩු ජනතාව මත පටවලා. අපි මතු කරපු විරෝධය ආණ්ඩුව සැලකුවේ නෑ. නමුත් දැන් ජනතාවට ලයිට් බිල එනකොට ආපහු දැනෙන්න පටන් අරගත්ත. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඊයෙ විදුලි බල මණ්ඩලයේ සේවකයකුට විදුලි පාරිභෝගිකයෙක් පහර දෙන්නෙ. ගම්පහ වතුරගම ප්‍රදේශයේදී තමයි මේ පහරදීල කරල තියෙන්නෙ. ඔහු මේ වන විට එම පහරදීම නිසා මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නෙ. මේ පිළිබඳව වීරගුල පොලිසියේ පැමිණිල්ලක් කරල තියෙන්නෙ.

දැන් එතකොට කවුද මේකට වන්දි ගෙවන්නෙ. අපි ජනතාවට දොස් කියන්නෙ නෑහැ. නමුත් ඔහු පහර දිය යුතු තැනට නෙමෙයි පහර දීල තියෙන්නෙ. අර ගෙදර තියෙන මුව හමට තලනව වගේ වැඩක්. මේ පිටවෙලා තියෙන්නෙ ජනතාවගේ පීඩනය. දැන් මේකට වග කියන්න ඕන විදුලි සේවකයොද. නෑ. ආණ්ඩුව. මේ පහර දීම කරන්න ඕන ආණ්ඩුවට. අපි ඒක ජනතාවට කියනවා.

අපි දැන් තීරණයක් අරගෙන තියෙනවා නැවත කොහේ හරි තැනක පීඩාවට පත්වෙච්ච පාරිභෝගිකයෙක් විදුලි සේවකයකු හට පහර දීමක් සිදු වුනොත් අපි වෘත්තීය සමිති ව්‍යාපාරය විදියට කිසිම නිවසකට විදුලි බිල්පත් ඉදිරිපත් කරන්නෙ නෑ. ඒ වගේම ඔවුන් විදුලි බිල් නොගෙව්වොත් අපි කිසි තැනක විදුලිය විසන්ධි කරන්න යන්නෙත් නෑ. ඒක තමයි අපි ගන්න වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය. අපි ආණ්ඩුවට බලකරනවා වහාම මෙවැනි දේ ඉදිරියේදී සිදුවෙන්න බැහැ. ආණ්ඩුව විසින් ජනතාවගේ ඇස් වහල වැඩිකරපු විදුලි බිල නිසා විදුලි සේවකයින්ට මෙවැනි පහරදීම්වලට ලක්වෙන්න බෑ. අපි ජනතාවටත් කියනවා මේකට විරෝධය දක්වන්න ආණ්ඩුවට. නැතුව විදුලි සේවකයො නෙමෙයි මේකට වග කියන්න ඕන කියල. ඒ වෙනුවෙන් සියළු ජනතාවට එකතැනකට එකතු විය යුතුයි කියල අපි කියනවා."
 

No comments:

Post a Comment