Thursday 13 June 2013

මේක බදු දඩ සහ ණය මත යැපෙන රජයක් - ලාල්කාන්ත

වත්මන් ආණ්ඩුව හා ජනතාව අතර ඇති ගැටුම් සියල්ල ආර්ථිකය නිසා හටගත් ඒවා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ ඩී ලාල් කාන්ත මහතා කියයි. ඊයේ (12) දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති මැයි 21න් ඔබ්බට සම්මන්ත්‍රණයේ දේශනයක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියේය. වත්මන් රජයේ ආදායම් බදු ,දඩ සහ ණය යන කරුණු තුනට පමණක් සීමා වී ඇති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
වර්තමානය වන විට රජය දැඩි ආර්ථික අර්බුදයක සිටින බවත් ඊට සමගාමිව මෙරට ජනතාවගේ ප්‍රශ්න උත්සන්න වී ඇති බවත් ඒවාට විසදුම් ඉල්ලා සිටින ජනතා නැගීසිටීම් මර්දනයට රජය මැරබලය යොදාගන්නා බවත් ලාල් කාන්ත මහතා කියයි. එම ජනතා නැගිටීම් වාර්තා කරන මාධ්‍යවලට මාධ්‍යවේදීන්ට ආණ්ඩුව පහර දෙන බවත් ඉන් මාධ්‍ය නිදහස සීමා කෙරෙන බවද ඒ මහතා කීය.තවද අධ්‍යාපනයගේ පවතින අඩුපාඩු ගැටළු නිරාකරණයට මේ ආණ්ඩුවට මුදල් නැති තැන එම ඉල්ලීම් ඉල්ලා සිටින ශිෂ්‍ය ව්‍යාපාර සහ ආචාර්ය වරුන්ගේ සටන් මර්දනය කිරීමට ආණ්ඩුව යොමු වන වන බවත් ඉන් ප්‍රචණ්ඩත්වය සහ මැර බලය ඇතිවන බවත් ලාල් කාන්ත මහතා පෙන්වා දුන්නේය.
1978 ජේ. ආර්. ජයවර්ධන ආරම්භ කළ ආර්ථික මොඩලය චන්ද්‍රිකා, මහින්ද හරහා දැන්පැමිණ තිබෙන්නේ ජනතාවගේ බදුවලින් දඩවලින් සහ විදේශීය ණය මගින් පමණක් ආදායම් ලබන ආර්ථිකයකට බවත් එම නවලිබරල්වාදී ආර්ථිකය සංවර්ධනය සහ ආදායම් බෙදී යාමේ විශමතාවයක් පමණක් ඉතිරිකර ඇති බවද එම ආර්ථිකය අර්බුදය විසින් වර්ථමානයේ සියලු සමාජ අර්බුද නිර්මාණය කොට ඇති බවද ඔහු පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් සභාව අමතමින්
"මේ ප්‍රශ්නවලට එක මූලයක් තියෙනවා. සමාජයේ ඒ ඒ ක්ෂේත්‍රවල අරගල කරන අය එම මූලය හරියට අල්ලගන්න ඕනෑ. මෙම ආර්ථික අර්බුදය නිසා ජනතාව හා ආණ්ඩුව අතර ගැටුමක් හටගන්නවා. ආණ්ඩුවට විරුද්ධව ලියන කියන මාධ්‍යවේදීන් හා ආණ්ඩුව අතර ගැටුමක් හටගන්නවා. ඒ නිසා තමයි ආචාර ධර්ම හරහා මාධ්‍යවේදීණ් ආණ්ඩුවේ හස්තයට කොටුකර ගන්න හදන්නේ. සියළුම දේශපාල අර්බුද පැණනැගිලා තිබෙන්නේ මෙම ආර්ථික අර්බුදය නිසයි. ජනතාවගේ ආර්ථිකය හදන්න පුළුවන්නම් ආණ්ඩුවට ජනතාව සමග ගැටුමක් නැහැ. ආණ්ඩුවට ජනතාව මර්දනය කරන්න ඕනවෙන්නේ නැහැ. ආචාර්ය වරුන්, ශිෂ්‍යයන්, වැඩකරන ජනතාව ආණ්ඩුව සමග ගැ‍ටුම ඇතිකරගන්නේ ඒ නිසයි.
78 ජේආර්ගේ ආණ්ඩුව නිශ්පාදනයෙන් ඉවත්වුනා. සිරිමාවෝගේ හා බණ්ඩාරනායකගෙන් පටන්ගත් ශ්‍රීලනිපයත් මහින්ද හරහා ගෙනයන්නේ ඒ ආර්ථික මොඩලයමයි. මහින්දගේත් රනිල්ගේත් ආර්ථික මොඩලයේ වෙනසක් නැහැ. ඒ වගේම දැන් රට පාලනය කරන්නේ රාජපක්ෂ හවුලයි. IMFඑක, මහින්ද,ඩග්ලස් දේවානන්ද, චම්පික, විමල්, වාසු, ඩිව්, තිස්ස විතාරණ, දිනේෂ් මේ හවුලට අයිතියි. මේ සියලු දෙනාම මේ අර්බුදයට වගකියන්න ඕනෑ. විදුලි බිල වැඩිකිරීමේදී මේ ගොල්ලෝ පංගුකාරයෝ. මේ ආර්ථික ක්‍රමවේදයට විරුද්ධයි කියලා රනිල් කියලා නැහැ. ඒ නිසා තමයි ආර්ථික අර්බුදය නිසා ආණ්ඩුවට එන විරෝධය වෙන පැත්තකට හරවන්න ව්‍යවස්ථා සංශෝධනය උඩට ගේන්නේ. ආණ්ඩුවත් අර්බුදයෙන් හැංගෙන්න ව්‍යවස්ථා සංශෝධනයක් ඉස්සරහට දානවා.
මෙම ආර්ථික ක්‍රමවේදය අයින් කරලා ගේන්නේ මොකක්ද? සංවර්ධනය ආදායම් බෙදීයෑමේ විශමතාවය දුරුකරණ ආර්ථික ක්‍රමවේදයක් ඕනෑ. එය තමයි සමාජවාදී ආර්ථික ක්‍රමය. දැන් රට පොදු ජන අරගලයකට අවශ්‍ය තැනකට ඇවිත් තිබෙනවා. අධිකරණ ක්ෂේත්‍රය, මාද්‍යවේදීන්, ශිෂ්‍යයන්, වැඩකරන ජනතාව වෙනම අරගල සිට විදුලි බිල වැඩිකිරීම හරහා පොදු අරගලයට ඇවිත් තිබෙනවා. එම නිසා මෙම සංවිධානය වන කම්කරු පංතිය ඇතුළු සියලු දෙනා පොදු අරගලයකට සම්බන්ධ කළ යුතුයි." යැයිද ලාල්කාන්ත මහතා පැවසීය.

No comments:

Post a Comment