Thursday 13 June 2013

ධීවරයින් බේරාගැනිමට දුන්නේ නැති සජින්ගේ හෙලිකොප්ටරය - ව්‍යවසනය වීඩියෝ කිරීමට කුලියට දීලා

සුළි කුණාටුව පැමිණි දිනයේ ඔහුට ඡන්දය ලබාදුන් ප්‍රදේශයේ ජනයා මුහුදු ගිය තම ඥාතීන් බේරාගන්නට හෙළිකොප්ටරයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද, සජින් වාස් එකී ඉල්ලීම ඉටු නොකර පැයකට රු. 65,000 බැගින් ව්‍යසනය වීඩියෝගත කිරීම සඳහා එක් මාධ්‍ය ආයතනයකට සජින් වාස් හෙළිකොප්ටරයක් ලබාදුන් වග ධීවර ජනයා පවසන බව විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
බලපිටිය ප්‍රදේශයේ ධීවර පවුල්වල අවමංගල්‍යය අවස්ථාවට අවසන් ගෞරව දැක්වීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්ස අත්තනායක හා තමන් ඇතුළු පිරිසක් සහභාගීවූයේ සුළි කුණාටුව හේතුවෙන් ධීවර ජනයා විපතට පත්වීම " ජාතික ව්‍යසනයක් " ලෙස සලකන නිසා බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියි.
එහිදී සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සිහිපත් කරමින් අද (13) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේ එක් අවමංගල්‍යය නිවසක ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන සජින් වාස් ඇතුළු සියයක පමණ පිරිසක් බීමත්ව සිටින බවට කල්තියාම දැනගන්නට ලැබුණු බවයි.
ඔවුන් විසින් තමන් ඇතුළු පිරිස වාහනවලින් එළියට ඇද දමා පහරදෙන්නට උත්සාහ දැරූවද අම්බලන්ගොඩ හා අහුංගල්ල පොලීසියේ නිලධාරීන් මැදිහත්ව තමා ඇතුළු පිරිස මුදාහරින්නට කටයුතු කළ බව රාජපක්ෂ මහතා කියා සිටියේය.
මෙහිදී තමන් කනගාටුවන්නේ සජින් වාස් ගැන නොව එවැනි මැරවරයින් පාර්ලිමේන්තුවට ගෙන ආ නායකයින් ගැන යයි ද මන්ත්‍රීවරයා පැවසීය.
මෙම සිදුවීම පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් සිද්ධිය ජිනීවා දක්වා ගෙනයාමටත්, පොදු රාජ්‍ය මණ්ඩලය දැනුවත් කිරීමටත් පියවර ගන්නා බව විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment