Tuesday 4 June 2013

ආණ්ඩුව රටේ උසස් අධ්‍යාපනය භාරදී ඇත්තේ පෞද්ගලීකරණය ඔළුවේ තබාගෙන සිටින ඇමැතිවරයකුටයි

- බිමල් රත්නායක

ආණ්ඩුව රටේ උසස් අධ්‍යාපනය බාර දී ඇත්තේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම  ඔළුවේ තබාගෙන සිටින ඇමැතිවරයකුට බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පැවැසීය. සිසුන්ගේ සාධරණ ඉල්ලීම් පදනම්කර ගත් අරගලයට ආණ්ඩුව තමන්ගේ දේශපාලන ‍පොලීසියත්, ගුවන් හමුදාවේ වාහනවලින් ගෙනා පිරිසත් යොදා සිසුන්ට පහර දුන් බවත්. එම පහර දීම් ඉතාම අමානුෂික යැයි  ද  පෙරේදා (02) පැලවත්ත එම ජවිපෙ පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා සඳහන් කළේ ය. 

 උසස් අධ්‍යාපන ඇමැතිවරයා සරසවි සිසුන් දෙස බලන්නේ හිරකාරයින් දෙස බලන ජේලර්වරයකු ලෙස යැයි ද සඳහන් කළ ඒ මහතා තමන්ගේ ශිෂ්‍ය නායකයින්ට විභාග ලිවීමේ අයිතිය ඉල්ලූ සිසුන්ට පහර දුන් ‍පොලීසිය මෙම රත්නපුර ප්‍රදේශයේම, මීට දින 5 ට පමණ කළින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති වන අමිල නැමැත්තා ‍පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දී තිබුණ ද තවමත්  අත්අඩංගුවට ගෙන නැති බවත් නමුත් ඔහු මාධ්‍යයට “වොයිස් කට්” දෙන අයුරු මාධ්‍ය මගින් දැකගන්නට හැකි වූ බව ද  කීය. එහිදී ඒ මහතා මෙසේ ද පැවැසීය. සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් ගෙන යන සාධාරණ  උද්ඝෝෂණයන්ට වත්මන් පාලනයට සම්බන්ධ දේශපාලන ‍පොලීසිය  යොදා ගෙන එම සිසුන්ට පහර දීම ගැන ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපේ බලවත් විරෝධය පළ කරනවා.

 පහුගිය 30-40ක ඉතිහාසය තුළ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෙර නුවූ විරූ විනාශයන් සිදු වෙමින් පවතිනවා. ආණ්ඩුවේ පාලකයින්ගේ වුවමනාව මත , මේ අධ්‍යාපන ක්ෂේත්‍රය විනාශ කිරීම සඳහා පත් කරන ලද විශේෂයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක අමාත්‍යවරයාගේ සෟජු මැදිහත්වීම මත විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්ෂේත්‍රය මත බරපතළ අවුල් වියවුල් නිර්මාණය වී තිබෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය විනාශ කිරීම, ශිෂ්‍යයන් මර්දනය කිරීම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මර්දනය කිරීම, අධ්‍යාපනය විකිණීම ඇතුළු බරපතළ කාරණා රැසක් මතු වී තිබෙනවා. එහිම කොටසක් විදියට මීට එරෙහිව පැන නගින ශිෂ්‍ය මර්දනයත්, සටන් උද්ඝෝෂණ මර්දනය කිරීම ඉතාම තිරස්චීන අන්දමින් රාජපක්ෂ පාලනය විසින් පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ කරගෙන ගියා. මේ ආණ්ඩුව පහුගිය අවුරුදු තුනක පමණ කාලය තුළ සරසවි සිසුන් දහසකට වැඩි සංඛ්‍යාවකගේ පන්ති තහනම් කොට තිබෙනවා. සරසවි අධ්‍යාපනය මුළුමනින්ම විනාශ කර තිබෙනවා. මෙම අධ්‍යාපන කප්පාදුවන් පිළිබඳව අපේ රටේ මෙන්ම ජාත්‍යන්තරයෙත් දැඩි අවධානයට ලක් වුණා. ශිෂ්‍ය මර්දනයේ ඉතාම උච්චතම අවස්ථාවක් අප ඊයේ සබරගමුවේ දී දුටුවා. 

මෙම සරසවිය කේන්ද්‍ර කොට ගෙන දිගුකාලීන ගැටලු ගණනාවක් තිබෙනවා. පරිපාලන ගැටලු, සුබ සාධන ගැටලු  මෙම සරසවිය ආරම්භ කළ දිනයේ සිටම අප දුටුවා. විවිධ ආණ්ඩුවල අසාර්ථකභාවය මත, වියදම් ලබා නොදීම  මත මෙම ගැටලු නිර්මාණය වී තිබුණා. මේ සරසවිය අව්වටත් වහනවා. වැස්සටත් වහනවා. වතුර නැති වුණාමත් වහනවා එවැනි විශාල පරිපාලන හා සුබ සාධන ගැටලු රැසක් මතයි සරසවිය පවත්වා ගෙන ගියේ. අනිකුත් සරසවිවලට වඩා ඉතාමත් දුෂ්කර කොන්දේසි යටතේ මේ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට අධ්‍යාපනය ලැබිමට බලකර තිබුණා. මෙම විශ්ව විද්‍යාලයේ පීඨ 5ක් තිබෙනවා. එයට සිසුන් බඳවා ගැනීමේදී 2013 වසරේදී සිසුන් 500 කින් පමණ කප්පාදු කර තිබෙනවා. 

සරසවියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ද ලියාපදිංචිය සඳහා අයකර ගන්නා ගාස්තුව තුන් ගුණයකින් පමණ මේ රජය වැඩි කර තිබෙනවා. මේවාට අදාළව ශිෂ්‍ය සංගම්, ආචාර්යවරුන් මේ සම්බන්ධයෙන් තමන්ගේ ව්වේචන, විරෝධතාවන් ප්‍රජාතන්ත්‍රවාදී සීමාව තුළ ඔවුන් විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කර තිබුණා. මේ තත්ත්වය එසේ තිබියදී, වත්මන් පාලනය තමන්ගේ සෝබන දේශපාලන ව්‍යාපෘතිවලට සරසවිය යොදා ගැනීමට කටයුතු කළා. සාදා අවසන් නොකළ ගොඩනැගිලි , ක්‍රීඩා පිට්ටනි විවෘත කිරීම් කරන්නට කටයුතු කළා. එවැනිම  විවෘත කිරීමක්  පහුගිය පෙබරවාරි මාසයේදී  ආණ්ඩුවේ ඇමැතිවරුන් විසින් කිරීමට කටයුතු කළා.
පද්මිණි මාතරගේ

No comments:

Post a Comment