Friday 17 August 2012

බෝම්බ ප‍්‍රහාරය ආණ්ඩුවේ ගමනට එරෙහි නොවන ලෙසට කළ තර්ජනයකි - ජවිපෙ

වෛද්‍ය ලලන්ත අභය රණසිංහ මහතාගේ නිවසට එල්ල කළ බෝම්බ ප‍්‍රහාරය ආණ්ඩුවේ ගමනට එරෙහි නොවන ලෙසට කළ තර්ජනයක් බවත්, ගොඩනැගෙන ජනතා විරෝධය හමුවේ සුපුරුදු මර්දනකාරීත්වය වෙත විශ්වාසය තබා ඇති ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසෙන ලෙස සමස්ත ශ‍්‍රී ලංකේය ජනතාවට ආරාධනා කරමිනුත්, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත. එම නිවේදනය පහත පළ වේ. "ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජික හා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත අභය රණසිංහ මහතාගේ දෙහිවල පිහිටි නිවසට ඊයේ (16) අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම බෝම්බය පිපිරී ගොස් නොමැති වුවද එමගින් පුපුරවා යවා ඇති භීෂණය පිළිබඳ භීතියේ අඩුවක් නොමැති යයි විශ්වාස කරන අපි, මෙම බියගුළු හා නින්දිත ප‍්‍රහාරය දැඩිව හෙළා දකිමු. මෙම බෝම්බ ප‍්‍රහාරය වෛද්‍යවරයා පදිංචි නිවස වෙත එල්ල වී ඇත්තේ, පෞද්ගලික හේතුවක් නිසා නොවේ. හෙළිදරව් වී ඇති පරිදි වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ හා එය සුජාතකරණය කිරීමේ ක‍්‍රියාවලියට එරෙහිව පෙනී සිටි අයෙකි. ඔහුගේ එම මතවාදීමය පෙනී සිටීම හා මෙම බෝම්බ ප‍්‍රහාරය අතර සෘජු සබඳතාවක් ඇති බවට වන සැකය බැහැර කළ නොහැකිය. එබැවින් මෙබඳු බියගුළු බියවැද්දීම් හා තර්ජනයන් පිටුපස වන ආණ්ඩුවේ හස්තයද සැඟවිය හැකි නොවේ. ආණ්ඩුවේ ජනතා විරෝධී ක‍්‍රියාමාර්ග සමග ගැටෙන දේශපාලන ක‍්‍රියාධරයින්ට, සිවිල් ක‍්‍රියාකාරීන්ට, වෘත්තීය සමිති නායකයින්ට එම ක‍්‍රියාකාරිත්වයෙන් ඉවත්වන ලෙසට පෞද්ගලිකව කෙරෙන තර්ජන කිරීම් දුලබ සංසිද්ධි නොවේ. විදුලි බල මණ්ඩලයේ සේවක ඉල්ලීම් වෙනුවෙන් සටන් වදින රංජන් ජයලාල් සහෝදරයාගේ නිවස ඉදිරිපිට මල්වඩමක් තබා මරණ තර්ජනය කර තිබුණේ පසුගියදාය. තර්ජනය දුරකථන ඇමතුමක, මල්වඩමක, සජීවී අත්බෝම්බය ස්වරූපයෙන් පැමිණියද එහි අරමුණ එකම දෙයකි; එනම් ආණ්ඩුවේ ගමන් මාර්ගයෙන් වහාම ඉවත්වන ලෙසය. නොඑසේනම් එහි ප‍්‍රතිඵල පෞද්ගලිකව විඳගැනීමට අපේක්ෂා කරන ලෙසය. ගොඩනැගෙන ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව විශ්වාසය තබා ඇත්තේ, සුපුරුදු මර්දනකාරීත්වය වෙතට බව මෙබඳු සිදුවීම්වලින් පැහැදිලිය. කෙසේවුවද මෙබඳු බියගුළු මර්දනීය හැසිරීම් සලකුණු කරන්නේ ජනතාවිරෝධී ආණ්ඩුවක අවසාන කාලය බවද ඒ තරමටම සත්‍යයකි. මේ තත්වය තුළ මෙම බෝම්බ ප‍්‍රහාරයට වගකිවයුත්තන් වහා නීතිය හමුවට පමුණුවන ලෙසට ආණ්ඩුවට බලකරන අපි, මර්දනාකාරිත්වය වෙත ගමන් කරමින් සිටින ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසෙන ලෙස සමස්ත ශ‍්‍රී ලංකේය ජනතාවගෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු."

No comments:

Post a Comment