Monday 22 October 2012

තරුණ ඔබ චේ ආදර්ශයට ගන්න - සෝමවංශ අමරසිංහ

මේ චේ ගෙවාරලා දහස් ගණනින් අවශ්‍ය යුගයක් බවත් චේ ආදර්ශයට ගන්නිමින් ඔහු‍ගේ සමස්ත ගුණ සමුදාය උකහා ගනිමින් සංවිධානය වන්න ලෙසත් අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කරන ලෙසත් අධිරාජ්‍යවාදය මහ පොළොවෙන් අතු ගා දමා ජයග‍්‍රහණ අත්පත් කරගන්නා ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමර සිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ මේ වනවිටත් පැවැත්වෙමින්තිබෙන සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානයකළ චේ ගෙවාරා සැමරුම් උත්සවයේ දේශණයක් පවත්වමිනි. එහ අද (22) පසුවරුවේ ආරම්භ විනි. එහිදී අමරසිංහ මහතා දැක්වූ අදහස් පහත පළවේ. "විහාරමහාදේවි එළිමහන් රංගපීඨය අද තරුණ සහෝදරියන්ගෙන් සහෝදරයන්ගෙන් පිරී ඉතිරිලා. අද මෙතනට සුළඟත් තරුණ සුවඳ අරගෙන එනවා. හිරු රෂ්මියත් තරුණයි. මේ මේ වැසි සමය උනත් නොවැස්සොත් හොඳයි. වැස්සොත් නිසැක ලෙසම ඒක තරුණ වැස්සක්. ඒ නිසා අපි ඒ තරුණ වැස්සට අපි තෙමෙන්න කැමතියි. ජනතා විමුක්ති පෙරමුණේ අප චේ ගෙවාරාවාදීන් ලෙස පංති හතුරන් විසින් හඳුන්වනු ලැබුවේ 1960 අවසාන භාගයේදීයි. ඒ අනුව නිසැක ලෙසම ශ‍්‍රී ලංකාවේ චේ ගෙවාරාවාදීන්ගේ පළමු පරම්පරාවට අපි අයිති වුණා. පංති සතුරන්ට ස්තුති කරන සම්ප‍්‍රදායක් අප ළඟ නැහැ. ඒ වුණත් මෙතනදී නම් පංති සතුරන්ට අක‍්‍රීය ස්තුතියක් පුදකළ යුතු යයි අපි හිතනවා. අප චේ ගෙවාරාවාදීන් ලෙස හඳුන්වපු අය චේ ගෙවාරා යනු කවරෙක්ද? ඔහුගේ දැක්ම හා මෙහෙවර කුමක්ද? කියා දැන සිටියේ නැහැ. ඔවුන් ඔවුන්ගේ නොදැනුවත්කම නිසාම ලබාදිය හැකි ඉහළම අගය කිරීම අපට ලබාදී තිබෙනවා. ඔවුන් එදා අප චේ ගෙවාරාවාදීන් ලෙස හඳුන්වනු ලැබුවේ කුමන අරමුණක් ඇතිවද? අප ත‍්‍රස්තවාදීන් ලෙස, මිනීමරුවන් ලෙස ජනතාව අතරින් ඈත් කරන්නටයි. අප ජනතා සතුරන් ලෙස හංවඩු ගසන්නටයි. අද මෙන්ම එදාත් අපේ පංති සතුරන් මෙහෙයවනු ලැබුයේ අධිරාජ්‍යවාදය විසින්. අධිරාජ්‍යවාදයේ ප‍්‍රබල අවියක් වන අධිරාජ්‍යවාදයේ මාධ්‍ය විසින්. එදත් අදත් මේ මාධ්‍ය විසින් චේ, ෆිදෙල්, රවූල් හඳුන්වනු ලැබුවේ ත‍්‍රස්තවාදීන් ලෙයසි. ශ‍්‍රී ලංකාවේ ජනතා සතුරනුත් ඒ මාධ්‍ය විසින් මෙහෙයවනු ලැබුවා. 1959 වන විටත් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ අවස්ථාවාදය රජකළා. ඒ පිළිබඳව අධිරාජ්‍යවාදීන් ඉහළම සතුට විඳින්නට ඇතුවාට කිසිම සැකයක් නැහැ. නමුත් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය දැවැන්ත පිම්මකින්, ඔව් එක පිම්මකින් නොවෙයි පිමි කීපයකින් ඉදිරියට ගෙනගිය පුංචි කියුබාවේ දැවැන්තයන් වූ ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා, අර්නෙස්ටෝ චේ ගෙවාරා සහෝදරයා, රාවුල් කස්ත්‍රෝ සහෝදරයා වීරෝදාර කියුබානු ජනතාව අධිරාජ්‍යවාදීන්ගේ සතුටට බාධා කළා. ඒ නිසා ෆිදෙල්, චේ, රාවුල් ඇතුළු සියලු විප්ලවවාදීන් අධිරාජ්‍යවාදීන්ට අංක එකේ සතුරන් බවට පත්වුණා. අධිරාජ්‍යවාදීන්ගේ කටු ලෙවකන්නන් වූ ලාංකීය අධිරාජ්‍ය ගැත්තන්ට වැඩකරන ජනතාවගේ සතුරන්ට ෆිදෙල්ලා, චේ ගෙවාරාලා, රාවුල් කස්ත්‍රෝලා පමණක් නොවෙයි රෝහණ විජේවීරලාත් ත‍්‍රස්තවාදීන් ලෙස, මිනීමරුවන් ලෙස පෙනී යාම පුදුමයක් නැහැ. පුදුමය ඒක නොවෙයි. ශ‍්‍රී ලංකාවෙ විතරක් නොවෙයි. මුළු ලෝකෙ පුරාම පංති සතුරෝ අර්නෙස්ටෝ චේ ගෙවාරා සහෝදරයා කොන්තයක් බවට පත් කරගෙන වන්දනාමාන කරන තැනට ඇවිත් තිබීමයි. ශ‍්‍රී ලංකාවෙත් ආසියාවේ, අප‍්‍රිකාවේ, ලතින් ඇමෙරිකාවේ, යුරෝපයේ, උතුරු ඇමෙරිකාවේ වැඩකරන ජනතාව මේ බොරු රඟපෑම්වලින් නොමඟ යා යුතු නැහැ. මේ හතුරන්ගේ දකුණු අත්වල අධිරාජ්‍යවාදීන්ගේ අවි. විප්ලවවාදීන්ගේ රතු ලේ. ඔවුන්ගේ වම් අත්වල සමාජවාදය, දේශපේ‍්‍රමිත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානවහිතවාදය, පරිසරහිතවාදය. අමතක කරන්න එපා. මේ හතුරන්ට එදත් අදත් ෆිදෙල් හතුරෙක්. රාවුල් හතුරෙක්. රෝහණ විජේවීර හතුරෙක්. උගෝ චාවෙස් හතුරෙක්. සමාජවාදයේ ජයග‍්‍රහණ සඳහා නිර්ධන පංති ජාත්‍යන්තරවාදය සැබෑවක් කිරීම සඳහා සටන්වදින ලොව පුරා සටන්වදින, ජීවිත, ලේ, දහදිය, ශ‍්‍රමය, කාලය, ධනය පරිත්‍යාග කරන ලොව පුරා නායක නායිකාවන් හා ජනතාවන් සතුරෝ. සහෝදරියනි, සහෝදරයිනි... ජීවතුන් අතර සිටි චේට වඩා මරා දමන ලද චේ ප‍්‍රබලයි. චේ ජනතා සිත් සතන් අරක්ගෙන ඉන්නවා. ලොව පුරා වෙසෙන ප‍්‍රගතිශීලී මානව හිතවාදී ජනතාව චේට ආදරය කරනවා. ගරු කරනවා. අද වන විට ලොව පුරා වැඩියෙන් ම ප‍්‍රදර්ශනය වන ඡායාරූපයක් තිබේ නම් ඒ චේගේ ඡායාරූපයයි. ඒත් ඔබ චේ විලාසිතාවක් බවට පත්කර ගන්න එපා. ෆිදෙල්, චේ, අග‍්‍රගණ්‍ය විප්ලවවාදී සටන්කාමී අධිරාජ්‍යවිරෝධී ජ්‍යාත්‍යන්තරවාදීන් පමණක් නොවෙයි. ඔවුහු ගුණවත් මිනිස්සු. ගුණ සමුදායකින් සමන්විත මිනිස්සු. චේගේ පරිත්‍යාග ගුණය අපරිමිතයි. ඔහු කළ අභිනිෂ්ක‍්‍රමණය එයට හොඳම උදාහරණයයි. චේ සිය ජීවිතයේ හැම විටම ප‍්‍රදර්ශනය කළ විනය ඉතා ඉහළයි. චේ අයුක්තිය අසාධාරණය ඉදිරියේ නොසැලුණු මහා ගල් පර්වතයක්. ඔහු මෘදු විය යුතු තැන වෙඬරු පිඩක් සේ මෘදු වුනා. එසේම දැඩිවිය යුතු තැන දැඩි වුනා. විප්ලවවාදීන් කඩාකප්පල්කාරීන් නොවෙයි. සටන්කාමීන් තුවක්කුව හෝ පෑන අතට ගත් විට ලේ පිපාසික මිනීමරුවන් හෝ නරුමයන් වෙන්නේ නැහැ. චේ ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨ සංකේතයක්. ඔහු මානව දයාවෙන් පිරුණු පළල් හදවතක් ඇතිව සිටියා. එනිසා ඔහු සතුරා ඉදිරියේ සටනක නියැලුණු ගරිල්ලා භටයෙකු වී සිටි මොහොතේත් ඔහු ළඟට පැමිණි අසනීපයෙන් පෙළුණු ගොවීනට නොපමාව ප‍්‍රතිකාර කළා. චේ ඉහළම ගණයේ සංවිධායකයෙක්. ඒ වගේම උද්ඝෝෂකයෙක්. ඔහු නොසැලෙන ජාත්‍යන්තරවාදියෙක් වුනා. එනිසා ඔහුට කියුබාව පමණක් නොවෙයි ලතින් ඇමරිකාව, අප‍්‍රිකාව පමණක් නොවෙයි මුළු ලෝකයම සටන් බිමක් වුනා. චේ අධිරාජ්‍යවාදයෙන් තොර ලෝකයක් දකින්න නිර්මාණය කරන්න අසීමිත කඩි මුඩියක හිටියා. අධිරාජ්‍යවාදයේ කුරිරු බව මැනවින් අවබෝධ කරගත් සියලු දේශපේ‍්‍රමීන්ට, ප‍්‍රගතිශීලීන්ට, සමාජවාදීන්ට ඒ කඩි මුඩිය තිබිය යුතුයි. චේ වරක් ‘‘වියට්නාම් එකක්, දෙකක් නොව බොහෝ ගණනක් බිහි කරව්’’ ය යි ලොවට හඬ ගා ඉල්ලා සිටියේ ඒ නිසයි. ආදරණීය සහෝදරිය... සහෝදරය... ඔබ තරුණයි. ඔබ නැවුම්. ඔබ චේට ගරු කරනවා. ඔබ චේට ආදරය කරණවා. ඔබ චේගේ සටන්කාමිත්වය මැනවින් උකහාගෙන තිබෙනවා. එහිදී ඔබ සෙසු තරුණ, තරුණියන්ට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නවා. එහෙත් අපි නැවතත් කියනවා චේ සටන්කාමියෙක් පමණක් නොවෙයි. දැන් මෙතන සඳහන් කළ හා සඳහන් නොකළ ගුණ සමුදායකින් පිරිපුන් සැබෑම සැබෑ මිනිසෙක්. අද ලෝකයට එවන් ගුණ සමුදායකින් පිරුණු තරුණ විප්ලවවාදීන් ලක්ෂ ගණනින් අවශ්‍ය යුගයක්. චේ ජීවත් වූ යුගයේ පැවැතියාට වඩා අධිරාජ්‍යවාදය ධනවාදය දැන් අතිශයින් කුරිරුයි. සාහසිකයි. ආක‍්‍රමණකාරියි. නව ලිබරල්වාදී ගෝලීයකරණය මිනිස්වර්ගයාගේ ප‍්‍රධාන සතුරා බවට පත්වෙලා. එහි ප‍්‍රතිඵලය ලෙස ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවට රැකියා අහිමි වෙලා. යුරෝපයේ සමහර රටවල් තුළ තරුණ ජනයා අතරින් 50%ක්ම රැකියා විරහිතයෝ. කෝටි සංඛ්‍යාත ජනයා දරිද්‍රතාවයට ඇද දමනු ලැබ තිබෙනවා. එනිසා කෝටි සංඛ්‍යාත ලෝකවාසී ජනතාව වෙත අධිරාජ්‍යවාදී ගෝලීයකරණය වෙනුවට, සමාජවාදී ගෝලීයකරණ ගෙන ආ යුතුයි. ඒ සඳහා චේ ගෙවාරලා දහස් ගණනින් අවශ්‍ය යුගයක් මේ. ඔබ චේ ආදර්ශයට ගන්න. චේ ගේ සමස්ත ගුණ සමුදාය උකහා ගන්න. සංවිධානය වන්න. අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කරන්න. අධිරාජ්‍යවාදය මහ පොළොවෙන් අතු ගා දමන්න. ජයග‍්‍රහණ අත්පත් කරගන්න. අර්නස්ටෝ චේ ගෙවාරා නාමය දිගුකල් දිනේවා ! ජාත්‍යන්තරවාදය දිගුකල් දිනේවා ! අධිරාජ්‍යවාදයට විනාශය - ජනතාවට විමුක්තිය ! ධනවාදයට විනාශය - සමාජවාදයට විජයග‍්‍රහණය !" විදෙස් රටවල් රැසක නියෝජිතයන්ද මේ අවස්ථාවට සහභාගීවී සිටියහ.
විමුක්ති පෙරමුණ එහි ආරම්භයේ සිට මේ දක්වාම සමාජවාදී කියුබාවට දෙගඩියාවෙන් තොරව සහයෝගය පළ කිරීම අගයකරමින් පසුගිය 19වනදා කියුබානු රජය ජනතා විමුක්ති පෙරමුණට පිරිනමන ලද මිත්‍රත්වයේ පදක්කම ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් සමාජවාදී තරුණ සංමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතාට පිරිනැමූ අවස්ථාව.
සමාජවාදී තරුණ සංමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අදහස් දක්වමින්
ඇමරිකාඑක්සත් ජනපදය විසින් දේශපාලන සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින කියුබානුවන් පස්දෙනා නිදහස්කරන ලෙස බලකෙරෙන බැනරයකට අත්සන් ලබමින්.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මහතා චේ ගෙවාරා සමරුවේ ප්‍රධාන දේශනය පවත්වමින්.

No comments:

Post a Comment