Thursday 1 November 2012

ඒකාධිපති වියරුවේ අලුත්ම ගොදුර අධිකරණයයි - ජවිපෙ

ඒකාධිපති වියරුවේ අලුත්ම ‍ගොදුර අධිකරණය බවත් එයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඇතුළු සියලු දෙනාද ඒකරාශී කරගිනිමින් විශාල විරෝධතා කි‍්‍රයාවලියක නිරතවීමට තම පක්ෂය කටයුතු කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනමණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ පැලවත්ත බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති‍ පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී දැක්වූ අදහස් පහත පළවේ... "මේ වනවිට විධායකය විසින් අධිකරණයට විශාල බලපෑමක් එල්ල කරමින් සිටිනවා. එහි නවතම වර්ධනයන් පිළිබඳ මේ වනවිට ජවිපෙ ස්ථාවරය පැහැදිලි කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ඒකාධිපති වියරුවෙන් කටයුතු කරන ආණ්ඩුවක්. තමන්ගේ ඒකාධිපති වියරුව වෙනුවෙන් බාධාකරන සියලුම ආයතන, පුද්ලයන් මර්දනය කරන, පලවා හරින විනාශ කරන ක‍්‍රමයක් අනුගමනය කරමින් සිටිනවා. පසුගිය දිනවල මෙම ඒකාධිපති වියරුවට බාධා පමුණුවන ලද මාධ්‍ය ආයතන පොඩි පට්ටම් කරමින් මාධ්‍යවේදීන්ට පහරදෙමින්, ලංකාවෙන් පිටමන් කරමින් සිටියා. අවසානයේදී ඔවුන් ඝාතනය කරන තැනකට පත්වුණා. කිසිදු ආයතනයකට පුද්ගලයෙකුට තමන්ගේ සාමාන්‍ය කාර්යපටිපාටිය කරගෙන යන්න ඉඩදෙන්නේ නැහැ. එම කි‍්‍රයාවලියේ බරපතල ගොදුරක් බවට දැන් අධිකරණ පද්ධතිය පත්වෙලා. අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා අධිකරණ සේවා කොමිසමට ඉහළ තැනකින් බලපෑම් සිදුවෙනවා කියා. එම තත්වය තරුණු පැහැදිලි කරමින් සමනය කරගත හැකිවුණා කියලත් සඳහන් කළා. ඒ වගේම අධිකරණ සේවා කොමිසමට එල්ලවන බලපෑම්වලට බියගුලුව නොසිට ඉදිරියටත් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කරන්න සූදානම් බවද ප‍්‍රකාශ කළා. අධිකරණ සේවා කොමිසන් සභාවේ ව්‍යවස්ථාවට අනුව ලේකම්ට කළ හැක්කේ කොමිසන් සභාව විසින් ගන්නා තීන්දු තීරණ ප‍්‍රකාශ කිරීම පමණයි. අධිකරණ සේවා කොමිසමේ අනුමැතිය ඇතිවයි ඔහු කි‍්‍රයාත්මක වෙන්නේ. එනිසා ඔහු අධිකරණ සේවා කොමිසමේ පණිවිඩකරුවෙක් පමණයි. එනිසා අධිකරණයට එරෙහිව සිදුවන බලපෑම් පිළිබඳ හෙළිදරව් කළේ අධිකරණ සේවා කොමිසමේ සභාපතිනිය වන අගවිනිසුරුවරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණ සේවා කොමිසන් සභාවයි. නමුත් පහරදීලා තියෙන්නේ වැරදි කෙනාටයි. පහරදුන්නේ පණිවිඩකරුටයි. මංජුල තිලකරත්න මහතාට පහරදීමෙන් අනතුරුව ආණ්ඩුව තවමත් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා නැහැ. කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ. කිසිවෙකු අධිකරණයට ඉදිරිපත් කර නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව දැන් කරමින් සිටින්නේ එම පහරදීම සම්බන්ධයෙන් මඩ අවලාද නිර්මාණය කරමින් සිටිනවා. පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුකූල නොවන පරිදි ජනාධිපතිවරයාට පැමිණියා කියන නිර්නාමික ලිපියක් ඔහුගේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වන ජයරත්න හේරත් මහතා මගින් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවා. එහි අඩංගු වුණේ මංජුල තිලකරත්න මහතාට සිදුකරන ලද පහරදීම පිළිබඳ මඩ අවලාද සහිත කරුණු. මෙම පහරදීමට මැදිහත්වූ සැබෑ සැකකරුවන් සොයනවා වෙනුවට ආණ්ඩුව විසින්ම සිදුකරන ලද මෙම පහරදීම උපයෝගී කරගෙන අගවිනිසුරුවරියට සහ මංජුල තිලකරත්න මහතාට මඩ, අවලාද ව්‍යාපාරයක් දියත් කරමින් ඉන්නවා. එය කොතරම්ද කියනවා නම් එම මඩ අවලාද පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට පිටින් යමින් සභාගත කළා. ඒ වගේම ප‍්‍රහාරයේ වගකීම වෙන වෙන පුද්ගලයන් දිසාවට එල්ල කරමින් ඉන්නවා. එසේ සිදුකිරීමට ආණ්ඩුවට සිදුව ඇත්තේ ඇයි? එම සැබෑ ප‍්‍රහාරකයින් ආණ්ඩුව විසින් ආරක්ෂා කළ යුතු පුද්ගලයන් නිසයි. එනිසා මේ කි‍්‍රයාත්මක වෙමින් තිබුණේ අධිකරණය තමන්ට අවශ්‍ය පරිදි අවතන කරගැනීමේ මෙහෙයුමක්. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි මංජුල තිලකරත්න මහතාට පහරදෙන්නේ, මඩ අවලාද නගන්නේ, අගවිනිසුරුතුමියගේ ස්වාමිපුරුෂයා වන ප‍්‍රදීප් කාරියවසම් හදිසියේ බී වාර්තාවක් මගින් අධිකරණය හමුවට පමුණුවන්නේ, අගවිනිසුරුතුමියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන්නේ. ආණ්ඩුව දියත් කරන ලද මෙහෙයුමක් තියෙනවා. එහි අවසන් අදියර තමයි අගවිනිසුරුතුමිය තනතුරෙන් පලවා හැරීම. ආණ්ඩුවේ පක්ෂ සාකච්ඡාවකින් අනතුරුව එකඟතාවකට පැමිණියා කියලා වාර්තා වුණා. අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට. අත්සන් 118ක් ලබාගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා වුණා. මේ වනවිට කතානායකවරයාට එම දෝෂාභියෝගය බාරදීලා තිබෙනවා. මෙලෙස දෝෂාභියෝගයකට ඉඩ විවිර කළේ 1978 ව්‍යවස්ථාව මගින්. ජේ. ආර්. ජයවර්ධන මේ ලෙසම ඒකාධිපති වියරුවෙන් 5/6ක බලය ලබාගත්තාට පසුව තමන් අවශ්‍ය පරිදි ව්‍යවස්ථාව වෙනස් කරගත්තා. තමන්ට අවශ්‍ය පරිදි අධිකරණය පාලනය කිරීම පිණිස 107 වෙනි වගන්තිය ඇතුල් කළා. එයින් තිබෙන්නේ දුබලතාවයක් හෝ විෂම පැවැත්මක් පැහැදිලි ලෙස ඔප්පු කරනු ලැබූවොත් දෝෂාභියෝගයකට ලක්කළ හැකියි කියලා. නමුත් මෙම විෂම පැවැත්ම කියන කාරණයට නිශ්චිත අර්ථකතනයක් නැහැ. නිශ්චිත ලෙස කරුණු ඇතුලත් විය යුතුව තිබුණා. මේ අනුව නෙවිල් සමරකෝන් අග‍්‍රවිශ්චියකාරතුමාට යූ. එන්. පී.ය දෝෂාභියෝගයක් ගෙනාවා. ඔහු විනිසුරු පදවියවත් හොබවපු පුද්ගලයෙක් නොවේ. ජේ. ආර්. ජයවර්ධන පිටින් ගෙනත් තමන්ගේ උවමනාව වෙනුවෙන් වාඩිකරගත් පුද්ගලයෙක්. නමුත් ඔහු ජේ. ආර්. සමග ගැටෙන්න පටන්ගත්තා. නෙවිල් සමරකෝන් මහතාගේ ප‍්‍රකාශයක් නිසා ඔහුට දෝෂාභියෝගයක් ගෙනාවා. නමුත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල ඇති කරුණු හේතුවෙන් දෝෂාභියෝගය ඉවත දැම්මා. ස්ථාවර නියෝග වෙනස් කරලා නැවත ගෙනාවත් එය ඉටුකරගන්න ජේ. ආර්.ට බැරිවුණා. ඉතිහාසයේ අප දැකලා තිබෙනවා ආණ්ඩු අධිකරණය තමන්ට අවශ්‍ය පරිදි අවනත නොවන විට ව්‍යවස්ථාවේ 107 වගන්තිය යොදාගන්නවා. ඒ ලෙස තමයි අද මේ 107 වෙනි වගන්තිය යොදාගෙන තිබෙන්නේ අග‍්‍රවිශ්චයකාරතුමියට එරෙහිව. මන්ත‍්‍රීවරුන් 75 දෙනෙකුගේ අත්සනින් යුතුව, විෂම පැවැත්මට අදාල කරුණු සහිතව දෝෂාභියෝගය භාරදුන්නොත් කතානායකවරයා විසින් එය බාරගනු ලබනවා. චෝදනා හදන්නේ මන්ත‍්‍රීවරු. එය භාරදුන් පසු පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කරනවා. එහි සිටින්නෙත් මන්ත‍්‍රීවරු. චෝදනා ගැන නඩු අහන්නේ මන්ත‍්‍රීවරු. එය මත වාර්තාවක් ඉදිරිපත් කරනවා. එයට පිළිතුරු දෙන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු බහුතරය. එනිසා ජේ. ආර්. 107 වගන්තිය ව්‍යවස්ථාවට ඇතුල් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු බහුතරයක් තිබෙන ආණ්ඩුවකට අගවිනිසුරුවරයා ඉවත් කරගැනීම සඳහාමයි. මේ කි‍්‍රයාදාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදීද? එදා ඒකාධිපති වියරු ජේ. ආර්. ජයවර්ධන ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ලෙස ව්‍යවස්ථාවට ඇතුල් කරපු 107 වගන්තිය අද ඒකාධිපති වියරු මහින්ද රාජපක්ෂ අද යොදාගනිමින් ඉන්නවා අධිකරණය තමන්ට අවශ්‍ය පරිදි හීලෑ කර ගැනීම පිණිස. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යුක්තිගරුකභාවය හෝ සදාචාරය නොවේ. ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි රාජක්ෂලා මනෝ ව්‍යාධියකින් පෙළෙනවා. එය තමයි බලය ගත්තාම සියල්ල තමන්ට කළ හැකියි කියන ව්‍යාධිය. ඉතිං බැසිල් රාජපක්ෂ හිතනවා ඔහු ආර්ථික සංවර්ධන ඇමති, මහින්ද රාජපක්ෂගේ මල්ලී එනිසා ඔහුට කළ නොහැක්කක් නොමැත කියලා. ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙනාව දිවිනැගුම පනතට අධිකරණය බාධා කළා කියලා ඔහු හිතනවා. ඉතිං බැසිල් රාජපක්ෂ හිතනවා ඔහුට ඇති මානසික ව්‍යාධිය අනුව දැන් අධිකරණය තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන්නේ නැහැ කියලා. එතනින් තමයි මේ කුමන්ත‍්‍රණය දියත් කළේ. මෙය සාමාන්‍ය ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගේ හෝ ශී‍්‍ර. ල. නි. ප. යේ ජ්‍යෙෂ්ඨයින්ගේ මතය නොවෙයි. මේ තිබෙන්නේ බලහත්කාරය පාවිච්චි කරලා ගත්ත අත්සන් ප‍්‍රමාණයක්. පවුලේ බල වියරුව තමයි මේ කි‍්‍රයාත්මක වෙමින් තිබෙන්නේ. මේ ගැටුම ඒකයි. අපි මෙම ධනේෂ්වර ක‍්‍රමය පිළිගන්නේ නැහැ. නමුත් සමාජයේ පොදු පැවැත්ම සඳහා ධනේෂ්වර ක‍්‍රමය විසින් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ලෙස කුළුණු 03ක් නිර්මාණය කරලා තියෙනවා. එහි සංවරණය සහ තුලනය මතයි සමාජයක පොදු පැවැත්ම තහවුරු වෙලා තිබෙන්නේ. සමාජය ගොඩ නැගෙන්නේ. රාජපක්ෂ පවුල විසින් මේ කුළුගෙඩි ප‍්‍රහාරය එල්ල කරනු ලබන්නේ මේ කුළුණු තුනෙන් එකක් වන අධිකරණයටයි. ව්‍යවස්ථාදායකය ඔවුන් විසින් යටත් කරගෙන තිබෙනවා මේ වනවිටත්. එනිසා සමාජයේ පොදු පැවැත්ම බිඳවැටෙමින් තිබෙනවා. ඒ අයම ඉතාම උත්තරීතර යැයි අර්ථකතනය කළ අධිකරණ පද්ධතිය බිඳ දමනවා. මෙය කෙළවර වන්නේ කොතනින්ද? තමන් හෝ තම ආයතනය ඊළඟ වතාවේ මෙම ඒකාධිපති වියරුවට බිලිවෙන තෙක් බලා සිටිනවාද? එයට බියට පත්වී, එය වැළඳගනිමින් සිටිනවාද? නැතිනම් එයට එරෙහිව සටන් කරනවාද යන්න තීරණය කළ යුතුයි. එනිසා මේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ඒකාධිපති වියරුවට එරෙහිව සටන් කළ යුතුව තිබෙනවා. තවදුරටත් මේ කි‍්‍රයාදාමයට ඉදිරියට යාමට ඉඩ නොදිය යුතුයි. පාර්ලිමේන්තුවේ විකෘති ලෙස හදාගත් 2/3කේ බලය පාවිච්චි කරමින් අද උපයෝගි කරගන්නේ මොකටද? සම්මත කරගෙන තිබෙන එකම නීතිය 18 සංශෝධනය පමණයි. සාමාන්‍ය ජනතාවගේ යහපත පිණිස නොවෙයි එය උපයෝගී කරගන්නේ. රාජපක්ෂ පවුලේ බලය තහවුරු කරගැනීම සහ එය ව්‍යාප්ත කිරීමටයි යොදාගනිමින් ඉන්නේ. මෙයට එරෙහි විය යුතුයි. ජවිපෙ මැදිහත්වෙලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඇතුළු සියලු දෙනා එකතු කරගත් විශාල විරෝධතා කි‍්‍රයාවලියකට ලබන සතියේ සිට නිරතවීමට කටයුතු කරමින් සිටිනවා. මේ ඒකාධිපති වියරුව පරාජයට පත්කළ යුතුයි. තවත් පුද්ගලයෙකු හෝ තවත් ආයතනයක් මේ ඒකාධිපති වියරුවට යටත්වීමට ඉඩ නොදිය යුතුයි. එය අප හැමදෙනාගේම අභිලාෂය විය යුතුයි. අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වෙනුවෙන් පෙළගැසෙන්න කියලා." මෙම මාධ්‍ය හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, කොළඹ මහ නගරසභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතාද සහභාගී විය.

No comments:

Post a Comment