Monday, 23 July 2012

බාධා මැද සහෝදරත්වයේ දිනය සාර්ථකව සැමරේ 2012 ජූලි 23 වෙනි සදුදා,

අද(23) සහෝදරත්වයේ දින සැමරුම සඳහා අනුරාධපුරයේ සිට වව්නියාව බලා දුම්රියෙන් ගිය සමාජවාදී තරුණ සංගමයේ සාමාජික සාමාජිකාවන් වව්නියාවේදී උණුසුම් පිළිගැනීමකට ලක්වූ බව වාර්තා වේ. වව්නියාව දුම්රියපොළට ළඟාවීමෙන් පසු එහි සිට නගරය හරහා සහෝදරත්වයේ පාගමනක් පැවැත්වූ තරුණ සංගමය වව්නියාව නගර සභා පිටියේ රැස්වීමක්ද සාර්ථකව පැවැත්වීය. මෙම රැස්වීම වව්නියාව නගරයේ පැවැත්වීමට කලින් සැලසුම් කර පැවතියද පොලීසියේ බාධා කිරීම් හේතුවෙන් නගර සභා පිටියේ පැවැත්වීමට සිදුව තිබිණි. මෙම පාගමන හා රැස්වීම වැළැක්වීම සඳහා වව්නියාව පොලීසිය ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන තිබුණද තරුණ සංගමය විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් පසු එම වාරණය ඉවත් කෙරිණි. පස්වරුවේ වව්නියාව නගරයයේ පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කිරීමට නියමිත අතර හෙට දින මෙම වැඩසටහන කිලිනොච්චිය නගරය මූලික කර ගනිමින් පැවැත්වීමට තරුණ සංගමය අපේක්ෂා කරයි. නගරසභා පිටියේ පැවති රැස්වීමේදී අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ බිමල් රත්නායක මහතා අධිකරණයට අපහාස කළ අමාත්‍යවරුන්ට සැලියුට් ගැසීමට සිදුව ඇති පොලීසිය අද සහෝදරත්වයේ පා ගමනට එරෙහිව අතුරු තහනම් නියෝග ඉල්ලීමට තරම් ලැජ්ජා සහගත තත්වයකට ඇද දමා තිබීම පිළිබඳව කණගාටු බව පැවසීය. සහෝදරත්වයේ දිනය ප්‍රකාශයට ලත් කළේ යුද්ධය පසුව සාමය ගැන කතා කිරීමක් ලෙස නොව යුද්ධය පැවති අවදියේම බව කී ඔහු සමාජවාදී තරුණ සංගමය ලෙස තමන් අවධාරණය කළේ, සාමයට ඇති එකම මාවත ජාතික සමගිය ගොඩනැගීමේ මාවත බව පෙන්වා දුන්නේය. ජනතාව බෙදීමට එරෙහිව, ජාතිවාදයට එරෙහිව, ජාතිවාදයේ ලේවලින් පෙඟුණ මේ දිනය, මේ මාසය සහෝදරත්වයෙන් පිරවිය යුතු බවත් ඒ මගින් ජාතිකත්වයන් අතර සමගියට පාලමක් තැනිම සඳහා යොදා ගත යුතු බවත් සමාජවාදී තරුණ සංගමය හඳුනා ගත් බව කියා සිටියේය. "කුමන බාධා පැමිණියත් ජාතික සමගිය වෙනුවෙන් පෙරට තැබූ පය පසුපසට ගැනීමට අපි සූදානම් නැහැ." බිමල් රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

No comments:

Post a Comment