Tuesday, 14 August 2012

ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළට

මෙවර නිරිත දිග මෝසම් වර්ෂාවේ කැපී පෙනෙන අඩු වීමක් දැකිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේනතුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්.කාරියවසම් මහතා පැවසුවේ, නිරිත දිග මෝසමින් මෙවර ලැබී ඇත්තේ අපේක්ෂිත වර්ෂාපතනයෙන් 30% ක් පමණක් බවයි. විවිධ පාරිසරික බලපෑම් හේතුවෙන් මෙම තත්වය ඇති තිබෙන බව ඔහු පැවසීය. ඒ හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදීද දිවයිනේ ජල හිඟයට ස්ථිර විසදුමක් නොලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අතර පවතින වියලි කාලගුණයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ජල මට්ටම එහි සමස්ත ධාරිතාවෙන් 26% ක් දක්වා පහත වැටි තිබේ. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් භද්‍රා කමලදාස මහත්මිය පැවසුවේ, දෙපාර්තමේන්තුවට අයත් විශාල ප්‍රමාණයේ ජලාශ 71 ක් පවතින බවයි. එම ජලාශවල අඩුම ජල ධාරිතාව වන 7% වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව ද ඇය සඳහන් කළාය. පුත්තලම දිස්ත්‍රික්කයේ ජලාශවල ජල ධාරිතාව 14% ක් දක්වාත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 15% ක් දක්වාත්, මඩකලපුව දිස්ත්‍රික්කයේ 12% ක් දක්වාත් ජලාශවල ජල මට්ටම් අඩු වී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය. මීට සමගාමීව දෙපාර්තමේන්තුවට අයත් 350 ක් වන මධ්‍ය පරිමාණ ජලාශවල ජල මට්ටම ද පහළ ගොස් තිබේ. ඒ අතර මහවැලි ජලාශවල ජල මට්ටම් ද මේ වනවිට ශීඝ්‍රෙයන් අඩු වී ඇති බව ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය පවසයි. රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම එහි සමස්ත ධාරිතාවෙන් 0.7% දක්වා අඩු වී තිබේ. වික්ටෝරියා ජලාශය 8.5% ක් දක්වාත්, රන්ටැඹේ ජලාශය 10% ක් දක්වාත් ජල මට්ටම පහත බැස ඇති බව මහවැලි අධිකාරිය සඳහන් කළේය.

No comments:

Post a Comment