Sunday 12 August 2012

මැතිවරණය සඳහා ජාතිවාදී පදනම් පාවිච්චි කරගන්න එපා - හඳුන්නෙත්ති

ඡන්ද ව්‍යාපාය සඳහා ජාතිවාදී පදනම් මොනම ආකාරයකින් වත් පාවිච්චි කර නොගන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සියලූම දේශපාලන පක්ෂ වලින් සහ සියලූම දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටියි. මඩකලපුව උල්නොච්චි ප්‍රදේශයේ ඉරනෝරුවිල් මොහිදීන් ජුම්මා පල්ලිය ඊයේ (11) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනිතබා, එහි නිවාස කිහිපයක් කඩා විනාශ කරීමේ සිද්ධීයක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට එහි ගිය අවස්ථාවේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, මධ්‍යමකාරක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා එසේ පවසා සිටියේය. හඳුන්නෙත්ති මහතා ඒ අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතා දැක්වූ අදහස් පහත පළවේ "මඩකලපුව උල්නොච්චි ප්‍රදේශයේ අද (12) යම් සිදුවීමක් වෙලා තියෙනවා. ඊයේ (11) රාත්‍රියේ මුස්ලිම් පල්ලියක් ගිනි තියලා තියෙනවා. අපි ඒ ස්ථානය නිරීක්ෂණය කළා. ඇත්තටම මේක ඉතාම කනගාටු දායක සිදුවීමක්. අපි මේක හෙළාදකිනවා. මේ සිදුවිම මුස්ලිම් ජනතාව නෝම්බි උපවාසයේ යෙදෙන වෙලාවේ ඇතිවෙලා තියෙන නිසා සුළුපටු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ඉඩම් ආරවුලක් නිසා ඇතිවුනු දෙයක් කියල තමයි අපිට වාර්තා‍වුනේ. නමුත් එය ජාතීවාදී පදනමින් යොදාගන්න ආණ්ඩුවේ දේශපාලන පක්ෂ උත්සාහ කරනවා. අපි විශ්වාස කරනවා විශේෂයෙන් මේ මැතිවරණය තියෙන වෙලාවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව, සිංහල ජනතාව අතර සහෝදරත්වය, සාමය, සමගිය සහිතව තමයි මේ මැතිවරණ ව්‍යාපාරය සිද්ධවෙන්න ඕන කියලා. මැතිවරණය කියලා කියන්නෙ ජාතිවාදය අවුස්සන එක නෙවෙයි. කිසියම් හෝ ආකාරයකින් මුස්ලිම් අය අතරේ දෙමළ ජාතීවාදී පදනමින් හරී සිංහල ජනතාව අතරේ මුස්ලිම් ජාතිවාදී පදනමින් හරී ජාතිවාදය අවුස්සලා ඒ ජාතිවාදය මත දේශපාලනය කරන්න හදන එක ජනාතා විමුක්ති පෙරමුණ හැටියට අපි තදින් හෙළාදකිනවා. ඒ නිසා අපි ආණ්ඩුවට විටින් විට බලකරනවා වහාම මෙවැනි සිදුවීම් ඇතිවන එක වලක්වන්න කියලා. විශේෂයෙන්ම ආණ්ඩුවේ අනුග්‍රහය දක්වන දේශපාලඥයෝ මේ පළාතේදී තමන්ට නැති ඡන්ද පදනම් හදාගන්න ජාතිවාදී පදනමින් යම් යම් සිදුවීම් පාදක කරගන්නවා. ඒ අරමුණ ඇතිව සිදුවෙච්ච සිදුවීමක් හැටියට අපි මේක දකිනවා. ඒනිසා කරුණාකරල ඉල්ලා හිටිනවා ආණ්ඩුවෙන් මේ සිද්ධියට වහාම මැදිහත්වෙලා මේක සමතයකට පත්කරන්න. ඒ ස්ථානයේ හිටපු මුස්ලිම් ජනතාව අද ඒ ස්ථානයෙන් ඉවත්වෙලා තියෙනවා. යළි ඒ අය පදිංචි කරවන්න. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අපි ස්තූතිවන්ත වෙනවා, අපි දැක්ක ඒ ස්ථානයේදී ආණ්ඩුවේ මැදිහත්වීම ඇතිව ‍හෝ නැතිව ආරක්ෂ අංශ මැදිහත්වෙලා ඒ හානියට පත්වෙච්ච නිවාස කිහිපය සහ මුස්ලිම් පල්ලිය යළි හදාදීමට ඉක්මන් මැදිහත්වීමක් කරලා තියෙනවා. අපි ඒක අගේ කරන අතරේ ආණ්ඩුවට අපි නැවතත් කියනවා මේ සිද්ධිය දේශපාලන වශයෙන් සාකච්ඡා කළ යුතු මාතෘකාවක් බවට පත්නොකර වහාම ඒ අය තමන්ගේ භූමියේ පදිංචි කරලවලා ආරක්ෂාව තහවුරු කරවලා දෙන්න කියලා. සියලුම දේශපාලන පක්ෂවලින් සියලුම දේශපාලන නායකයින්ගෙන් අපි ඉල්ලනවා වගකීමෙන් යුතුව ඡන්දය කරමු හා ඡන්ද ව්‍යාපාරය සඳහා ජාතිවාදී පදනම් මොනම ආකාරයකින් වත් පාවිච්චි කරගන්න එපා කියලා. ඒක අපි ආණ්ඩුවෙන් බොහෝම කාරුණිකව ඉල්ලා හිටිනවා. අපි ජනතාවට කියනවා සිහිබුද්ධියෙන් යුතුව ඡන්දය පාවිච්චි කරන්න, තමන්ගේ ඡන්දය ජාතිවාදයට යට කරන්න එපාකියලා." එම සිදුවීම සිදුවූ අවස්ථාවේදී පොරවකින් කෙටීම නිසා හිසට තුවාල වූ කාන්තාවක් මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තාවේ

1 comment:

  1. jathiwadya wapuran tharamat anduwat wasiy.e nisa api eyat ida nodemu.

    ReplyDelete