Friday, 28 September 2012
දැවැන්ත ඓතිහාසික අරගලය දින 05ක් තිස්සේ කිලෝමීටර් 120
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හරියට නිදා සිටින යෝධයින් වගේ යැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. රාජ්‍ය අධ්‍යාපනය රැකගනිමු මැයෙන් මෙවර දියත් කරන ලද අරගලය දිනෙන් දින ජවසම්පන්න වෙමින් ඉදිරියට ඇදෙන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නොසැලී එම අරගලයට ජවය සපයමින් සිටින බවත් ඔහු වැඩිදුරත් පැවසීය. දින 05ක් පුරා ගාල්ල සිට කොළඹ තෙක් පැමිණි පාගමන අවසන් දවස වන අද (28) කොළඹ හයිඩ් පිටියේ පැවැති රැලිය අමතමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපතිවරයා මේ අදහස් පළකළේය.
අද පෙරවරු 9.00ට පමණ මොරටුව නගරයෙන් ගමන් ආරම්භ කළ මෙම පාගමන රත්මලාන, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය හරහා හයිඩ් පිටියට ගමන් කළ අතර දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රැසක් මෙම පාගමනට එක්වූහ. මෙම රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිර්මාල් රංජිත් දේවසිරි මහතා..
මෙතෙක් කලක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනුවෙන් සැලකුවේ මැතිවරණය දවස්වල අපේක්ෂකයින් වෙනුවෙන් මනාප ඉල්ලලා පත්තර පිටුගණන් අත්සන් එකතු කරන පුද්ගලයින් ලෙසයි. නමුත් පසුගිය මාස 03 ඇතුලත පවත්වාගෙන ගිය අරගලය හේතුවෙන් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යවන්න බැරි පිරිසක් කියලා. මෙම අරගලය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සුභ ලකුණක්. සමාජයට බුද්ධිමය නායකත්වයක් සැපයීම විශ්වවිද්‍යාල ආචර්යවරුන්ගේ වගකීමක්. ඒ වෙනුවෙන් ඉදිරියට ඒම ඔවුන්ගේ යුතුකමක්. සමහරුන් කියනවා අධ්‍යාපනයේ මූලික වගකීම අපි අත් හැරලා කියලා. නමුත් දේශන ශාලාවල, පංති කාමරවල, පරීක්ෂණාගාර තුළ සිදුකළ මෙහෙවරට වඩා උසස් දෙයක් දැන් කරමින් ඉන්නවා. නිදහස් රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් ආයෝජනය කරලා තිබෙන මේ බලය ඉදිරියට නොනැසී පවතියි කියලා අපි විශ්වාස කරනවා. දේශපාලන වශයෙන් එකතු කළ නොහැකි බලවේගයක් අද එක් ස්ථානයකට රැස්කරන්න අප සමත් වෙලා තියෙනවා.
අධ්‍යාපනය සීග්‍රයෙන් වෙළෙඳපොළකරණය වෙලා තිබෙනවා. රජය නාස්තිකාර ව්‍යාපෘති සහ අනවශ්‍ය වියදම් ඒ වගේම සමාජ විරෝධී ක්‍රියාවලට වැයකරන ප්‍රමාණය සීග්‍රයෙන් වැඩිකරමින් ඉන්නවා. ඒ නිසාම අධ්‍යාපනයේ විශාල අර්බුදයක් නිර්මාණය කරලා තියෙනවා. අතීතයේ විශිෂ්ඨ දායාදයන් අනාගත පරපුරට දායාද කිරීම අධ්‍යාපනයෙන් ඉටු කරනවා. නමුත් අද ඊට බාධා එල්ල වෙලා තියෙනවා. එම උසස් පරමාර්ථයන් ඉටුකිරීමට තමයි අද අප මේ අරගලය සිදුකරමින් ඉන්නේ.
රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් වෙන්කරන්න කියලා අපි රජයට බලකරනවා. ඒ වගේම අද විශේෂ දෙයක් පැවසිය යුතුව තිබෙනවා. ඉදිරියේදී බලයට පැමිණෙන කුමන හෝ දේශපාලන පක්ෂයක් අධ්‍යාපනය වෙනුවෙන් මෙම මුදල වෙන්කිරීමට ප්‍රතිඥා දිය යුතු බවද අපි අවධාරණය කරනවා. කෙසේ වෙතත් අද 6% සටන් පාඨය පිළිගැනීමට සිදුව තිබෙනවා පාලකයින්ට. ඒ නිසා ඔවුන් කියන්න පටන් අරගෙන තියෙනවා විවිධ අයුරින් අධ්‍යාපනයට වෙන්කරලා තියෙන මුදල දැනට රාජ්‍ය ආධායමෙන් 6% පමණ වෙනවා කියලා. එක් පැත්තකින් උසස් අධ්‍යාපන ඇමතිවරයා අපිට උදව් කළා මෙම සටන මේ තරම් ජවයක් ලබාදෙන්න. කෙසේ වෙතත් අපි කියනවා මේ මොහොතේ රටේ නායකයාට තීරණය කිරීමට දෙයක් තිබෙනවා. මේ රටේ විශිෂ්ඨ සංස්කෘතියට පිටුපාමීන් ඉතිහාසයේ කුණු බක්කියට වැටෙනවද නැතිනම් මෙම සාධාරණ අරගලයට විසදුමක් දීමට අවධානය යොමු කරනවද කියලා.
විශ්වවිද්‍යාල අචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති දඹර අමිල හිමි..
දින 05ක් තිස්සේ කිලෝමීටර් 120ක් පමණ දුරක් ගෙවමින් අති දැවැන්ත කැපකිරීමක් සිදුකළ මෙවැනි ඓතිහාසික අරගලයක් ගැන අපි අහලා නැහැ. තවදුරටත් අධ්‍යාපනය ආපස්සට යාමට නොදී තම ඩිජිටල් තාක්ෂණික දැනුම පාවිච්චි කරමින්, ශාස්ත්‍රීය ඥානය පාවිච්චි කරමින්, ලේඛන කලාව යොදාගනිමින් අභිමානවත් සටන් ක්‍රමවේදයකට එළඹිලා තියෙනවා. අද මෙම අරගලය දේශපාලන පක්ෂවලට, ජනතාවට මහත් ආශ්වාදයක් ගෙන දීලා තියෙනවා. අවධානයට ලක්වෙලා තියෙනවා. 1940 ගණන්වලදිත් දැයේ යුග පුරුෂයින් සුද්දගෙන් නිදහස් අධ්‍යාපනය ලබාදෙන ලෙස බලකරමින් සටන් වැදුනා. ගම් දනව්වල ඇවිදිමින් ජනතාව දැනුවත් කළා. මෙත්තානන්ද, වල්පොල හාමුදුරුවෝ, අදිකාරම්, මළලසේකර යන යුග පුරුෂයින් ඒ කාලේ ඒ සටන මෙහෙයෙව්වා. එදා කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා මෙම නිදහස් අධ්‍යාපන පනත සම්මත වුවහොත් අධික මිලක් බවට පත්වෙලා තිබෙන අධ්‍යාපනය සියලු දෙනාගේ උරුමයක් බවට, නිර්ධනීන්ගේ උරුමයක් බවට පත්වනවා කියලා. 2012 වසරේ ජීවත් වන අපට මෙම ප්‍රකාශය ඉතාම වැදගත් ප්‍රකාශයක්. මේ මොහොතේත් උදාවෙමින් තිබෙන එම සියලු දෙනාට උරුම වෙලා තිබෙන අධ්‍යාපනය කීප දෙනෙකුට පමණක් අයිතිවීමට, උරුමයක් බවට පත්වීමට යන වටපිටාවක්. ඒ නිසා තමයි නූතන මෙත්තානන්ද කාර්ය භාරය දේශමාමක ජනතාවගේ අවශ්‍යතාවය පැනනගින්නේ.
Subscribe to:
Post Comments (Atom)











No comments:
Post a Comment