Wednesday 19 September 2012

අජන්ත මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්

පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසය තුළ හොඳම පන්දු යැවීම වර්තා කරීමට දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් සමත් විය. ඔහු මෙම දස්කම පෑවේ පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ පැවති පළමු තරගයේදීය. එම තරගයේදී ලකුණු 82ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 182කි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3කදී සියල්ලන් දැවී රැස් කළේ, ලකුණු 100ක් පමණි. ශ්‍රී ලංකා ඉණිමේ ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර ඊයේ පන්දු 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා ගත්තේය. ඔහු සහ ටී.එම්. ඩිල්ෂාන් අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 54කි. මුණවීර ලකුණු 17කටත් ටී.එම්. ඩිල්ෂාන් ලකුණු 39කටත් දැවී ගියේය. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුමාර් සංගක්කාර ලකුණු 44ක් රැස් කළේ, පන්දු 26කදීය. වේගවත් ඉණිමක් ක්‍රියාත්මක කළ ජීවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 43ක් රැස් කළේය. සිම්බාබ්වේ ඉණිම ආරම්භ කරනු ලැබුවේ, හැමිල්ටන් මසකඩ්සා හා වූසි සිබන්ඩා විසිනි. තරගයේ 5 වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවේදී ආරම්භක පිතිකරු වූසි සිබන්ඩා ලකුණු 11කට දවා ගත් අජන්ත මෙන්ඩිස් ඊළඟ පන්දුවේදී නායක බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු රැස් කිරිමට පෙර පිටියෙන් ඉවත් කළේය. කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනිම ගිලිහී ගියද සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හැමිල්ටන් මසකඩ්සා ලකුණු 20ට දවා ගැනීමට යළි ක්‍රියාත්මක වූ මෙන්ඩිස් සමත් විය. එල්ටන් චිගුම්බූරා ප්‍රොස්පර් උට්සෙයා සහ කෙලී ජාවිස් පිටියෙන් ඉවත් වූයේ අජන්ත මෙන්ඩිස්ගේ පන්දු හමුවේය. ඒ අනුව ලකුණු 8කදී අජන්ත මෙන්ඩිස් දවා ගත් කඩුලු ගණන 6කි. ඔහු ඊයේ බිඳ දැමුවේ පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 16ක් තුළ කඩුලු 6ක් දවා ගනිමින් ඔහු විසින්ම පිහිටුවා තිබූ වාර්තාවයි. මීට අමතරව පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ ජීවන් මෙන්ඩිස් ලකුණූ 24කට දවා ගත් කුඩුලු සංඛාව 3කි. වීරයා අජන්ත මෙන්ඩිස් තරගයේ වීරයා විය.

No comments:

Post a Comment