Sunday 21 October 2012

වැලිසර පැහැර ගැනීම ගැන තවමත් තොරතුරු නැහැ

වැලිසර ,ඇලේවත්ත ප්‍රදේශයේ දී ඊයේ පැහැර ගැණුනු ව්‍යාපාරිකයා පිළිබඳව මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බව පොලීසිය පැවසීය. පොලීසිය පැවසුවේ පැහැර ගැනීමට පැමිණි බව කියන වාහනයේ අංකය ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවය. ඇලේවත්ත,වැලිසර,රාගම පදිංචි 25 හැවිරිදි අමිත් ජයවිලාල් නැමති එක්දරු පියෙකු මෙසේ පැහැරගැනීමට පෑලියගොඩ සිට බිරිඳ සමඟ සිය නිවසට යමින් සිටිය දී ය. මෙම පුද්ගලයා වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා කොන්ත්‍රාත් පදනමට ශ්‍රමිකයන් සැපයීමේ නිරත වූ ව්‍යාපාරිකයෙකි. සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් මාර්ගය හරස් කර ගිනි අවියක් පෙන්වා තම සැමියා පැහැරගෙන ගිය බව ව්‍යාපාරිකයාගේ බිරිඳ පැවසුවාය. -පැහැර ගැනීමට ලක් වූ අයගේ බිරිඳ '' මම පොලීසියේ පැමිණිල්ලේ සඳහන් කළා මගේ මහත්තයාට ඉන්න තරහකාරයන් ගැන.මේ වෙනකන් එයාලව අරගෙන ප්‍රශ්න කිරීමක් වත් කිසිම දෙයක් කරලා නෑ.තරහකාරයො කළා කියලා තමයි මම අනිවාර්යයෙන්ම හිතන්නේ.මගේ මහත්තයාව ආයිත් මට ගෙනත් දෙන්න.මගේ ළමයගේ තාත්තව මගේ ළමයට ඕනේ කියලා ඉල්ලනකොට මම කාවද දෙන්නේ '' -පැහැර ගැනීමට ලක් වූ අයගේ මව '' මං බොහොම අමාරුවෙන් ඒ ළමයව හැදුවේ.ඒක නිසා මට ළමයව ගෙනැත් දෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ ඉන්න තැනකින් මගේ ළමයව එවන්න '' -පැහැර ගැනීමට ලක් වූ අයගේ මිත්තණිය '' මට මගේ මුණුපුරා හොයලා දෙන්න මහත්තයෝ මට එච්චරයි ඕනේ '' සිද්ධිය සම්බන්ධයෙන් කැළණිය සහකාර පොලිස් අධිකාරී ආනන්ද අල්විස් මහතාගේ මූලිකත්වයෙන් ඊයේ පස්වරුවේ සිට පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ සම්බන්ධව අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා '' පැහැර ගැනීමට ලක් වූ තරුණයාගේ බිරිඳ ප්‍රකාශ කරලා තිබුණා මේක මේ පොලිස් නිලධාරායෙක්ගේ නමක් කියලා කපිල මහත්තයා මේකට සම්බන්ධ වෙලා හිටියා කියලා.ඇය ඉදිරිපිටම බොහොම විවෘතව මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වා අවසානයේ ඇය මේ සම්බන්ධව පොලිස් ස්ථානයට නැවත ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා මා ඒ වෙලාවේ කරපු ප්‍රකාශය වැරදියි.ඒ නිලධාරියා එතන හිටියේ නෑ.මේකට පොලිසියේ කිසි කෙනෙක්ගේ සම්බන්ධයක් නෑ කියලා.ඉතිං මේකේ නිවැරදි තත්වය එයයි.කෙසේ වුවත් මෙම පැහැර ගැනීමට ලක් වූ තරුණයා පිළිබඳව පොලිස් ස්ථාන දෙකක් ඒකාබද්ධව දීර්ඝ වශයෙන් පරීක්ෂණ පවත්වලා ඔහුව හොයා ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා ''

No comments:

Post a Comment