Wednesday, 3 October 2012

නියෝජ්‍ය ඇමති දුන්නේ අල්ලසක් නොවේ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතාගේ රියදුරුට දඩ කොළයක් නිකුත්කළ අවස්ථාවේ ඇමතිවරයා විසින් මුදල් ලබාදීම අල්ලසක් නොවේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා මාධ්‍යවෙත පවසා ඇත. කෙසේ නමුත් වේගය ඉක්මවා යාමේ චෝදනාවට දඩකොළයක් ඉදිරිපත්කළ පොලිස් නිලධාරීයාට රුපියල් 1,500ක් දුන් බව ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා පිළිගෙන තිබේ. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකට සහභාගීවී යළි කොළඹ බලා ගමන්කරමින් සිටියදී තම මෝටර් රථයේ වේගය පැයට කිලෝමීටර් 169ක දක්වා ඉහළ ගොස් ඇති බව දන්වා කොට්ටාව පිවිසුමේදී ඒ සඳහා දඩ කොළයක් දෙනවිට තමන් එම පොලිස් නිලධායාට රුපියල් 1,500ක් ලබාදුන් බවත් විජේසේකර මහතා දිනපතා පුවත් පතකටද පවසා ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී නීතීඥ ජානක අධිකාරී මහතා පැවසුවේ "දඩකොළ නිකුත් කළ සැනින් මුදල් ගෙවීමේ ක්‍රමයක් ලංකාවේ නැහැ. ක්‍රමවේදය තමයි එම දඩ කොළයට අදාළ මුදල තැපැල්කන්තෝරුවකට ගෙවා එම රිසිට් පත අදාළ පොලීසියට ඉදිරිපත්කර පොලිස් භාරයට ගත් තම රියදුරුබලපත්‍රය නැවත ලබා ගැනීම. පැහැදිලිවම මේක අල්ලස් ලබා දීමක්. පොලිස් නිලධාරීන් එම මුදල ගත්තත් නැතත් අල්ලස් ලබාදීමක් හා ඊට තැත් කිරීමක් සිදුව තිබෙනවා. මෙය බරපත සිරදඬුවම් ලැබිය හැකි වරදක්. බලධාරීන් ඊට අවශ්‍ය පියවරයන් ගනු ඇතැයි නීතීඥයින් ලෙස අපි බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.
"දූෂණවිරෝධි හඬ" සංවිධානයේ වසන්ත සමර සිංහ මහතාගෙන් මේ සම්බන්ධයෙක් කළ විමසීමකදී ඔහු පැවසූවේ බලධාරී මෙයට අදාළ නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේනම් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ ඒකකයට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට තමන්ට හැකි බවයි.

No comments:

Post a Comment