Wednesday, 3 October 2012

තරගය දිනුවත් තරගාවලියෙන් ඉවතට

ඉන්දියාවට පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ඊයේ සිදු විය. සුපිරි වටයේ තරග තුනකට සහභාගී වි තරග 2ක් ජය ගත් ඉන්දියාවට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූයේ, අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා අවශ්‍යව තිබූ ලකුණු රැස් කිරීමේ වේගය නොමැති වීමෙනි. එහෙත් ඊයේ දකුණු අප්‍රිකාව සමග පැවති තරග එක් ලකුණකින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය. එම තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 121කට අඩුවෙන් දවා ගත්තේ නම් අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට ඉන්දීය කණ්ඩායමට අවස්ථාව හිමිවීමට ඉඩ තිබිණ. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා නායක ඒ.බී. ඩිවිලියනස්ගේ ආරාධනයෙන් පිටියට පිවිසි ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු 152ක් රැස් කළේය. දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5කදී සියල්ලන් දැවී රැස් කළේ, ලකුණු 151ක් පමණි. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 23කට සීමා කරමින් ගවුතම් ගම්බීර් ලකුණු 8කට දැවී ගියේය. විරේන්ද්‍ර ශෙවාග් ලකුණු 17ක් රැස් කළ අතර සහ විරාත් කෝලි ලකුණු 2ක් රැස් කළහ. යුවරාජ් සිං ලකුණු 21ක් රැස් කළ අතර රොහිත් ශර්මාට පිටියෙන් ඉවත් වීමට සිදු වුයේ, 25ක් ලබා සිටියදීය. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ සුරේෂ් රයිනා පන්දු 34කදී ලකුණු 45ක් රැස් කළේය. පන්දු යැවීමේදි දකුණු අප්‍රිකාවේ මොනී මොකල් ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත්තේය. රොබින් පීටර්සන් ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තේය. දකුණු අප්‍රිකා ඉණිමට ලකුණු එකතුවීමට පෙර හෂීම් අම්ලා දැවී ගියේය. නායක ඒබි ඩිවිලියන්ස් ලකුණු 13ක් රැස් කළ අතර ජෝන් පෝල් ඩුමින් ලකුණු 16ක් ලබා ගත්තේය. දකුණු අප්‍රිකානු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෆෆ් ඩූ ප්ලෙසිස් පන්දු 40කදී ලකුණු 65ක් රැස් කළේය. අවසන් පූර්ව වටයට පිවිසීමේ අරමුණින් දකුණු අප්‍රිකා ඉණිමේ ලකුණු 121 වඩා අඩුවෙන් සිමා කිරීමට ඉන්දීය කණ්ඩායම ගත් උත්සාහය සාර්ථක නොවීය. පන්දු යැවීමේදී ලක්මිපති බලාජි ලකුණු 37 කට කඩුලු 3ක් හා සහීර් ඛාන් ලකුණු 22 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූහ. ඉන්දීය කණ්ඩායමේ යුවරාජ් සිං තරගයේ වීරයා විය.

No comments:

Post a Comment