Friday, 16 November 2012

ගෑස් ආඝ්‍රාණයෙන් 2ක් මරුට: 7ක් රෝහලේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ විෂ සහිත වායු ඉවතට රැගෙන යන නළයක කළ අලුත්වැඩියා කටයුත්තකදී සිදු වු වු අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, තවත් පුද්ගලයින් 7 දෙනෙකු එම විෂ වායු ආඝ්‍රාණයවීම හේතුවෙන් රෝහල්ගත කර සිටින බවය. ඒ අතර ඉන් සේවකයින් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන විත් සිටින බව ජාතික‍ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. තවත් අයෙකු රෝහලට රැගෙන එන විටත් මියගොස් තිබිණ. අධ්‍යක්ෂවරයා කියා සිටියේ ඉන් බරපතල තත්ත්වයේ සිටින දෙදෙනෙකු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර සිටින බවය. මෙම සිද්ධිය වාර්තාවීමත් සමග ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කොළඹ ජාතික රෝහලට පැමිණියේය. කිරිබත්ගොඩ රෝහලට ද තවත් සේවකයින් දෙදෙනෙකු ඇතුළත් කර තිබේ. එහි වෛද්‍ය අධිකාරීවරයා සඳහන් කළේ අසාධ්‍ය තත්ත්වයේ පසු වු එක් අයෙකු මිය ගිය බවය. අනෙක් සේවකයා රාගම ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. ඒ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසූවේ, අදාළ නළයේ විෂ කාන්දුවීම මේ වනවිට වළක්වා ඇති බවය.

No comments:

Post a Comment