Wednesday, 21 November 2012

මැයි 18: ඉතිහාසයේ සරදමක් ලෙස

මැයි මාසය, ලාංකේය අපට පමණක් නොව ලෝකයටද වැදගත් දින රැසක් ලබාදී තිබේ. පළමුවැන්න ලෝකවාසී වැඩකරන ජනතාවට වැදගත්වන මැයි පළමුවැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයයි. දෙවැන්න ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත්වන බුදුන් වහන්සේගේ තෙමඟුල සිදුවූ වෙසක් පොහොය මැයි මාසයට යෙදීමයි. තෙවැන්න 1965 මැයි 14වැනි දින සිදුවූ ලාංකේය පීඩිත පංතියේ පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ උපතයි. මේ කරුණු තුනට අමතරව 2009 වසරේ සිට ලාංකේය ජනතාවට, ඇතැම්විට ලෝකයටම, තවත් වැදගත් සිදුවීමක් මැයි මාසයට එක්විය. ඒ ඛෙදුම්වාදයේ යුධමය පෙරමුණේ පරාජය මැයි 18වැනි දින සටහන් වීමයි. තිස්වසරක් පුරා ලාංකේය සමාජ දේශපාලන දේහය පීඩාවට පත් කළ යුධමය තත්වය හමාරවීම ඉතිහාසයේ තීරණාත්මක හැරවුමක් සලකුණු කළ හැකිව තිබිණි. කෙසේ වුවද එම සමාජීය ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් තමන්ගේ පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සාක්කුවේ දමා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් එහි සාපේක්ෂ වැදගත්කම ඛෙහෙවින් අවප්‍රමාණ විය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ සියලූ ජාතිකත්වයන් එකම ශ්‍රී ලංකේය ජාතියක් ලෙසට එකමුතු කිරීමේ දිශාවට තැබිය හැකිව තිබූ යෝධ පියවරක් එම අමනෝඥභාවය හේතුවෙන් ශ්‍රී ලාංකේය ජනතාවට අහිමි විය. එපමණක් නොව එම මොහොතේ සිට ගතයුතුව තිබූ, ජ.වි.පෙ. සහ තවත් විද්වත් සංවිධාන විසින් පෙන්වා දෙන ලද හදිසි ප්‍රවේශයන් නොගැනීම නිසා ජාත්‍යන්තර බලපෑම්වලටද රාජපක්ෂ ආණ්ඩුව පාර කපා ගත්තේය. දැන් එම තීරණාත්මක සිදුවීමෙන් තෙවසරක් ගතවී තිබේ. ආණ්ඩුවක් ලෙසට පමණක් නොව රටක් ලෙසටද අපට එම අමනෝඥභාවයේ ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට සිදුව තිබීම අද කටුක යථාර්ථයයි. ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික නොවන "එදාවේල දේශපාලනයේ" තර්කානුකූල අවසානය ලෙස ජාතික ගැටලූව අරභයා වන ජාත්‍යන්තර මැදිහත්වීම් තීව්‍ර වී ඇති බවත් ජිනීවා මානව හිමිකම් කවුන්සලය හමුවේ සිදුවූ යෝජනා සම්මතය එහි තීරණාත්මක පියවරක් වූ බවත් රහසක් නොවේ. එසේ වුවද එම වළට වැටීම ආණ්ඩුවේ මොළයට නම් පාඩමක් වී නොමැති බව ඉතා පැහැදිලිය. ආණ්ඩුවේ ගමනින් දිනපතා ප්‍රත්‍යක්ෂ වන්නේ එයය. 2011 දෙසැම්බරයේ පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18වැනි සැසිවාරය අබිමුව කඩිමුඩියේ ප්‍රකාශයට පත් කරනු ලැබ, දුර දැක්මකින් තොරව ආණ්ඩුව විසින් වැළඳගනු ලැබූ එල්.එල්.ආර්.සී. යෝජනාවලිය ක්‍රියාත්මක කරන ලෙසට අධිරාජ්‍යවාදී රටවල් ආණ්ඩුවේ ඛෙල්ලෙන් අල්ලා තර්ජනය කර තිබේ. ඊනියා බලය ඛෙදීමේ යෝජනාද ඇතුළත් එම යෝජනාවලිය තමන්ගේ ඛෙදුම්වාදී අරමුණු කරා ශ්‍රී ලංකාව තල්ලූ කරවනු ඇතැයි අධිරාජ්‍යවාදීන් විශ්වාස කරන බව පෙනේ. අධිරාජ්‍යවාදී බලපෑමට තමන්ගේ වන අනුගතභාවය පෙන්වා ඛෙල්ල බේරා ගැනීමේ උත්සාහයක සිටින රාජපක්ෂ ආණAඩුව මේ වන විට එල්.එල්.ආර්.සී. යෝජනාවලිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ක්‍රියාකාරී සැලැස්මක් සකස්කොට තිබේ. ජී.එල්. පීරිස් විදේශ අමාත්‍යවරයා විසින් අකුරු බවට පත් කරන ලද මෙම zඅධිරාජ්‍යවාදයේ කැමැත්තZමේ වන විට ආණ්ඩුවේ පක්ෂ නායකයින්ට "දැනගැනීම සඳහා" ඉදිරිපත් කොට තිබේ. ආණ්ඩුව ඔවුනට කියා ඇත්තේ, ඒ "අදහස් ලබාගැනීම" සඳහා බවය. එහෙත් එය එසේ නොවන බවත් තමන්ගේ සංශෝධන එයට ඇතුල් වී නොමැති බවට ඇතැමෙක් පසුව නාහෙන් අ`ඩනු ඇත. දැන් එළඹෙන මැයි 18වැනිදා ආර්ථීක ප්‍රශ්නවලින් හෙම්බත් වී සිටින රටේ ජනතාවට දැක සතුටු වීම සඳහා ආණ්ඩුව යුද ජයග්‍රහණ සැමරුම මහත් උත්සවශ්‍රීයෙන් ගාලූ මුවදොරදී පවත්වද්දී ජී.එල්. පීරිස් අමාත්‍යවරයා, නාමල් රාජපක්ෂ හා සචින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරුන් ජයග්‍රහණ උඩුයටිකුරු කරන ක්‍රියාකාරී සැලැස්ම හිලරි ක්ලින්ටන් වෙත ඉදිරිපත් කරනු ඇත. ඓතිහාසික මැයි 18වැනිදාද ජනතාවට දක්නට ලැඛෙනු ඇත්තේ, මේ දක්වාම ආණ්ඩුව විසින් ප්‍රගුණ කළ ද්විත්ව රංගනය මිස වෙනකක් නොවේ. විශේෂත්වය එවැනි දිනයක් මත එවැනි සිදුවීම් ද්විත්වයක් සමපාත වීම ඉතිහාසයේ සරදමක් වීම පමණි. ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ සම්මත වූ 2වැනි යෝජනාවේ සඳහන් වන්නේ, එල්.එල්.ආර්.සී. වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුව විසින් ගනු ලැබ ඇති හා ගැනීමට නියමිත ක්‍රියාමාර්ග විස්තර කරන විස්තීර්ණ ක්‍රියාකාරී සැලැස්මක් කවුන්සලය වෙත ඉදිරිපත් කළ යුතු බවය. එසේනම් කෙනෙකුට සිතෙනු ඇත්තේ, ජී.එල්. අමාත්‍යවරයා තකහනියේ එම සැලැස්ම ජිනීවා වෙත රැගෙන යමින් සිටින බවය. එහෙත් එම අදහස නිවැරදි නොවේ. ඔහු එවා රැගෙන යන්නේ, මානව හිමිකම් කවුන්සලය වෙත නොවේ; කවුන්සලයට ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඉදිරිපත් කළ ඇමරිකා එක්සත් ජනපදයටය; එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හමුවටය. මේ එක්සත් ජනපදය යනු ජිනීවා යෝජනාවලට ආණ්ඩුව විසින් එරෙහිව පාරට බස්සන ලද ජනතාව විසින් පට්ටා ගැසූ රටය; ආණ්ඩුවේ ඇමතිවරුන් විසින් භාණ්ඩ ආනයනය කිරීම වර්ජනය කළ යුතු යැයි කී රටය. zඔබාමාට පිස්සුZ යැයි ආණ්ඩුව විසින් තාප්පවල ලියූ රටය. දැන් ආණ්ඩුව විසින් තමන්ගේ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කරන්නේ එතැනටය; ඒවා හරිදැයි අහන්නේ, ක්ලින්ටන් නෝනාගෙන්ය; සිංහලෙන් ඇමරිකාවට එරෙහිව දේශප්‍රේමීත්වයේ වහසි බස් දොඩන අතරේ තම කීකරුකම පෙන්වීමට උත්සාහ කරන්නේ එතැනටය. ආණ්ඩුවේ ද්විත්ව රංගනය එබඳුය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තරයෙන් නැගෙන චෝදනාවලට එරෙහි ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම අසාර්ථකය. 2009දී ලංකාවට පක්ෂව සිටි ආසියානු අප්‍රිකානු රටවල් ගණනාවක් මෙවර ඡන්දය දී නොමැත. අවසානයේ ලංකාවට එරෙහි ජිනීවා යෝජනා සම්මතයක් තිබේ. 2012 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත කවුන්සලයේ 22වැනි සැසිවාරයට පෙර තමන්ගේ දණ ගැසීමේ ප්‍රමාණය අධිරාජ්‍යවාදය හමුවේ ප්‍රදර්ශනය කිරීමෙන් චෝදනාවලින් ගැලවිය හැකි යැයි ආණ්ඩුව සිතයි. පස්සා දොරෙන් ගොස් ජාම් බේරා ගත හැකිදැයි ජී.එල්. මුට්ටිය දමා බලන්නේ, ඒ නිසාය. ඒවා පස්සා දොරෙන් සිදු වූවද මෙම ගනුදෙනුවල ප්‍රතිඵල රහසිගත ඒවා වන්නේ නැත. ඒවායේ බලපෑම ආණ්ඩුවට පමණක්ද නොවේ; මුළුමහත් රටටමය. යුධමය ආකාරයෙන් අසාර්ථක වූ ඛෙදුම්වාදී අරමුණු අධිරාජ්‍යවාදයේ සහය ඇතිව රාජ්‍යතාන්ත්‍රික මුහුණුවරකින් ඉදිරිපත් වෙමින් තිබේ. ඒ සඳහා වන ආණ්ඩුවේ එකඟතාව, දේශප්‍රේමී මල්වෙඩි සංදර්ශන දකින මැයි 18වැනිදාවකම ඇමරිකාව වෙත ඉදිරිපත්වීමට නියමිත වීම ඉතිහාසයේ සරදමක් නොවන්නේ කෙසේද?මිනිසා බිහි කරන ලද්දේ 'ශ්‍රමය' විසිනැයි ශ්‍රේෂ්ඨ දාර්ශනික ෆෙඩ්‍රික් එංගල්ස් පවසා තිබේ. ඔහු එසේ පවසා ඇත්තේ, ආදි කල්පිත වානරයාගේ සිට නූතන මිනිසා බිහිවීම දක්වා වූ ක්‍රියාවලිය තුළ 'ශ්‍රමය' විසින් ඉටුකරන ලද කාර්යභාරය සලකා බලමිනි. අනෙක් අතට ශ්‍රමය විසින් මිනිසා බිහි කළා මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරන ලද සියල්ල පිටුපස වන බලවේගය වන්නේද ඔහුගේ ශ්‍රමයයි. ඊජිප්තුවේ පිරමීඩවල සිට ඇමරිකාවේ ඩිස්කවරි ෂටලය දක්වා නිර්මාණ බිහිකළේ ඒවා පිටුපස සිට කායික හා මාසික ශ්‍රමය වැගිරවූ, ඉතිහාසයේ නම් සඳහන් නොමැති දශ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ය. කෙසේ වුවද ඒ ශ්‍රමය වැගිරවූ කෝටි සංඛ්‍යාත මිනිසුන්ට, එම ශ්‍රමයේ ඵලයේ හිමිකම අහිමි කරනු ලැබ තිබේ. ඒවා නිපදවූ දෑත්වලට ඇතැම්විට එය භුක්ති විඳීමේ හැකියාව පවා අහිමි කරනු ලැබ තිබේ. ඉතිහාසය පුරා වහල්, වැඩවසම් හා ධනේශ්වර සමාජ ක්‍රම තුළ අත්දකින ලද යථාර්ථය වූයේ එයය. එහෙත් ඉන් අදහස් වන්නේ, එය ශ්‍රමිකයා විසින් නිහ`ඩව දරාගත්, සුමට සමාජ ක්‍රියාවලියක් වී යැයි යන්න නොවේ. වහල් යුගයේ ස්පාටකස්ලාගේ සිට නූතන කම්කරුවා දක්වා නොනිමි අරගලය වනුයේ තම ශ්‍රමයට හිමි වටිනාකම, ශ්‍රමයේ අයිතිය ලබා දෙන ලෙසටය. 1886 මැයි 01වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ හේමාකට් චතුරස්‍රයට රැස්වූ දහස් සංඛ්‍යාත කම්කරුවන් පැය 08ක වැඩ දිනයක් ඉල්ලා කරන ලද අරගලය සුපුරුදු මර්දනයේ යකඩ සපත්තුවට පාගා දමමින් නිමා විය. ඔවුන් අත වූ සුදු පැහැ රෙදි ඔවුන්ගෙන් ගලා ගිය රුධිරයෙන් පෙඟී රත් පැහැ වූයේ අරගලයේ පැහැය රතු විය යුතුම බව සනාථ කරමිනි. ඒ හා සමගාමී ලෝක වැඩකරන ජනතාවගේ අරගල දිගහැරුණේ 1889 දෙවැනි ජාත්‍යන්තරයේදී ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 01 විය යුතු බවට ප්‍රකාශයට පත් කරවමිනි. එදා මෙදාතුර ලොව පුරා වැඩකරන ජනතාව, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් සිටියි. ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් මැයි දින සැමරුම ලංකාවට හඳුන්වා දෙන ලැබුවද එය වෘත්තීය සමිති නායකයින්ගේ වේගවත් කතා, කඩලකමින් අසා සිටීමකින් ඔබ්බට යන දේශපාලන සිතීමකට ලාංකේය කම්කරුවා ගෙන යාමට සමත් වූයේ නැත. අනෙක් අතට වැඩකරන ජනතාවගේ දිනය සැමරීමට යුහුසුළු වූයේ වාමාංශික දේශපාලන පක්ෂ පමණක් නොවේ. අදටද ශ්‍රමය අගයන්නේය යන ව්‍යාජයෙන් ධනේශ්වර පක්ෂ මැයි දිනය සැමරීමට කටයුතු කරනු පෙනේ. එහෙත් ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රමයේ ඵලය සඳහා එහි නිමැවුම්කරුවාට ඇති අයිතිය පිළිනොගන්නා එම පක්ෂ වැඩකරන ජනතාවගේ දිනය සැමරීමට ඉදිරිපත්වීම ඔවුන්ගේ නිර්ලජ්ජිතභාවය පිළිබඳ කරුණක් මිස වෙනකක් නොවේ. කැලැන්ඩරයේ විවිධ අරමුණු වෙනුවෙන් වෙන් කෙර ගෙන තිබේ. මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, පෙම්වතුන්ගේ දිනය ආදී වශයෙන් විවිධ දින වෙන්වී තිබේ. එහෙත් මැයි දිනය වැඩකරන ජනතාවගේ ශ්‍රමය අගයනු ලබන දිනයක් වශයෙන් සමරනු ලැබීම පමණක් ප්‍රමාණවත් නොවේ. වැඩකරන ජනතාවට තමන්ගේ හිමිකම ඒත්තු ගන්වන, අභියෝග තේරුම් කරවන, ඒවා අභිබවීමට සමත් දැක්මක් ඔවුන් තුළ කුළුගන්වන දිනයක් බවට ජාත්‍යන්තර කම්කරු දිනය පත්විය යුතුය. එහෙත් කම්කරුවාට තමන්ට අත්වී ඇති ඉරණම සඟවන, ඔවුන් මෝහනය කරවන ඉන්දියානු ගායක ගායිකාවන්ගේ සංගීත සාජ්ජ වූ මැයි දින සැමරුම් පැවති ඉතිහාසයක්ද වූ බව නොරහසකි. එය අද ඊනියා අධිරාජ්‍යවිරෝධයක් පෙන්වාලමින් අධිරාජ්‍යවාදීන් හමුවේම දණින් වැටෙන පාලකයින්ගේ රට එකට දේශප්‍රේමී අලෙවිකරණයෙන් කම්කරුවන් මුලාකරන මැයි වේදිකා බවට රූපාන්තරණය වී තිබේ. ධනවාදය ලෝක පරිමාණයෙන්ම සමාජක්‍රමයක් ලෙස ඉදිරියට යා නොහැකි බව සනාථ කරමින් සිටී. ඒ දිනෙන් දින අර්බුදයට යන ආර්ථීකයන් මගින් පමණක් නොවේ. පාරට ඇද දමන වැඩකළ හැකි මිනිසුන් සංඛ්‍යාවෙන්, කුසගින්නෙන් හා ඒ ආශ්‍රිත රෝගවලින් මියයාමට සලස්වන දරුවන් සංඛ්‍යාවෙන්, සුභසාධන කප්පාදු හේතුවෙන් ජීවිතය අසීරු කරවන වැඩිහිටියන් සංඛ්‍යාවෙන් පමණක් නොවේ. ශ්‍රමයේ ඵලයේ අයිතිය එහි නිමැවුම්කරුවනට නොදී එම අයිතිය පෞද්ගලිකව සන්තක කරගැනීම ලෝකයේ ඉදිරි ගමනට මහත් බාධාවක් බව සිදුවීම් විසින් වඩ වඩාත් පෙන්වා දෙමින් තිබේ. විකිපීඩියා වෙබ් අඩවිය කළුකර එහි නිර්මාතෘවරුන් විසින් දිනක විරෝධතාවක් දියත් කරන ලද්දේ ඇයි? ලෝකය පුරා මානව වර්ගයාගේ ශ්‍රමය විසින් අත්පත් කරගන්නා ලද දැනුම, බුද්ධිමය දේපළ නීතියකට මුවාවී පොදුවේ බදා හදා ගැනීම වළක්වාලීමට එක්සත් ජනපද ආණ්ඩුව ගන්නා උත්සාහයට විරෝධය පළ කිරීම එහි අරමුණ විය. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය එහි නිර්මාතෘ බිල් ගේට්ස්ට රෑ නින්දේදී දෙවියන් විසින් දෙන ලද වරමක් නොවේ. පරිගණක තාක්ෂණය වෙනුවෙන් සියවසකට ආසන්න කාලයක් දහස් සංඛ්‍යාත මිනිසුන් විසින් වගුරුවන ලද කායික හා මානසික ශ්‍රමයක් ඒ තුළ ගැබ්ව පවතී. අනෙක් අතට පරිගණකයේ වේගවත් හා සුමට ක්‍රියාකාරිත්වය වෙනුවෙන් මධ්‍යම අප්‍රිකාවේ අඳුරු පතල් තුළ ද්‍රව කි්‍රස්ටල් සොයන කම්කරුවගේ ශ්‍රමය ඊට අයත් නොවේද? කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පරිගණක උපාංග එකලස් කරන කම්කරුවන් කීදෙනෙකුගේ නිවෙස්වල පරිගණක ඇත්ද? මේසා සමස්ත මානව සමාජයක් විසින් (ඒවායේ නිර්මාපකයින්ට නිසි වටිනාකම නොගෙවමින්) උපදවනා ඵලයේ අයිතිය හුදු පුද්ගලයෙක් සතුවීම ගැටලූවක් නොවන්නේ කෙසේද? දහස් සංඛ්‍යාත මිලක් ගෙවා, මෙහෙයුම් පද්ධතියක් වෙනුවෙන් සහ තවත් මෘදුකාංග වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත මුදලක් ගෙවා පරිගණක ලෝකයට ඇතුළුවීමේ හැකියාව ලබා ගත යුතුව තිබේ. සමාජය සතු විය යුතු අයිතියක්, වරප්‍රසාදයක් බවට පත් කරනු ලැබ ඇත. ඒ වරප්‍රසාදය අත්පත් කරගැනීම වෙනුවෙන් ලෝකයේම ලොකුම ධනවතෙකු තවත් ධනවත් කළ යුතුව තිබේ. එසේනම් ඒ ලෝකය වැඩකරන ජනතාවට සාධාරණය ඉටුකර ඇතැයි කෙනෙකුට කිව හැකිද? තම ශ්‍රමයට ඇති හිමිකම දිනාගැනීමේ අරගලයට පණපොවන ලාංකේය වැඩකරන ජනතාවට පෙරමුණු දෙකක සටන් වැදීමට සිදුව තිබේ. ඒ ගෝලීය නව ලිබරල් ධනවාදය සහ එහි දේශීය නියෝජිතයා වන රාජපක්ෂ ආණ්ඩුව සමගය. නව ලිබරල් ධනවාදය තමා කම්කරුවෙක්ය යන්න කම්කරුවාට අමතක කරවන මතවාදී හා සංස්කෘතික අර්ථකථන ඉදිරිපත් කරද්දී ආණ්ඩුව, අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ හමුවේ රට එකට තැබිය යුතු බැවින් වැඩි වැටුප් නොඉල්ලිය යුතු බව දේශනා කරයි. එහෙත් අධිරාජ්‍යවදී මූල්‍ය ආයතනවල නිර්දේශ පරිදි ආණ්ඩුව සුභසාධන කප්පාදු කරද්දී, ඉන්ධන මිල ඉහළ යවද්දී, රුපියල පා කරද්දී, ණය අනුපාත ඉහළ යවද්දී කම්කරුවා ඉවසා සිටිය යුතුය. රාජ්‍ය අංශයේ කම්කරුවා රුපියල් 10,000/-කින් සහ පෞද්ගලික අංශයේ කම්කරුවා සියයට 40කින් වැටුප් වැඩිකර ඉල්ලීම කුමන්ත්‍රණයක් වෙයි. මේ සියල්ල හමුවේ වැඩකරන ජනතාව තමන්ගේ හිමිකම ලබාගැනීම සඳහා හුදු ආණ්ඩු පෙරළියකින් ඔබ්බට යන දේශපාලන පෙරළියක් අත්පත් කර ගත යුතු බව පැහැදිලිය. එය ඉතිහාසය පුරා මානව වර්ගයා හෙළන ලද ශ්‍රමයට වටිනාකම් ලැඛෙන, සැවොම තමන්ගේ උපරිම ශ්‍රම හැකියාව නිර්ලෝභිව සමාජයට දායාද කරන, එම ශ්‍රමයෙන් උපදනා ඵලය මුළුමහත් සමාජය අතරේ ඛෙදා ගැනීමට සූදානම් සමාජ ක්‍රමයක් වෙත මාරු වීමක් විය යුතුය. අනාගතයේ එයට කුමන නමක් භාවිත කෙරෙනු ඇති වුවද වාර්තමාන භාවිතයට අනුව එවැන්නක් සමාජවාදී සමාජ ආර්ථීක ක්‍රමයකි.

No comments:

Post a Comment