Thursday, 8 November 2012

අයවැය අද පාර්ලිමේන්තුවට

2013 වසර සඳහා වන අයවැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසීය. නියෝජ්‍ය කථානායකවරයා පැවසුවේ, පාර්ලිමේන්තු විවාදයට අමතරව අමාත්‍යංශ 22 කට අදාළ වැය ශීර්ෂ පාර්ලිමේන්තු කාරක සභාවක් වෙත යොමු කිරීමට නියමිත බවය. අයවැය සම්ප්‍රදායට අනුව පළමුව සිදුකෙරෙන්නේ එළැඹෙන වසරේ සේවා වියදම් සඳහා විධිවිධාන සැපයීම, ණය ලබාගැනීම සඳහා බලය දීම ඇතුළු එම මුදල් වර්ෂයේ කටයුතු සඳහා බලය ලබාදෙන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. ඒ අනුව 2013 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. එලෙස ඉදිරිපත් වූ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විසින් අද සිදුකිරීමට නියමිතයි. මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 66 වැනි අයවැය වන අතර 2005 වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු ඉදිරිපත් කරන 8 වැනි අයවැය ද මෙය වේ.

No comments:

Post a Comment