Tuesday 6 November 2012

ශ්‍රී ලාංකික ගෘහසේවිකාවකට හාම්පුතාගෙන් කනේ පහරක්

ඔමානයේ රැකියාවකට ගිය ශ්‍රී ලාංකික කාන්තාවකට හාම්පුතා විසින් කනට ගැසීම නිසා ඇයගේ දකුණු කන ශ්‍රවණාබාධයකට ලක්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි. ඔමානයේ, මස්කැට් හි ගෘහ රැකියාවකට ගිය 45 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් වන මුලියා නෝනා නැමැති අය මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත. එසේ ප්‍රහාරයට ලක්වු කාන්තාව ඔමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පලාවිත් තිබේ. මාසික වැටුප් ඉල්ලීම නිසා තමන්ට හාම්පුතා විසින් තියුණු උපකරණයකින් හිසට පහරදී, කනට ද ගැසූ බව ඇය එහිදී පවසා තිබේ. ඔමානයේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක එම්.එම්. දේශප්‍රිය මහතා එරට පුවත්පතකට පවසා ඇත්තේ පසුගිය ඔක්තෝබර් මස තානාපති කාර්යාලයට පැමිණි එම කාන්තාව කඩිනමින් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවයි. පසුව ඇය රජයේ රෝහලකට මාරු කෙරුණු බව ද ඔහු සඳහන් කර තිබේ. එම කාන්තාව 2011 වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා සිට එකී හාම්පුතාගේ නිවසේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිට ඇති අතර ඇයට “තිරිසන් සතෙකුට මෙන්” හාම්පුතා සලකා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. ඒ අනුව හාම්පුතා අතින් පහරකෑමට ලක්වීම නිසා ලත් තුවාල එම කාන්තාව ඇයගේ මිතුරියන් කිහිපදෙනෙකුට ද පෙන්වා ඇත. එකී කාන්තාව ප්‍රහාරයට ලක්ව තුවාල සහිතව සිටි බව ඇයගේ මිතුරියක් ද තහවුරු කර තිබේ. හාම්පුතාගේ නිවසේ සේවය කරමින් සිටියදී මෙලෙස ඇය අවස්ථා කිහිපයකදී පහරකෑමට ලක්ව ඇතැයි පැවසේ. රෝහලේ දී සිදුකළ “එක්ස්-රේ හා සී.ටී. ස්කෑන්” පරික්ෂාවකින් තහවුරු වී ඇත්තේ ඇයගේ දකුණු කන අභ්‍යන්තරයට හානි සිදුව ඇති බවයි. ඒ අනුව ඇය විසින් සිදුකළ පැමිණිල්ල සලකා බැලීමෙන් පසු අදාළ හාම්පුතා විසින් ඇයගේ ප්‍රතිකාර සඳහා වැය වන වියදම් ගෙවීමට එකඟ වී ඇත. ඔමානය වැනි රටක මෙවැනි සිද්ධීන් විරල බවත් එරට ශ්‍රී ලාංකික කම්කරු උපදේශකවරයා පවසයි. ශ්‍රී ලාංකිකයින් මිලියන 1.5ක් පමණ මැදපෙරදිග රටවල රැකියාවේ නියුතු අතර ඔමානයේ පමණක් ශ්‍රී ලාංකිකයින් 17,000ක් පමණ දැනට රැකියාවල නියුතු බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

No comments:

Post a Comment