Monday 10 December 2012

අත්අඩංගුවට ගත් යාපනය සරසවි සිසුන් වහා නිදහස් කරනු! - ජවිපෙ

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමිනුත් අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට පාර කපන ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාකලාපයට එරෙහිව පෙරට එන මෙන් සමස්ත ලාංකේය ජනතාවගෙන්ම ඉල්ලා සිටින බවත් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළවේ "පසුගිය 26වැනිදා අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් දර්ශනාත් සිසුවා සහ තවත් සිසුවෙකුට පොලීසියේ ත‍්‍රස්ත විමර්ශන අංශය මගින් කරන ලද පහරදීම් හේතුවෙන් බරපතළ රෝගී තත්වයකට පත්ව ඇතැයි ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබේ. මොවුන් දෙදෙනා සමග සරසවි සිසුන් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද මෙතෙක් නිදහස් කර ඇත්තේ එක් සිසුවෙක් පමණක් බවද හෙළි වී තිබේ. බෙදුම්වාදය හේතුවෙන් ඇති තරම් බැට කා ඇති ලාංකේය සමාජය තුළ මෙවැනි සිදුවීම් මඟ හෙළිකරන්නේ ජාතික සමගියේ දිශාවට නොව තව තවත් බෙදුම්වාදයේ දිශාවටය. ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් මෙසේ සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීමත් ඔවුනට අමානුෂික ලෙස පහරදීමත් අපි දැඩිව හෙළා දකින අපි ඔවුනට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකිවන ලෙස වහා නිදහස් කරන ලෙසට අවධාරණය කරමු. ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ලෙස හා පළිගැනීමේ ආකාරයෙන් සිදුකරන මෙබඳු රඳවාගැනීම් හා පහරදීම් බෙදුම්වාදය පණගන්වනවාට අමතරව ශ‍්‍රී ලංකාවට එරෙහි අධිරාජ්‍යවාදී බලපෑම් උත්සන්න කරවන බව ඉතා පැහැදිලිය. එබැවින් යළි බෙදුම්වාදය පණගන්වන හා අධිරාජ්‍යවාදීන්ට වාසිවන කි‍්‍රයාමාර්ගවලට ඉඩ නොතැබීම සැමදෙනාගේම වගකීමකි. අනෙක් අතට යුද්ධය අවසන් වී වසර 03ක් ගතවී තිබියෙදීත් උතුරු හා නැගෙනහිර පළාත්වල පීඩාවට පත් දෙමළ ජනතාවගේ ගැටලු විසඳාලීමට අසමත් ආණ්ඩුව, පෙරළා බෙදුම්වාදය පෝෂණය කරමින් සිටියි. මේ තත්වය තුළ ආණ්ඩුව, අධිරාජ්‍යවාදී හා බෙදුම්වාදී බලවේග අනෝන්‍ය අවබෝධයකින් යුතුව කටයුතු කරද්දී පීඩාවට පත්වෙමින් ඇත්තේ, අහිංසක දෙමළ තරුණ තරුණියන් ප‍්‍රමුඛ දෙමළ ජනතාව බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ අනුව අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට පාර කපන ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියාකලාපයට එරෙහිව පෙරට එන මෙන් සමස්ත ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටින අපි කුමන ආකාරයක හෝ බෙදුම්වාදයකට ලාංකේය සමාජ දේහයට හානි කිරීමට ඉඩ නොදෙන ලෙස සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ සියලු ජන කොටස්වලින් දැඩි සහෝදරත්වයෙන් ආයාචනා කරමු."

No comments:

Post a Comment