Saturday 9 February 2013

අධිරාජ්‍යවාදීන්ගේ ලණු කන්න එපා... පාර කපන පාලකයාත් ඒ පාර දිගේ එන සතුරාත් එකට තබා පහරදිය යුතුයි. අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල නාහිමි.

අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය දඹර අමිල නාහිමි.
"මේ වනවිට රටේ සිදුවන දේශපාලනික, ආර්ථීක, සාමාජීය, සංස්කෘතික විපරීතකම් පිළිබඳව, වින්නැහියන් පිළිබඳව කල්පනාකරන විට ඉතිහාසය සමඟ වර්තමාන තත්වය ගැලපිය යුතු බව පේන්න තියෙනවා. අධිරාජ්‍යවාදීන් දේශපාලන වශයෙන් අපේ රට යටත්කරන්න හදන විට ආර්ථීක සෞභාග්‍ය වෙනුවට රට බෙලහීන තත්වයට පත්කරන ණය උගුල්වල හිරකරන විට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගියෙන් වෙළිලා ඉන්නවා වෙනුවට අසමගිය ඇතිකරන්න, විරසකකම් වර්ධනය කරන්න උත්සාහ කරනවිට ඒ පිළිබඳව සොයා බලන්න ඉතිහාසයට යන්න අවශ්‍යයයි.
අපේ රටේ ඓතිහාසිකව දියුණු තත්වයක් අත්පත් කරගත්තේ අපේ රටේ පාලකයන්ගේ රාජතාන්ත්‍රිකභාවය, අධ්‍යාපන මට්ටම, හදවතේ තැන්පත් වුණු රට පිළිබඳව දේශප්‍රේමීත්වය අනුව බව අපට පෙනී යනවා. යම් යම් අවදීන්වල යටත්විජිතවාදීන්ට රට පාවාදුන්නා නම්, ජාතික සමගිය නැතිකර තිබුණානම් ඒ හැම අවදියකම එසේ සිදුවී තිඛෙන්නේ රට පාළනය කළ පාළකයින්ගේ ස්වභාවය අනුවයි. අනුරාධපුර යුගයේ පස්වැනි මිහිඳු රජුගෙන් අනුරාධපුර රාජධානිය අවසන් වෙනවා. ඔහු අධ්‍යාපනය අතින් ඉතාම පහළ තත්වයක සිටි පාළකයෙක්. රට පාලනය කිරීම හැර අන් සියලු දේම ඔහු කළා. නරක ගණයේ ස්ත්‍රී ලෝලියෙක් වූ ඔහු සුරා සොඬෙක් ලෙස ප්‍රචලිතයි. ඔහුට මුළු රටම පාලනය කර ගැනීමට නොහැකි වුණා පමණක් නොව රජ මාලිගය පාලනය කර ගැනීමටද අසමත් වුණා. රාජ රාජ පාලනයට අපේ රටට කඩා පනින්න, රට අත්පත් කරගන්න එය ඉතා හොඳ අවස්ථාවක් සළසා දුන්නා. ජනතාව පස්වැනි මිහිඳු රජු කෙරෙහි ඉතා දැඩි කළකිරීමක සිටියා. එයින් ජාතියට කොපමණ තරම් වින කෙටුවාද කියනවානම් මාතෘ භූමියේ ස්වාධීනත්වය රටේ ජනතාවට අහිමි වුණා. 1017 සිට 1070 වන තෙක් අපේ රටේ ජනතාව ඉතා දුක්ඛිත තත්වයට පත්වුණා. ඒ රට හරිහැටි පාලනය නොකරපු නිසයි. රාජතාන්ත්‍රික භාවය නිසි පරිදි හසුරවපු නැති නිසයි. පළවෙනි විජයභාහු රජු ඔහුගෙන් රට මුදාගෙන සශ්‍රීක කරලා තිබුණ රට ක්‍රි.ව. 1215දී නැවත කාලිංග මාඝට යටත් කරලා දුන්නා. රටේ පාලකයාට ජනයාට හොඳ පාලනයක් ගොඩනගන්න බැරිවුණ නිසා, ජනයාට තුන්වේල කන්න ආර්ථීක සමගිය හදල දුන්නේ නැති නිසා ආපහු සැරයක් මාඝට යටත් වෙන්න සිදුවුණා. ඒ විතරක් නෙවෙයි ගම්පොළ යුගයේදී බුවනෙක බාහු චීනෙට අල්ලාගෙන යනවා. සැලකිය යුතු කාලයක් චීනයේ පාලනයට අප නතුවෙනවා. ඒත් අපේ රටේ අභ්‍යන්තරිකව තීබු දුර්වලකම් නිසයි.
අදට ගැලපෙන ඉතාම හොඳ උදාහරණය තිඛෙන්නේ 1815දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ චරිතය ආශ්‍රිතවයි. එම පාලනය දැන් සිදුවන වින්නැහිය හා ඉතාමත් සමානයි. 1803දී සුද්දා සමඟ සටන් කරමින් රට බේරා ගැනීමට සමත් වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු 1815 වනවිට සම්පූර්ණයෙන්ම කණපිට හැරුණා. ඔහුට රෝගයක් වැළෙඳනවා. ඔහු හා සුද්දට එරෙහිව සටන් කළ සියලු දෙනා සියලු තැන සැක කරන තත්වයකට ඔහු පත්වුණා. රට වෙනුවෙන් සටන් කළ උදවිය ගැන කිසිදු තැකීමක් අගය කිරීමක් තිබුණේ නැහැ. පවුලේ සියලු දෙනා රට පාලනයට ඈඳා ගන්නවා. ප්‍රභූවරු ජනතාව කියන කිසිදු දෙයක් ගණනකට ගත්තේ නැහැ. පළිගැනීම එකම ක්‍රමවේදය කරගත්තා. ඉතිහාසයේ ඇහැළේපොල කථාව එයට සාක‍ෂි දරනවා. ජනතාවට අධික ලෙස බදු පැනෙව්වා. ජනතාවට ආහාර සොයාගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවුණා. මහා සඟරුවණට, ප්‍රභූවරුන්ට, දේශමාමක ජනතාවට ශ්‍රී වික්‍රම රාජසිංහ එපා වුණා. පුරවැසියන් රජු සමඟ විරසකයක් හදාගත්තා. ඔහු ස්ත්‍රී ලෝලියෙක් වූ අතර රට පාලනය කිරීම හැර අන් සියලු දේ කළා. අධිරාජ්‍යවාදීන්ට මෙය හොඳ අවස්ථාවක් වුණා. සුද්දා උඩරට අත්පත් කර ගැනීමට තීරණය කළා. රජාගේ කෘරකම්වලින් ජනතාව මුදා ගැනීම යන්න සුද්දාගේ සටන් පාඨය වුණා. රජතුමා සුද්දාට අල්ලා දුන්නේ රටේ ජනතාව එකතු වෙලා. ඊට හේතුව ඔහු රට පාලනය කළේ ජනතාවට එරෙහිවයි. එම ඉතිහාස කථාවෙන් අපට පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. එකක් තමයි රට පාලනය කරන පාලකයා ජන බලය ගැන විශ්වාසය තැබිය යුතුයි. ඒ වගේම එදා රාජසිංහ රජුට විරුද්ධ වූ ජනතාව අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ වුණේ නැහැ. සුද්දට රට බාර දුන්නා. නමුත් එම වැරද්ද තේරුම් ගත් ජනතාව 1818දී අධිරාජ්‍යවිරෝධී සටනට පණ දුන්නා. ඒ වනවිට අප ප්‍රමාද වැඩියි.
රටේ රජාගේ දුර්දාන්ත පාලනය හරහා අධිරාජ්‍යවාදීන්ට දොර විවර වෙනවා නම් ඊට එරෙහිව උඩරට ජනතාව අරගලයක් ආරම්භ කළ යුතුව තිබුණා. එම අරගලය නොකරපු වැරැද්දට 1815 සිට 1948 දක්වා රටේ ජනතාවට විශාල දුක් කන්දරාවක් විඳින්න සිද්ද වුණා. එය අපට හොඳ පාඩමක්. පවුල් පාලනයක් මෙහෙයවන රජාට මෙන්ම අධිරාජ්‍යවාදයට විරුද්ධ වෙන්න ඕනෑ. නූතන රජා කරන ආර්ථීක, දේශපාලන, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට එරෙහි විය යුතුයි. ඒ වගේම රටේ පාලකයින් කපන පාරේ එන අධිරාජ්‍යවාදී සතුරා විනාශ කිරීමට අරගල කළ යුතුයි. පාර කපන සතුරාත් ඒ පාරේ එන සතුරාත් එකට තියලා පහර දිය යුතුයි. එම පාඩමට අප සූදානම්ද? ඒ සංවාදය ඉතාම වැදගත්. මේ වනවිට එය සංවාදයට ගත යුතුව තිඛෙනවා.
මේ වෙනකොට මාර්තු මස පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලය ලංකාවට එරෙහිව ගෙන එන්න නියමිත නිර්දේශයන් පිළිබඳව කථාබහක් මතුවෙලා තිඛෙනවා. ඒවාට අවශ්‍ය කරන වටපිටාවක් මතුකරන විලාශයක් අපි දකිනවා. අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කරපු ජනතාවට ආණ්ඩුව මොකක්ද කිව්වේ? ඛෙදුම්වාදයට පාර කපන්නේ අලුත්කඩේ කියලා පහුගිය දවස්වල ආණ්ඩුවේ උදවිය දොඩවමින් සිටියා. ඒ උණුසුම යන්නත් කලින් ජී. එල්. පීරිස් හැරෙන තැපෑලෙන් ඉන්දියාවට යවලා හතරගාතෙන් වැටිලා ඉන්දියාවට කියනවා 13ට එහා දෙන්නම් කියලා. 13ට එහා යනු ඛෙදුම්වාදයම තමයි. ඛෙදුම්වාදය තියෙන්නේ  එතැනයි. ජී.එල්. පීරිස් කළේ රාජතාන්ත්‍රික නිළ ගනුදෙනුවක්. ආණ්ඩුව ඉන්දියාවට ප්‍රතිඥාවක් දීලා තියෙනවා. මීට කලින් බැසිල් රාජපක්ෂත් ඒ දේම කිව්වා. මේ රටේ අයිතිකරුවා නොව බාරකරුවා කියපු කෙනාගේම ප්‍රතිපත්තිය තමයි ඇමතිවරයා ලව්වා කියන්නේ. රණවිරුවන් යුද පෙරමුණේ ලබාගත් ජයග්‍රහණයේ ආශ්වාදය විඳීමටත් පෙර නැවත වටයකින් ඛෙදුම්වාදය හිස ඔසවලා තිඛෙනවා.
ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝගය ගෙන ඒමට උසස් පෙළ නඩු තීන්දුව මූලික හේතුවක් වුණා. එහිදී ඇය වැඩි සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමට තීන්දුවක් දුන්නා. නමුත් එය අයි. එම්. එෆ්. තීන්දුවලට අනුව අධ්‍යාපනය කප්පාදු කරන ප්‍රතිපත්තියට එරෙහිව දුන් තීන්දුවක් වුණා. අයි. එම්. එෆ්.එක විවිධ බලපෑම් හරහා ආණ්ඩුවට යෝජනා කළේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන මුදල් අඩුකරන්න. පෞද්ගලික විශ්වවිද්‍යාල හදන්න කියලා. ඇත්තම ගත්තොත් ශිරාන් බණ්ඩාරනායක ලබාදුන් නඩු තීන්දුව අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ලබාදුන් නඩු තීන්දුවක්. අධිරාජ්‍යවාදීන්ට එව බලව කියන, රටේ භාරකරුවා කියන අය කරන්න තිබුණේ ශිරාණි බණ්ඩාරනායක මහත්මියට උදව් කරන එක. නමුත් කළේ ඇය නීති විරෝධී ආකාරයෙන් තනතුරෙන් ඉවත් කරන එකයි. ඉතින් ඒක මොන දේශප්‍රේමීත්වයක්ද?
අර්බුද වැඩිවෙනකොට අධිරාජ්‍යවාදය අලුත් බිම් සොයාගෙන යනවා. නව උපායන් තෝරමින් තමන්ගේ අරමුණ ඉටුකරගන්නවා. එය අප තේරුම් ගත යුතුයි. දැන් අලුත්ම උපක්‍රමය තමයි ජාතීන් අතර විරසකභාවය ඇතිකිරීම. යුද්ධය අවසන් වුවත් මේ පාලනය සිංහල, දෙමළ ජනතාව අතර සංහිඳියාවක් ඇතිකළේ නැහැ. දැන් මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර සමගිය නැති කරමින් තිඛෙනවා. විසරකභාවයක් හදන්න උත්සාහ කරමින් ඉන්නවා. මේ රටේ පාලකයින් හොර ගල් අහුලනවා. අධිරාජ්‍යවාදය දැන් උත්සාහ කරමින් ඉන්නේ උතුරු දකුණ වෙන් කිරීමට ජනමත විචාරණයක් ගෙන ඒමටයි. සුඩානය, නැගෙනහිර  ටිමෝරය ඛෙදා වෙන් කළේ අධිරාජ්‍යවාදීනුයි. ශ්‍රී ලංකාවටත් ඒ දේ ආදේශ වෙමින් තිඛෙනවා.
මේ රටේ පාලනය ජනතාවට හිතෛෂී පාලනයක් නොවේ. පාලකයින් ජනතාවට එපා වෙමින් තිඛෙනවා. නීතියේ විශ්වාසය නැති කරලා දැම්මා. රටේ ජනතාව නීතිය ගණන් ගන්නේ නැති තැනකට පත් කළා. ඒ වගේම විදෙස් සමාගම්වලට වටිනා ඉඩම් විකුණා දමන විට මේ රටේ ජනතාව රටේ පාලකයා සමග හිතවත්කමක් ගොඩනගනා ගන්නේ නැහැ. මාධ්‍ය නිදහස නැති කරලා, ප්‍රජාතන්ත්‍රවාදය නැතිකරන ගමන් බඩු මිල අධික ලෙස ඉහළ දමනවා. මන්ද පෝෂණයෙන්, රක්ත හීනතාවයෙන් විශාල පිරිසක් පීඩා විඳිනවා. අනෙක් අතින් අධ්‍යාපනය කඩා වැටිලා. එවැනි රටක පාලකයින් සමඟ ජනතාව හිතවත් වන්නේ නැහැ. සුද්දා බලනවා, හොඳම වෙලාව මේ වෙලාවයි කියලා. ජනතාව, නීතිඥයින්, කලාකරුවන්, ප්‍රභූවරුන් වගේම මහා සංඝරත්නයට පාලනය එපා වෙලා. අධිරාජ්‍යවාදීන්ට හොඳම අවස්ථාව උදා වෙලා. ඒ නිසා ඔවුන් දැන් බලපෑම් කරනවා. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යනු කියලා. ඒක සමහර කොටසකට ආශ්වාදයක් වෙන්න පුළුවන්. උතුර දකුණ ඛෙදන ජනමත විචාරණයකදී මුස්ලිම් ජනතාව අප සමඟ හිටියොත් අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව ඉටුවන්නේ නැහැ. එනිසා නූතන ජෝන් ඩොයිලිලා තමන්ගේ බළල් අත් පාවිච්චි කරනවා. අර බල සේනා මේ බල සේනා එන්නේ ඒ විදියටයි. ඔවුන් දැන හෝ නොදැන අධිරාජ්‍යවාදීන්ගේ දිරච්ච ලණු කනවා.
එම නිසා ශ්‍රී ලාංකීය ජාතිය, ජාතීන් අතර සමගිය ගොඩනැගීමේ සංවාදය දැන් රටට අත්‍යාවශ්‍යයි. ඒ සඳහා සියලු දෙනාට අපි ආරාධනය කරනවා. අධිරාජ්‍යවාදීන්ගේ ලණු කන්න එපා. සිංහල, දෙමළ මුස්ලිම් සමඟිය අවශ්‍ය වෙලාවේ ඊට එරෙහිව වැඩ කිරීම බොදු බල වැඩසටහනක් නොවේ. දේශප්‍රේමය නොවේ. එවැනි ක්‍රියාවලට එරෙහිව නිලය ඇල්ලීම තමයි ජාතියේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. එනිසා තමයි සියලු බලවේග එකතු කරපු අධිරාජ්‍යවිරෝධී බලවේගය ගොඩනැගෙන්නේ. ඒ වෙනුවෙන් සියලු දෙනාම හැම මොහොතක්ම හැම දෙයක්ම කැප කළ යුතු බව අප කියා සිටිනවා."

No comments:

Post a Comment