Saturday 9 February 2013

අධිරාජ්‍යවාදීන් රටේ සම්පත් කොල්ල කනවා... යව බලව කියලා අපි ජනාධිපතිවරයාට කියනවා. ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතා.

ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතා.
මේ ගොඩනැගෙමින් තිඛෙන්නේ ශක්තිමත් ජනතා ව්‍යාපාරයක්. වෘත්තීය සමිති, ගොවි, ධීවර, වගේම බුද්ධිමත් ප්‍රජාව, කලාකරුවන්ගෙන් සමන්විත වන ශක්තිමත්ම ජනතා ව්‍යාපාරය තමයි මේ වේදිකාවේ ගොඩනැගී තිඛෙන්නේ. අපේ රටේ සියලු දුක්ඛ දෝමනස්සයන්වලට මුහුණ දී සිටින සියලු ජනතාව නියෝජනය කරන නියෝජනයක් මේ වෙදිකාවේ තිඛෙනවා.
මේ වනවිට අපේ රටට ඊනියා නිදහස ලැබී අවුරුදු 65ක් ගත වෙලා තිඛෙනවා. ඒ අවුරුදු 65 තුළ අපේ රට පාලනය කළේ ලංකාවේ වලව් හතරක් ඒ හා සහවාසේ යෙදුන අධිරාජ්‍යවාදී බලවේගයන්වලින්. බණ්ඩාරනායක රත්වත්තේ වලව්ව, ඩී.එස්. සේනානායක, කොතලාවලලාගේ බෝතලේ වලව්ව, ජයවර්ධන, රනිල්ලගේ කොල්ලුපිටිය වලව්ව, මේ වනවිට මැදමූලන වලව්ව මේ රට පාලනය කරමින් තිඛෙනවා. ඒ අවුරුදු 65න් පස්සේ අපට ඉතිරිවෙලා තිඛෙන්නේ මොකක්ද? කඩාවැටුණු ආර්ථීකයක්, එකිනෙකා ඇණකොටාගන්න සමාජයක්, සම්පත්වල අයිතිය අහිමි වෙච්ච රටක්, ශිෂ්‍යන්ට විශ්වවිද්‍යාල අහිමිකරන ලද රටක්, ගොවියාට, රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ සේවකයාට ජීවිතය ගෙවාගන්න බැරි රටක් තමයි අපට ඉතිරිවෙලා තිඛෙන්නේ. මේ පීඩනයට, දුක්ඛ දෝමනස්සයන්වලට එරෙහිව සටන් කරන්න දුෂ්ට, දුර්දාන්ත පාලනය එලවා දමන්න අරගල කරන්න ගොඩනගන ලද ව්‍යාපාරයක් තමයි අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය කියන්නේ.
ජනාධිපති මහින්ද කියනවා රටක කැට කිරිල්ලියට පවා නිදහසක් තිඛෙන්න ඕනෑ කියලා. ඒක හරි. මොකද කැට කිරිල්ලියට ලියන්න බැහැ¦ කියන්න බැහැ. වත්මන් රාජපක්ෂ කුරුල්ලන්නට, බකමූණන්ට නිදහස දෙනවා. හැබැයි මාධ්‍යවේදීන්ට ලියන්න කියන්න නිදහස ලබාදෙන්නේ නැහැ. තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වදින ජනතාවට නිදහස් නැහැ. ඊනියා විශ්‍රාම වැටුප් ගේනකොට, තමන්ගේ අර්ථසාධක මුදල් කොල්ල කන එකට එරෙහිව සටන් කරපු ජනතාවට වෙඩි තියලා රොෂේන් චානකලා ඝාතනය කරලා දැම්මා. මාධ්‍යවේදින් ඝාතනය කරා, අතපය කැඩුවා, මාධ්‍ය ආයතන ගිණිතිබ්බා. කුරුල්ලන්ට නිදහස තියෙන ජනතාවට නිදහස නැති රටේ ලියන්න, කියන්න, කතාකරන්න නිදහස දිනාගන්න අරගලය දියත් කරන්න ඕනෑ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වෙනුවෙන් ජනතාව පෙළගැස්වීමේ වගකීම අපට තිඛෙනවා.
ඔබ දන්නවා මේ එළඹිලා තිඛෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ යුගයයි. අධිරාජ්‍යවාදීන් සම්පත් සහ ලාභ ශ්‍රමය සොයාගෙන එනවා. ලිබියාව, ඉරාකය ආක්‍රමණයකළේ වටිනා තෙල් සම්පත සොයාගෙන. ඉරානය ආක්‍රමණය කරන්න උත්සාහ කරමින් ඉන්නේ තෙල් නිධි ඉලක්ක කරගෙන. සූඩානය ඛෙදා වෙන්කළේ තෙල් සහ ගෑස් සම්පත සොයාගෙන. අධිරාජ්‍යවාදීන් සර්බියාව ඇතුලේ කොසෝව නිර්මාණය කළේ වටිනාම තුත්තනාගම් සම්පත ඉලක්ක කරගෙන. මහින්ද රාජපක‍ෂ ලාබ ශ්‍රමය, සම්පත් හොයාගෙන එන අධිරාජ්‍යවාදයට පක‍ෂද විපක‍ෂද? මහින්ද රාජපක‍ෂ මේ අධිරාජ්‍යවාදයට කිසි අයුරකින් විරුද්ධත්වයක් පෙන්වන්නේ නැහැ. ඕනෑතරම් දොරටුව විවෘත කරලයි තිඛෙන්නේ. ලෝකයේ වටිනාම සම්පත වන ඉඩම් සම්පත මහින්ද රාජපක‍ෂ බහුජාතික සමාගම්වලට ලබා දෙනවා. පොළොන්නරුවේ සෝමාවතිය අසල අක්කර 5,000ක් ඇමරිකානු කළු ව්‍යාපාරික සමාගමකට ලබා දුන්නා. පරිසර හානි නිසා රටවල්වලින් පලවා හරින ලද ඩෝල් නම් සමාගමකට මෙම ඉඩම් ලබාදුන්නා. පැලවත්තේ අක්කර 2,000කට වැඩි ප්‍රමාණයක් මහින්ද රාජපක‍ෂ ජනාධිපතිවරයා බහුජාතික සමාගම්වලට ලබා දුන්නා.
කොළඹ නගරයේ ඉතාම වටිනා සශ්‍රීක ඉඩම් අක්කර 20ක් කොම්පැනිකාරයින්ට විකුණා දැම්මා.  අක්කර 12ක් සින්නක්කරව හොංකොං සමාගමකට, අක්කර 08ක් චීනයේ කැටික් සමාගමටත් පවරා දුන්නා. එම ඉඩම ආශ්‍රිතව තිබූ හමුදා මූලස්ථානයත් රෝහලත් එතැනින් ඉවත් කළා. ඉඩම විකුණා දැම්මේ රුපියල් කෝටි 2,000කට වන අතර හමුදා රෝහල නැවත සවි කරන්න කෝටි 2,000ක වියදමක් වෙන් කරන්න ජනාධිපති රාජපක‍ෂ මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළා. රාජපක‍ෂගේ දේශප්‍රේමය මේකද? ක්‍රම උපාය සංවර්ධනය නමින් පනතක් පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. එයට අනුව ඕනෑම ව්‍යාපෘතියකට බදු සහන ලබාදෙන්න ආර්ථීක සංවර්ධන අමාත්‍යවරයාට හැකියාව ලැඛෙනවා. ඒ අනුව බැසිල් රාජපක‍ෂට නම්කරන ඕනෑම ව්‍යාපෘතියක් සඳහා බදු අයකිරීම පිළිබඳ තීරණ ගත හැකියි. කොම්පඤ්ඤ වීදියේ අක්කර 05ක ඉඩමක් "වෙල්කම්" කියන සමාගමට දුන්නා හෝටලයක් හදන්න. ඒ විතරද බැසිල් රාජපක්ෂ ගැසට් එකක් ගැහුව්වා එය ක්‍රම උපායික සංවර්ධන ව්‍යාපෘතියක් කියලා. ඒ සමාගම සියලුම බදුවලින් නිදහස් කරලා දැම්මා.
ඒ වගේම කල්පිටියේ දූපත් 21ක් වෙන්දේසි කිරීමට ආණ්ඩුව කටයුතු කළා. ඉන් දූපත් 14ක්ම මේවන විට විකුණා දමා හමාරයි. ඉතිරි 07 තවමත් වෙන්දේසියේ තිඛෙනවා. අපේ රටේ ඉතාම වැදගත් සම්පතක් වන පසුගියදා සොයා ගනු ලැබූ මන්තාරම සහ කාවේරි ද්‍රෝණියේ තෙල් සම්පත හඳුනාගන්න පුළුවන්. බැරල් මිලියන 14,000ක් තිඛෙන බව පරීක‍ෂණවලින් තහවුරු වෙලා තිඛෙනවා. එම තෙල් සම්පත් රටේ ඉදිරි පරම්පරාවට අයිති වන සම්පතක්. එම තත්වයන් නොසලකා තෙල් බිම් කොටස් 07කට කඩා දැනටමත් එක කොටසක් ඉන්දියාවට ලබා දී තිඛෙනවා. එපමණක් නොවේ, එය බදු රහිතව ලබා දෙන්න ගිවිසුමක්ද අත්සන් කොට ඇති බව දැනගන්නට තිඛෙනවා. එම ගිවිසුමට අනුව ශ්‍රී ලංකා රජයට ලැඛෙන්නේ ඉන්ධන වල ලාභයෙන් 10%ක කොටසක් පමණයි. ඒ වගේම තමයි අපේ රටේ විදේශ විනිමය ස්ථාවර මට්ටමක තබාගන්න පුළුවන්කම තිබුණු තෙල් සම්පත මහින්ද රාපක‍ෂලා විකුණලා දැම්මා. අධිරාජ්‍ය විරෝධියෙක් නෙවෙයිද? මීට වඩා හොඳ හිතෛෂී නායකයෙක් අධිරාජ්‍යවාදීන්ට ලැබිලා නැහැ.
අපේ රටේ බලශක්තිය ජාතික ආරක‍ෂාවට ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක්. බලශක්තියේ ඒකාධිකාරිය රජය සතුවිය යුතුයි. රාජපක‍ෂ ආණ්ඩුව 2007දී ගෙන ආ පනතක් මගින් විදුලිබල මණ්ඩලය ඒකාධිකාරිය නැති කළා. 2015න් පසු විදුලිය සඳහා රජයට තිබූ ඒකාධිකාරය අහෝසි වෙනවා. ඉන්දියාව, චීනය, විදුලිය නිෂ්පාදනයටත් ඛෙදාහැරීමටත් පටන් ගන්නවා. මහින්ද රාජපක‍ෂ විදෙස් සමාගම්වලට ඒ අවස්ථාව සලසා දුන්නා. ඉන්දියානු සමාගම්වලින් ලංකාව තුළ විදුලිය අඩු මුදලට විකුණන්න පටන් ගන්නවා. එවිට එම අධිකාරිත්වය රජයෙන් ගිලිහිලා ඉන්දියාව අතට පත් වෙනවා. ඒ වගේම දැන් තෙල් සම්බන්ධයෙන් ඒකාධිකාරය තිඛෙන්නේ ඉන්දියාවේ අයි.ඕ.සී. සමාගමටයි. එය රටේ ජාතික ආරක‍ෂාවට බරපතල ලෙස බලපාන තත්වයක්.
රටක ස්වජාතික ආර්ථීකයක් නිර්මාණය කළ හැක්කේ රටේ විනිමය පාලනයක් තිබුණොත් පමණයි. ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ අධිරාජ්‍යවාදීන් විනිමය නීති ලිහිල් කරන්න බලපෑම් කළා. යම් තාක් දුරට මේ නීති ලිහිල් කළා. චන්ද්‍රිකා පාලන සමයේ ඒ බලපෑම් ආවා. වත්මන් පාලනය තුළ 2012 - 2013 අයවැය මගින් විණිමය නීති ලිහිල් කළා. මූල්‍ය ක්ෂේත්‍රයේ වැදගත්ම දෙයක් වන විනිමය නීති ලිහිල් කරලා නිදහසේ මුදල් සංසරණයට ඉඩ හදල දුන්නා. එය ඉතා බරපතල තත්වයක්. අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රාග්ධනය රටට ගලාගෙන ඇවිත් මේ රටේ ශ්‍රමය සූරාකන්න සම්පත් සූරාකන්න අවස්ථාව හදලා දුන්න පාලනයක් මේක.
ධිරාජ්‍යවාදීන්ගේ එකම අරමුණ ලාභ ශ්‍රමය සහ රටේ සම්පත් ටිකයි. අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව අනුව මහින්ද රාජපක‍ෂ හැසිරෙනවා නම් අධිරාජ්‍යවාදීන්ට ඔහු සමඟ තිඛෙන ප්‍රශ්නය මොකක්ද? ගඩාෆි, සදාම් හුසේන් තමන්ගේ රටවල තෙල් සම්පත සම්බන්ධයෙන් ඇමරිකාවට එරෙහිව තීන්දු තීරණ ගත්තා. ඒ නිසා ඔවුන්ට ඇමරිකාවෙන් බලපෑම් එල්ල වුණා. ඉතින් අපේ රටේ එහෙම ගැටුමක් නැහැ. අවශ්‍ය දේ හොඳට කරනවා. නමුත් මහින්ද රටේ ප්‍රශ්න ටිකක් හදනවා. අධිකරණයට අත තියනවා. රටේ සාමකාමි තත්වය නැතිවෙනවා. ඊට එරෙහිව ජනතාව පෙළ ගැසෙනවා. අධිරාජ්‍යවාදීන්ට සාමකාමීව රටේ සම්පත් ටික ලාභ ශ්‍රමය සූරාගෙන යන්න සාමකාමී පරිසරයක් රටේ නැතිවෙනවා. එවිට අධිරාජ්‍යවාදින් මහින්ද රාජපක‍ෂට තෝන් ලණුවක් දාල ඒවා පාලනය කරගන්න හදනවා. අධ්‍යාපන පෞද්ගලීකරණය සම්බන්ධයෙන් රනිල් ධවල පත්‍රිකාවක් ගෙනාවා. නමුත් එය හකුළා ගන්න සිදුවුණා. දැන් මහින්ද රාජපක‍ෂ පනත් සම්මත කරලා පෞද්ගලික විශ්වවිද්‍යාල හදල දෙනවා. අයි. එම්. එෆ්. වුවමනාව හොඳට ඉටුකරලා දෙනවා.
රටේ ආරක‍ෂාව පැත්තෙන් ගත්තත් බරපතල තත්වයකට තමයි රට පත්වෙලා තිඛෙන්නේ. ත්‍රීකුණාමල වරාය ආසියාවේ යුද කේන්ද්‍රය කියලා කිව්වා. නමුත් ත්‍රීකුණාමල වරාය ආසන්නයේ ඉන්දියාවට ආර්ථීක කලාපයක් හදලා දුන්නා. දැන් ඉන්දියාව ත්‍රිකුණාමල වරායට ආර්ථීක කලාපයේ සිට ගාන්ධි මාවත හදනවා. වරායේ නව ජැටියක් හදනවා. ඉන්දු ලංකා ගිවිසුම වෙලාවෙත් ඉන්දියාවේ ඉලක්කයක් වුණ ත්‍රීකුණාමල වරාය අවට අධි ආරක‍ෂිත කලාපයේ අයිතිය තිඛෙන්නේ ඉන්දියාවට. අපේ රටේ සියලු ඉදිකිරීම් සිදු කරන්නේ විදේශ සමාගම් විසින්. රේල් පාරවල් ටික හදන්නේ ඉන්දියානු සමාගම්. සූරියවැවේ ක්‍රීඩා පිට්ටනිය සකස් කළේ චීන සමාගමක්. නොරොච්චෝලේ විදුලි බලාගාරය හැදුවේ චීන සමාගමක්. කොළඹ ගාල්ල අධිවේගය ව්‍යාපෘතිය ලබාදුන්නේ විදෙස් සමාගමකට. එනිසා මේ ආණ්ඩුව අධිරාජ්‍යවාදය සමඟ ගැටුමක් නැහැ. ඉතා හොඳින් සයනයේ සැතපෙනවා. සහවාසයේ යෙදෙන පාලනයක් ගෙනියනවා. එම අධිරාජ්‍යගැති පාලනයටත් දුබල ධනවාදයටත් එරෙහිව අරගලයක් තිඛෙනවා.
"එව බලව, එව බලව" කියන මහින්ද රාජපක‍ෂට අපි කියනවා රටේ පාරම්පරික ඉඩම් සම්පත අක්කර 5000ක් ඩෝසර් කරලා ඇමරිකානු ඩෝල් සමාගම කෙසෙල් වගා කරනවා. මහින්ද යව බලව. මන්නාරම් ද්‍රෝණියේ තෙල් සම්පත ඉන්දියානු සමාගම පොදිගහගෙන ඉන්නවා මහින්ද යව බලව. අපේ රටේ වටිනා දූපත් ටික අධිරාජ්‍යවාදීන්ගේ සමාගම්වලට දීලා තිඛෙනවා. මහින්ද යව බලව.
ඒ වගේම තමයි රටේ නාස්තිය. ලැම්බෝගිනි වලට බදු සහන දෙන ගමන් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන්නේ සොච්චම් වැටුප් වැඩි කිරීමක්. ලැබ්බෝගිනි වලට බදු ගැහුවා නම් රජයට ලක‍ෂ 4,023ක ආදායමක් ලැඛෙන්න තිබුණා. නමුත් නාමල් රාජපක‍ෂට ලක‍ෂ 4,023ක බදු සහනයක් ලබා දෙනවා. ඒ වගේම තමයි රටේ ඇමති මණ්ඩලය. කෝටි දෙකක් වන ජනගහනයක් ඉන්න අපේ රටේ ඇමති මණ්ඩලය 68ක් වෙනවා. ලෝකේ වැඩිම ජනගහනය වන කෝටි 134ක්  ඉන්න චීනයේ ඇමතිවරු 17යි. මේ ආකාරයෙන් විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කරමින් නාස්තිකාර පාලනයක් ගෙන යනවා. කෝටි ප්‍රකෝටි ගණන් විනාශ කරන පාලනයක් මේක. ඒ නිසා මෙම පාලනයට එරෙහිව අරගලයක් ඕනෑ කර තිඛෙනවා. එය ජයග්‍රහණයෙන් කෙළවර කළ යුතු සටනක් බවට පත්කළ යුතුයි. ඒ සඳහා තමයි අපි මෙම ජනතා මධ්‍යස්ථානය ගොඩනැගුවේ. බණ්ඩාරනායක, රත්වත්තේ, සේනානායක, මැදමුලන කියන වලව් හතරක් අවුරුදු 65ක් තිස්සේ රට පාලනය කළා. දැන් ඉතිරිවෙලා තියෙන්නේ හපයක් බවට පත්කරපු රටක්. ආර්ථීකය කඩා වැටිලා. අධ්‍යාපනය, සෞඛ්‍ය කඩා වැටිලා. මෙම  වලව් පාලනයෙන් අධිරාජ්‍යගැති පවුල් පාලනයෙන් මේ රට මුදාගත යුතුයි. එකට සිටිය හැකි සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව නියෝජනය කරන කලාකරුවන්, බුද්ධිමතුන් සියලු බලවේග නියෝජනය කරන වේදිකාවක් හදලා තියෙනවා ඒ අරගලය වෙනුවෙන්. මෙම අධිරාජ්‍යගැති පවුල් පාලනයට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමට ඒ වෙනුවෙන් සටන් කිරීමට ඔබ සියලු දෙනාට ආරාධනය කරනවා.

No comments:

Post a Comment