Saturday 9 February 2013

බලයෙන් හිරිවැටිල ඉන්න නිසා ජනතාව කියන දෙයක් ජනාධිපතිට තේරෙන්නේ නැහැ. ජ්‍යෙෂ්ඨ කථීකාර්ය චන්ද්‍ර ගුප්ත තේනුවර මහතා.

"අපිට වෙනස් විදිහකට හිතන්න කාලය ඇවිත් තියෙනවා. අවුරුදු දෙදහස් පන්සීයක ශිෂ්ටාචාරයක් තිබුණයි කියන රටේ මෙහෙම ආණ්ඩුවකට මෙච්චරකල් ඉන්ඩ පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. මෙච්චර ඉවසගෙන ඉන්ඩ පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. අවුරුදු 30ක එක යුද්ධයක් අවසන් වුණා. නමුත් අපෙන් ඒ බිය සැක අයින් කළේ නැහැ. අපිව බයෙන් බයට පත් කළා. රටේ ප්‍රධාන තැන් දෙකකට ගැහුවා කියලා එයා සතුටු වුණා. එකක් තමයි යුද සෙන්පතියා හිරගෙට යැවීම. ඊට පස්සෙ පාර්ලිමේන්තුව උසාවියක් බවට පත්කරලා ස්වාධීන අධිකරණයටත් ගැහුවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලයට තියෙන සමහර කාරණා අකුළලා තමන්ගෙ පැත්තට අරගෙන ඉවරයි. දැන් ඒකාධිපතිවාදයේ ළදරු අවධිය අවසන්. පැසුනු අවධියට ඇවිල්ල තියෙන්නෙ. තමන්ට තිබුණු බාධක ඉවත්කරගෙන උපරිම ලෙස බලය පාවිච්චි කරමින් ජනතාව නිහඬ කරන තැනකට ඇවිල්ල තියෙන්නේ. මේ ජනාධිපති දැන් බලයෙන් හිරිවැටිලා ඉන්නෙ. ඒ නිසා ජනතාව කියන කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ. මේ ඉන්න ජනතාව නිකම්ම ඉන්නවා නම් හිරිවැටුණු ජනාධිපති තවදුරටත් එහෙමම ඉඳීවි. අන්තිමේදී පරිමීඩයක් හදලා මමියක් බවට තැන්පත් කරන්න විතරක් ඉතිරිවෙයි. එහෙම සමාජයකට නෙවෙයි අප යා යුත්තේ. නිදහස් අධ්‍යාපනය රැකගනිමු කියලා පොස්ටරයක් ගැහුවොත් ඒක මකන්න වෙනම හමුදාවක් පිටිපස්සෙන් එවනවා. හැබැයි දැන් හලාල් වර්ජනය කරමු කියලා පෝස්ටර් හැමතැනම ගහලා තියෙනවා. ඒවා මකන්න කවුරුවත් නැහැ. දැන් බුද්ධාගමට අලුත් ශික්ෂා පදයක් ලංකාවට හඳුන්වාදීලා. හලාල් ලකුණත් වේරමනී සික්කා පදං සාමාධියාමි කියලා. ඒක වෙනස් කරගත යුතුයි. අධිරාජ්‍යවාදී බලයෙන් විතරක් නෙවෙයි. බලයෙන් උන්මත්තක බාවයට පත්වෙලා ඉන්න අයගෙන් සමාජය බේරාගත යුතුයි. දැන් අපිට බුද්ධාගමත් බේරාගන්න සිද්ධවෙලා තියෙනවා. පන්සිල් පද 05 රැකගන්න ක්‍රියාකළ යුතු කාලයක් ඇවිත් තියෙනවා. මිනිසුන්ව හිතුමතයට මරා දානවා. අතුරුදන්වීම් දිගින් දිගටම පවතිනවා. කෝ එහෙනම් පානාතිපාතා කියන සිල්පදය? ඒක රකින්නෙ නැතුව ඔය කියන බෞද්ධයෝ කොහෙද ඉන්නෙ? හිරකරුවෙකුටවත් ජීවත්වෙන්න බැරි රටක්. ඒ මිනිසුන්ව මරලා දම්මා. දැන් බෝගම්බර ඉන්න මිනිස්සු කියනවා තමන්වත් මරළලදාන්න කියලා. ඒ තරමට මිනිසුන්ට දැන් ජීවත්වීම එපා වෙලා. ආශ්චර්යමත් ශ්‍රී ලංකාවෙ ජීවත්වීම එපා වෙලා. තමන්ව මරා දාන්න කියලා ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිනවා. එහෙම තැනකට අද ඇවිල්ල තියෙන්නේ. අදින්නා දානා කියන සිල්පදය කඩාදාලා අපේ ඇස් පනා පිට හොරකම් කරනවා. හොරකමක් නම් හොරෙන් කරන්න ඕනි. දැන් ඇස් පනාපිට කරනවා. ජනතාවගේ සියලුම මුදල් හොරකම් කරනවා. අපිට EPF, ETF නැතිවෙලා. අනික ඉදිරියේදී සටන් කරන්න 6%ක ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල පෞද්ගලීකකරණ ප්‍රශ්නය තියෙනවා. ඒ වෙනුවෙන් සටන් කිරීමට පෙළගැසීම අවශ්‍යයි. ඊළඟට ඇස්පනාපිට බොරු කියනවා. බොරු සතුරන් මවාපෙන්වනවා. ඕනෑම බොරුවක් ජනතාවට පටවන්න පුළුවන් කියලා විරූපවාහිනියයි, පරාධීන රූපවාහිනී සේවයයි පාවිච්චිකරලා ජනතාවගේ මොළ සෝදනවා. රට සෞන්දර්යකරණයකට දාලා ලස්සන කරන්න ඒගොල්ලන්ට ඕනෑ විදිහයි පාරවල් හදන්නෙ. ඒගොල්ලන්ට වෙඩි තියන්න බැරිවෙන විදිහට ගස්කොළන්, තාප්ප අයින්කරන එකයි කරන්නෙ. සාමාන්‍යයෙන් රටවල් හදන්නෙ, නගර හදන්නෙ මිනිස්සු. මිනිස්සු හැදුව රටවල්, නගර තමයි තාම තියෙන්නෙ. ඒවා බලන්න තමයි සංචාරකයෝ එන්නෙ. නැතුව ආණ්ඩුවේ කොන්ත්‍රාත්වලට හදන පාරවල් බලන්න සංචාරකයො එන එකක් නැහැ. වෙනත් රටවල්වල ඒවා තියෙනවා. අපි ඉවසාගෙන ඉඳීමේ වරද කරනවා. නිර්වින්දනය වූ අය වගේ ඉන්නවා. වරදක් වෙන කොට අපි කතාකරන්න අවශ්‍යයි. පාරට බහින්නෙ නැති සටන් නොකරන විශ්වවිද්‍යාල ආචාර්යවරුනුත් පාරට බැහැලා පෙන්නුවා සටන් නොකර කිසිවක් දිනාගන්න බැහැ කියලා. එහෙනම් අපි ඒ වෙනුවෙන් පෙළ ගැසිය යුතුයි. අලුත් රටක් ගොඩනගන්න කලින් තිබුණු දේවල්වත් රැකගන්න බැරි ආණ්ඩුවකට තමයි අපි රට පාලනය බාරදීලා තියෙන්නෙ. අවුරුදු 65ක් නිදහස භුක්තිවින්දැයි කියන කොට ඇමැතිවරුත් හැටපහක් පන්නලා ඉන්නවා. සීනි ඇමැතිලා ඉන්නවා. ළඟදී තලගොයි ඇමැතිලත් එයි. සීගිරියට ඇමැතිලත් ඉඳියි. තංගල්ලට වෙන ඇමැතිවරයෙකුත් ඉඳියි. එක එක විදිහට ඇමැතිලා දාගන්න පුළුවන්. මේ විහිළු කරන්න ඉඩදෙන්න බැහැ. මේ පාර්ලිමේන්තුව ගැළපෙන්නෙ නැත්නම් ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන, ජනතාවගේ පරමාධීපත්‍යය සුරැකෙන වෙනම පාර්ලිමේන්තුවක් අපිට හදාගන්න වෙයි. මේ ආණ්ඩුවෙන් පිට අපිට වෙනම ආණ්ඩුවක් හදාගන්න වෙයි. මේක ඔහේ යනවා. ජනතාව එක පැත්තක. ජනතාවගේ ප්‍රශ්න විසඳගන්න බැරි තරමට ඔවුන්ව හිරකරලා තියෙන්නේ. බලය තියෙන අයට දිගු කාලයක් ඉන්න පුළුවන්වෙන්නෙ ජනතාව නිහඬව ඉන්න තාක්කල් පමණයි. ජනතාව සතුවයි බලය තියෙන්නෙ. ජනතාව සතු බලය නැවත ලබාගැනීමේ ව්‍යාපාරයට ජයවේවා."

No comments:

Post a Comment