Thursday 23 May 2013

මහින්ද මහත්තයෝ ඔහේ ආණ්ඩුව බලාගන්න: ඕක වැටෙන්න ලඟයි: අපි ජනතාව ගැන බලාගන්නම් -දහස් ගණනක ජනතාව අදත් කොළඹ මහා පා-ගමනක්

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව දැවැන්ත පාගමනක් අද ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබිණ. එය බොරැල්ලේ සිට කොටුව දක්වා ගමන් කළ අතර දහස් ගණනක ජනතාවක් ඊට සහභාගී වූහ. මෙම පා-ගමන ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට අනුබද්ධ සංවිධාන විසින් සංවිධානය කරන ලද්දක් වන අතර පා-ගමන හේතුවෙන් විශාල වාහන තදබදයක් කොළඹ ඇති විය. කොටුව දුම්රිය පොල වෙත පැමිණි පිරිස එහිදී කෙටි රැස්වීමක් ද පැවැත්වූහ.

එහිදී පිරිස ඇමතූ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා...

"අද මේ පාගමන ආවේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට තේරෙන බාසාවෙන් කතා කරන්න. මේක අඳ ගොලූ බිහිරි ආණ්ඩුවක්. මේකට කන් ඇහෙන්නෙ නෑ. මේකට කතා කරන්න බෑ. කියන එක ඇහෙන්නෙ නෑ. ඒ නිසා තේරෙන බාසාවෙන් කියන්න තමයි අපි කවුරුත් එකතු වුනේ. මේ විදුලි බිල වැඩි කිරීමට කැමති මහජන මුදලින් බිල ගෙවන ඇමැතිවරු ටික විතරයි. ඒ නිසා මහා ජනතා විරෝධයක් ආවා. මේ සටන සියළු දෙනාම සහයෝගය දෙන සටනක්. විදුලි බිල වැඩි කරද්දි මහින්ද මහත්තයා නිලධාරින්ට කීවෙ 'තමුසෙලා වැඩි කරනවා, මං ජනතාව බලා ගන්නම්' කියලා. ඒත් ආණ්ඩුව අඩියක් පස්සට තිබ්බා. ඒ හින්ද තමයි මැයි පළවෙනිදා වෙනින් කතාවක් කීවෙ. ඒත් ජනතාව කියන්නේ වැඩි කරපු බිල අස් කරගන්න කියලයි. ඒක වෙනුවෙන් තිබ්බ එක දවසක සංඛේත වැඩ වර්ජනයකට බය වුනා. බය වෙලා තමන්ගෙ තියෙන ලේකහවුස් පච මෝලයි පච වාහිනියයි මඩ ගැහුවා අවලාද ගැහුවා. එක දවසක සංඛේත වැඩ වර්ජනයකට බය වෙනවනම් මහින්ද මහත්තයෝ ඕක ආණ්ඩුවක්ද? නෑ. ආණ්ඩුව වැටෙන්න ලඟයි. ආණ්ඩුව ඇතුලේ කචල්. බයවෙලා ඉන්නේ. අපි කියනවා. අපි ජනතාව ගැන බලාගන්නම්. ඔහේ ආණ්ඩුව ගැන බලාගන්න කියලා. මේ වැඩි කරපු බිල අහෝසි කරනකම් අපි අපේ සටන අතහරින්නේ නෑ කියන එක ආණ්ඩුවට කියනවා" යි ටිල්වින් සිල්වා පැවසීය.

-----------------------------------------------------------
එහිදී පිරිස ඇමතූ ජවිපෙ පා.ම අනුර දිසානායක මහතා කීවේ ආණ්ඩුවේ දූෂණ වසා ගැනීමට ජනතාවට බදු පිට බදු ගහන බවත් විදුලි බිල වැඩි කළේ ඉන්ධන මිල වැඩි කරන්නේ ඒ නිසා බවත් ය. ඔහු මෙසේ කීය.

"රාජපක්ෂ මහත්තයාගෙ මස්සිනා තමයි එයාර් ලංකා එක මෙහෙයවන්නෙ. ශිරන්ති රාජපක්ෂගේ අයියා. මහින්දගේ මචං. මචං එයාර් ලංකා එක මෙහෙයවලා 2011 අවුරුද්දේ කෝටි 1900 ක් පාඩුයි. 2012 අවුරුද්දේ කෝටි 2050 ක් පාඩුයි. මචංගෙ පාඩු පියවගන්න ජනතාවට බදු ගහනවා. දැන් මහින්දයි මචංනුයි කට්ටිය එකතු වෙලා ලංකාවෙ ලොකුම ගණුදෙනුව කරන්න යන්නෙ. පාඩු පිට පාඩු ලබන මේ ආයතනය කෝටි 31500 ක එයාර් බස් ගේන්න යන්නේ. ඒවායේ බර තමයි විදුලි බිලට, පෙට්‍රල් ලීටරේට, හාල් මැස්සො කිලෝ එකට, කිරිපිටි පැකට් එකට දාන්නේ. මහින්ද මහත්තයාගේ ලොකු කොලූවා. නාමල් කොලූවා, පහුගිය දවසේ මේ කොළඹ පාරවල් වහගෙන එළිවෙනකම් දවල්ට වගේ ලයිට් දාගෙන කාර් රේස් ගියා. කෝටි ප්‍රකෝටි ගණන් ලයිට් බිල් ගෙව්වා. කාර් රේස් මේ රටේ මහජනතාවගේ ප්‍රශ්නයක්ද? නෑ. ඒක මහින්ද රාජපක්ෂගේ පුත්තුන්ගෙ ප්‍රශ්නයක්. ඒවට තමයි මහජන මුදල් නාස්ති කරන්නෙ. මේක නාස්තිකාර පාලනයක්. මේකට එරෙහිව අරගල කරන්න ඕනෙ නැතිද? සටන් කරන්නේ නැතිද? මේකට එරෙහිව කට අරින්න ඕනේ. මාධ්‍යවේදී මහත්තුරු මොන බාධක තිබුනත් මේකට එරෙහිව ලියන්න ඕනේ. මහින්ද මහත්තයා මේක මග අරින්න එක එක සංදර්ශන දානවා. ගුග්ලි දානවා. එයා ලඟ ටොමියා ඉන්නවා. බූලා ඉන්නවා. දිමියා ඉන්නවා. විමලා ඉන්නවා. උන් ඇත්ත ප්‍රශ්නෙ වහන්න එක එක ජාතියේ ඒවා බුරනවා. ඒව හරියන්නේ නෑ. අද මහජනතාවගේ ප්‍රශ්නෙ ජීවත් වෙන්න බැරි ප්‍රශ්නෙ. ඒකට එරෙහිව අරගල කරමු." යි අනුර දිසානායක මහතා පැවසීය.





No comments:

Post a Comment