Monday 20 May 2013

හෙට වර්ජනය ස්ථිරයි - ආණ්ඩුව දැනටමත් පරාජය භාර අරගෙන ඉවරයි - ලාල්කාන්ත



මේ වෙනකොට වැඩවර්ජනය සඳහා සියළු වැඩකරන ජනතාව සූදානම්ව සිටින බවත් වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට ආණ්ඩුව විවිධ කුමන්ත‍්‍රණය කරමින් ජනතාව බිය ගැන්වීම සඳහා ආයතනවලට ලිපි යවමින් සිටින බවත් එවැනි ක‍්‍රියාමාර්ග වලින් ආණ්ඩුව වැඩවර්ජනයට කොතරම් භය වී සිටින බව දැනගත හැකි බවත් අද පැවති මාධ්‍ය හමුවකදී ලාල් කාන්ත සහෝදරයා පැවසීය. හෙට (21) දින වැඩවර්ජනය සම්බන්ධයෙන් කොළඹ නිපොන් හෝටලයේදී වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ සම්බන්ධීකරණ කමිටුව මගින් අද (20) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් 21 වර්ජනයට සහභාගී නොවන ලෙස ඉල්ලා සිටි බවත් එලෙස පවසන්නේ තම පාක්‍ෂිකයිනුත්, සාමාජිකයිනුත් මෙම වර්ජනය සඳහා සහභාගී වීම වළක්වන්න බවත් පැවසීය. එමෙන්ම ආයතනවලට අමාත්‍යාංශ ලේකම්වරුන් හරහා ලිපි යවමින් අසනීප නිවාඩු පවා අවලංගු කරන ලෙසත් 21 වැඩට නොඑන සේවකයින් සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කරන ලෙසත් ඉල්ලමින් ආයතන ප‍්‍රධානීන්ට දැනුම් දී ඇති බවත් ඔහු පැවසීය.
එහිදී ලාල් කාන්ත සහෝදරයා වැඩිදුරටත් අදහස් දකිවමින් 15 විරෝධතාවයට ආණ්ඩුව පාදඩ බලවේග බැස්සුවෙ ඒ විරෝධතාවය ආණ්ඩුවට හොඳට දැනුනු නිසා. අනිත් එක ආණ්ඩුවේ මඩ පැක්ටරි හා පච පැක්ටරි සක‍්‍රීය වෙලා තියෙන්නේ මේ විරෝධතාවය ආණ්ඩුවට හොඳට දැනුනු නිසා. අපි පැහැදිලිව කියන්නෙ විදුලි ගාස්තු වැඩිකිරීම අහෝසි නොකරොත් ඉදිරියටත් වැඩවර්ජන ගණනාවකට මුහුණ දෙන්න වෙයි. මේක අවසාන ක‍්‍රියාමාර්ග නොවෙයි. ඒකට සටන්කාමී, ඉදිරිගාමී, ප‍්‍රගතිශීලී බලවේග සියල්ල මූලික කරගෙන පෙළගස්වන්න සූදානම්. දැන් ආණ්ඩුව ලෙඩ නිවාඩු අවලංගු කරත්, චක‍්‍රලේඛ ගැහුවත් මේ වැඩවර්ජනය කරන්න එපායි කියල ආන්ඩුවට කියන්න බෑ. ඒක අපේ අයිතියක්. ඒ අරගලවල කෙළවර විදුලි බිල නොගෙවීම. අපි පන්දම්වලින් පටන් ගත්තා. විරෝධතා පැවැත්වූවා. ඒවාගේම හෙට වැඩවර්ජනයත් ඒකට එකතු වෙනවා. මේ අකණ්ඩ ක‍්‍රියාමාර්ග ගණනාවක් ගන්නවා මේ විදුලි බිල අහෝසි කරන තෙක්. අපි කටුනායක ජයග‍්‍රහණය කරා වගේ මේ අරගලයත් ජයග‍්‍රහණයෙන් කෙළවර කරනවා. ඒක අනිවාර්යයි. මේක කටුනාක අරගලයටත් වඩා ප‍්‍රභලයි. මේක පොදු ජනතාවගේ අරගලයක්. අපි පොදු ජනයට මේ සටනට සම්බන්ධ වෙන්න පුළුවන් ක‍්‍රම අපි ජනතාවට කියනවා. ඒකෙ මූලික පියවරක් වෙච්ච 21 වැනිදා වැඩවර්ජනයට සියළු වැඩකරන ජනතාවට ධෛර්යයෙන් සහභාගී වෙන්න කියල අපි කියනවා.
එමෙන්ම ජාතික සේවක සංගමය වෙනුවෙන් එහි ලේකම් සිරිනාල්ද මැල්, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, නිදහස් වෙළඳ කලාප සේවක සංගමය වෙනුවෙන් ඇන්ටන් මාකස්, එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් ශ‍්‍රීනාත් පෙරේරා, විශ්ව විද්‍යාල ආචාර්ය සන්ධානය වෙනුවෙන් චන්‍ද්‍රගුප්ත තේනුවර යන වෘත්තීය සමිති නායකයින්ද මෙහිදී අදහස් දැක්වීය.


No comments:

Post a Comment