Friday, 3 May 2013

රතු මැයි වේදිකාවේ පළ කළ අදහස්

සමාජවාදී කම්කරු සංගමයේ ජාතික සංවිධායක ලාල්කාන්ත මහතා අදහස් දක්වමින්...


මේ මොහොතේ අපි දිනාගත යුතු අයිතිවාසිකම් විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. දිනාගැනීමට ඉතිරී වී තිබෙන අයිතීන් දිනාගැනීමට සටන් කළ යුතුව තිබෙනවා. අපි අද ඒ සියලු බලවේග බී.ආර්.සී පිටියට ගොනු කර තිබෙනවා. 2012 මැයි දිනයේ ඉඳලා 2013 අද දක්වා කම්කරු පංතිය තමන්ගේ අයිතීන් කිසිවක් දිනාගෙන නැහැ.
 
ගිය අයවැයට කලින් වැඩ කරන ජනතාව අරගලයක හිටියා තමන්ගේ වැටුප රුපියල් 13,442.50කින් වැඩි කළ යුතුයි කියලා. දැවැන්ත අරගලයක් ගෙන ගියා. නමුත් එය දිනාගන්න බැරිවුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දින සියයක අරගලයක් ගෙනගියා ඉල්ලීම් කීපයක් මුල්කරගෙන. ජාතික වශයෙන් වැදගත් වන අධ්‍යාපනයට 6%ක් වැඩි කළ යුතුයි කියන ඉල්ලීම තිබුණා. යම් ඉල්ලීම් ප‍්‍රමාණයක් ජයග‍්‍රහණය කළත් අධ්‍යාපනයට 6%ක් වෙන්කරගන්න බැරිවුණා. වෘත්තීය සමිති ව්‍යාපාරයට තමන්ගේ කාර්යභාරය නිසි ලෙස ඉටුකරන්න බැරිවුණා. සාමූහික අරගලයකට ආවේ නැහැ. විශ‍්‍රාම වැටුප් අරගලයේදී ප්‍රෝඩාකාරී විශ‍්‍රාම වැටුප පරාජය කළාට පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ‍්‍රාම වැටුපක් දිනාගන්න බැරිවුණා.
 
ජීවන අංකය ඒකක 180ට ඉහළ ගිහිල්ලා. පෞද්ගලික අංශයට මූලික වැටුප 8,625යි. මහින්ද රාජපක්ෂ බලයට ආව දවසේ සිට මේ වෙනකොට පවුලක බඩුමල්ල රුපියල් 22,480කින් ඉහළ ගියා. කොපමණ අරගල කළත් වැටුප ඉහළ දැම්මේ නැහැ. රාජ්‍ය අංශයේ වැටුප විසි දහසට ආසන්න ප‍්‍රමාණයක් වෙනවා. පෞද්ගලික අංශය අතර පරතරය දසදහසක් පමණ වෙනවා. එහෙම වෙනසක් තියෙන්න බැහැ. සීටීබී, විදුලි, ගුරු විදුහල්පති, දුම්රිය, වතු ක්ෂේත‍්‍රවල සේවකයින් වැඩවර්ජන, උද්ඝෝෂණ කළා. නමුත් අරගල ජයග‍්‍රහණය කරන්න බැරිවුණා. මොකද අපි සටන් කළේ බෙදිලා.

ආණ්ඩුව විදුලි බිල වැඩිකළා. අපි වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා වැඩවර්ජනයක් සූදානම් කර තියෙනවා. විදුලි බිල මැයි 20 වෙනිදාට කලින් අඩු නොකළොත් 21වෙනිදා වැඩවර්ජනය අනිවාර්යයි. මේ විදුලි බිලට එරෙහිව වැඩවර්ජනයකට එන්නේ නැතිනම් ඒ වෘත්තීය සමිතිවලින් වැඩක් නැහැ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඇතුළුව වෘත්තීය සමිති 600ක් ඉන්නවා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, ජාතික සේවක සංගමය ඉන්නවා. අපි දැන් ඒකාබද්ධ සටන් ක‍්‍රියාමාර්ගයකට සූදානම්. මේකට එකඟ වෙන්න බැරි නම් ඒ ප‍්‍රතිගාමී ව්‍යාපාරයි. කෑලි අඩුකිරීම්වලට අපි එකඟ නැහැ. මේ අසාධාරණ වැඩිකිරීම සම්පූර්ණයෙන්ම අකුළාගන්න ඕනෑ. මෙය අපේ ප‍්‍රධාන ඉල්ලීම නොවේ. ජීවන වියදමට සරිලන වැටුපක් දිනාගන්න  ඕනෑ. පෞද්ගලික අංශයට විශ‍්‍රාම වැටුපක්, වතු ජනතාවට ජීවත් වෙන්න ඉඩමක්, අධ්‍යාපනයට 6%ක් දිනාගන්න ඕනෑ. හේමාකට් වීරවරුන් අපට කියා දුන්නේ ඒ ආදර්ශයන් තමයි. මේ රටේ වැඩකරන පංතිය රටේ පාලක පංතිය බවට පත්විය යුතුයි. ඒ සඳහා වැඩ කරන ජනතාව පෙළ ගැසිය යුතුයි.

ජ.වි.පෙ. නායක සෝමවංශ අමරසිංහ මහතා අදහස් දක්වමින්...


127 ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ මොහොතේ අපට ජාත්‍යන්තර සහයෝගය පළකරන්න බි‍්‍රතාන්‍ය මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති සහ ජාත්‍යන්තර ලේකම් එල්ලා රූස් සහෝදරිය පැමිණ සිටිනවා. මේ සහෝදරිය අපට හමුවන්නේ පැය අටේ වැඩ දිනය දිනාගන්න චිකාගෝ නුවර සටනට නායකත්වය දුන් හය දෙනාගෙන් එක් කෙනෙක් වූ සෑම් සීලඩන් සහෝදරයාගේ පරම්පරාවෙන් පැවත එන සටන්කාමී සහෝදරියක්. ඒ වගේම අපට හැමදාම ඉන්න මිත‍්‍රයා ඉන්දියන් ෆෝ වර්ඩ් බ්ලොක් ව්‍යාපාරයේ දේව රාජන් සහෝදරයා පැමිණ සිටිනවා. ඉන්දියාවත් ශී‍්‍ර ලංකාවත් සමාජවාදය දිනාගන්න දිනයක අපි එක තැන ඉඳ සටන් කරන බව කීමට ඔහු පැමිණ සිටින්නේ. ඊළඟට අස්ක ඇන්ඩර්සන් සහෝදරයා ඩෙන්මාර්කයේ සිට පැමිණ සිටිනවා. ඔහු පැමිණ සිටින්නේ ඩෙන්මාර්කයේ බෙදී ගිය කොමියුනිස්ට් පක්ෂ එකතු කිරීමේ අභියෝගයට කර ගසා සිටින විප්ලවවාදියෙකු ලෙසයි. ඩෙන්මාර්කයේ මාක්ස් ලෙනින්වාදීන් එකතු කිරීමේ අභියෝගය මේ සහෝදරවරුන් භාරගෙන සිටිනවා. ඒ වගේම අපේ විදේශ ගත සහේදරවරුන් සහ හිතවතුන් අපට සුභපැතුම් එවා තිබෙනවා.
මේ මැයි දිනයට යාපනයේ සිට සහෝදර සහෝදරියන් පැමිණ සිටිනවා. 2013 මැයි දිනය සමරන විට ලෝකය පුරා දශ ලක්ෂ ගණනක් රතු කොඩි උසවනවා. ලෝකය පුරා සමාජවාදය වෙනුවෙන් සටන් කරන කෝටි ගණනක් ජනතාවට අපි සුභ පතනවා. 2013 මැයි දිනය සමරන්නේ ලෝකය පුරා සමාජවාදී පරිවර්තනයක් ඉල්ලා සිටින අවස්ථාවකයි. ගියවර මැයි දිනය සැමරුවේ ලෝකය පුරාම පැය අටේ වැඩ දිනය අභියෝගයකට ලක්ව තිබූ අවස්ථාවකයි. අපි අහනවා තමුන්නාන්සේලාගේ පැය අටේ වැඩ දිනය පැය 12ක් වෙනවාට කැමතිද කියලා. කිසි කෙනෙක් කැමති නැති වග තමුන්නාන්සේලා කියල තිබෙනවා. ප‍්‍රශ්න වැඩි වැඩියෙන් එනවා. ධනපති ක‍්‍රමයට විසඳුම් නැහැ. දැන් මේ ක‍්‍රමයත් එක්කම හැපෙන්න වෙනවා. විදුලිය බිල වැඩි කරපු එක ආපස්සට හරවන්න ඕනෑ. එතනින් නවතින්නේ නැතුව නිර්ධන පංතියට බලය ගන්න ඕනෑ. මැයි දිනය ගැන කතා කරන කොට පැය අටේ වැඩ දිනය ලබාගැනීමට කළ කැපකිරීම් අපි මතක් කරන්න ඕනෑ. පැය 16, 18 වැඩ කළ යුගයක් තිබුණා. ඒකට විරුද්ධව තමයි පැය අටේ වැඩ දිනය වෙනුවෙන් සටන් කළේ. ජීවිත පරිත්‍යාගයෙන් ඒ සටන ජයග‍්‍රහණය කළා. මේ අයිතිවාසිකම නැති කරන්න ධනපතියන්ට ඉඩදිය යුතු නැහැ. ඒ අයිතිවාසිකම් උදුරාගන්න උත්සාහ කරනවානම් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර ඒ අයිතිවාසිකම ලබාගත යුතුයි. පැය අටේ වැඩ දිනය යුරෝපයේ සමහර තැන්වල නැහැ. එක්සත් ජනපදයේත් නැහැ. සාමකාමී වැඩකරන ජනතාවගේ කොඩිය සුදු කොඩියයි. ඒක රතු වුණේ සාමකාමී අරගලවලට ධනපති පංතිය වෙඩි තියපු නිසයි. කම්කරුවන්ගේ ලෙයින් ඒ කොඩි රතුපාට වුණා. එතන ඉඳලා තමයි අපේ සටනේ සංකේතය රතු කොඩිය වුණේ. සමාජවාදයේ කොඩිය රතු කොඩිය වුණේ එතන සිටයි.

මුළු ලෝකයම අද උස්සන්නේ සමගියේ, සටනේ රතු කොඩියයි. මොන පසුබෑම් තිබුණත් ඉදිරියටම ගමන් කරමින් රතු කොඩිය අපි ඔසවනවා. අපි අදත් හිනාවෙන්නේ ජයග‍්‍රාහීව සටනේ යෙදිලා ඉන්න නිසයි. එල්ලා රූස් සහෝදරියත් කීවා, යුරෝපය පුරාම ධනපති ක‍්‍රමය බිඳවැටෙමින් පවතින බව. සදාකාලික සමාජවාදී ජයග‍්‍රහණය අපිට ඕනෑ. විශාල ආර්ථික අර්බුදයක් ලෝකය පුරා තිබෙනවා. මේ ප‍්‍රශ්නය බරපතළ වෙන්න වෙන්න සතුරා තව තවත් ක‍්‍රෑර වෙනවා. ඒකට මුහුණ දෙන්න අපි තව තවත් ශක්තිමත් වෙන්න ඕන.
රාජපක්ෂලාගේ ආණ්ඩුව කරන දේ හරි පැහැදිලියි. මේ ආණඩුව අධිරාජයගැති කියලා කාට හරි හිතාගන්න බැරි වුණානම් දැන පැහැදිලි උත්තරයක් තියෙනවා. 2005දී පටන් ගත්තේ එ.ජා.ප. රිගේනින් ශ‍්‍රී ලංකා වැඩපිළිවෙළත් එක්කයි. ආණ්ඩුවට 162ක් ඉන්නවා කියලා කයිවාරු ගහනවා. හොරුන්ට එකතු වෙලා ඉන්න පුළුවන්. රාජපක්ෂ පාලනයේ පළමු අදියර ඉවරයි. පළමු අදියර පටන් ගන්නේ IMF එකත් එක්ක ගිවිසුම් ගහලා. අධිරාජ්‍යවාදීන් සමග සහයෝගීතා ගිවිසුම් අත්සන් කරලා. දෙවැනි අදියරේදී අධිරාජ්‍යවාදී සහ ඔවුන්ගේ සංවිධාන එක්ව එකට හිටගෙන වැඩකරන ජනතාවට විරුද්ධව පීඩනය එල්ල කරමින් සිටිනවා. එ.ජා.ප. ඉන්න කාලයේ අයි.එම්.එෆ්. එකත් එක්ක සම්බන්ධකම් තියාගත්ත අමුණුගමට අදත් ඒ වැඩේම බාරදීලා. විදුලිය බිල වැඩිවෙලා තියෙන්නේ අයි.එම්.එෆ්. එකේ ප‍්‍රතිඵලයක් විදියටයි. මේ විදුලි බිල පරද්දන්න බැරිද. ඒක කරන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට විතරයි. විදුලිය බිල වැඩිකිරීමත් ආපස්සට ගන්න ඕනෑ. ගන්නේ නැත්නම් ලොකු අරගලයකට මුහුණ දෙන්න ඕනෑ. මේ අරගලය තියෙන්නේ අධිරාජ්‍යවාදයත් එක්කයි.
ලෝකය පුරාම කරමින් ඉන්නේ කප්පාදුවයි. එංගලන්තයට ගියත් එහෙමයි. විශ‍්‍රාම වැටුපත් කප්පාදු කරලා. දියුණු යුරෝපයේත් විශ‍්‍රාම වැටුප කපනවා, අධ්‍යාපනය කපන්නේ නැහැ. හැම තැනම කි‍්‍රයාත්මක වෙන්නේ අයි.එම්.එෆ්. ලෝක බැංකු වට්ටෝරුව. මේකෙන් ගැලවෙන්නෙ නැද්ද කියලා අපි තීරණය කරන්න ඕනෑ. එංගලන්තය, ඉන්දියාව, ලංකාව ඕක්කෝම එකතු වෙලා මේකට විරුද්ධව අරගල කරන්න ඕනෑ. මහජන අයිතිවාසිකම් කප්පාදුවට එරෙහිව නැගී සිටින්න ඕනෑ. අයිතිවාසිකම් කප්පාදු කරන අධිරාජ්‍යවාදය පරාජය කරන්න ඕනෑ. ධනපති ක‍්‍රමය පරාජය කරන්න ඕනෑ. ඒක යුද්ධය පටවලා ලෝකය පුරාම බූවල්ලෙක් වගේ වෙලාගෙන ඉන්නේ. හමුදා කුමන්ත‍්‍රණවලින් ලතින් ඇමරිකාවට ගැලවීමක් තිබුණේම නැහැ. මිනිස් ඝාතන දැන් එළියට එනවා. මෙහෙත් එහෙමයි. මාතලේ සමූහ මිනී වලේ ප‍්‍රශ්නය හරියට විසඳන්න ඕනෑ. හරියට යුක්තිය ඉටුවිය යුතුයි. හමුදා කුමන්ත‍්‍රණ මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදෙනවා කීව අධිරාජ්‍යවාදය දැන් ඉවරයි. දැන් ඉතිං ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන්න ලෝකේ වටේ යනවා. ඉරාකයට දුන්නා, ලිබියාවට දුන්නා. තවත් බොහෝ දැන්වලට යන්න සූදානමින් ඉන්නවා. ආසියාවටත් එනවා. අපි කියන්නේ ආසියාවට එන්න ඕනෑ නැහැ. එක්සත් ජනපදයේ අයිතිවාසිකම් මෙහෙට ඕනෑ නැහැ. 2020 වෙනකොට ආසියාවේ යුධ කඳවුරු 60%දක්වා වැඩි කරන්නට අධිරාජ්‍යවාදීන් සූදානම් වෙනවා. ඒකට ආසියාව ඉඩ දිය යුතු නැහැ. ඉන්දියාවේ ජනතාවත් එක්ක එකතුව ඇමරිකන් අධිරාජ්‍යවාදය නවත්වන්න ඕනෑ. ජ.වි.පෙ. ඒකට සූදානම්. 2014 දියාගෝ ගාර්සියාව ඉවර වෙනවා. ඒක නිසා දැන් මාලදිවයිනට එනවා. මාලදිවයිනේ යුධ කඳවුරක් පිහිටුවන්න එක්සත් ජනපදය සාකච්ඡා කරමින් ඉන්නවා. මේක ලොකු ප‍්‍රශ්නයක්. ජාත්‍යන්තර මුහදේ කටයුතුවලට බාධා කරන්න කාටවත් ඉඩ දෙන්න බැහැ. මේකට විරුද්ධව අපි විශාල ව්‍යාපාරයක් ඕනෑ.
ඇමරිකන් අධිරාජ්‍යවාදය මේ ලෝකයට ගෙනාපු කුණු කන්දල් ගොඩක් තියෙනවා. වියට්නාමයට ගියා. ඉරාකයට ගියා ලිබියාවට ගියා. මේ රටවල්වල ලක්ෂ ගණනක් මැරුවා. ඉරානයට, කොරියාවට දැන් තර්ජනය කරනවා. ඉරානයට, උතුරු කොරියාවට ජ.වි.පෙ. කෙන්දේසි විරහිතව සටන් කරනවා. එය අපේ ජාත්‍යන්තරවාදයයි.
ඇමරිකන් තානාපතිනිය අපේ වෙරළ ශුද්ධ කළේ විදුලිය බිල වැඩිකරපු දවසේ. විදුලි බිල වැඩිකර තිබියදී අපේ රටේ මාධ්‍ය පළ කළේ ඇමරිකානු තානාපතිනිය වෙරළේ කුණු එකතු කරන එකයි. ඒක මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නයක් නෙවෙයි. මේ මැයි දිනයේදී අපි ආරාධනා කරනවා මාධ්‍යවේදීන්ගේ සැබෑ වෘත්තීය සමිතියක් හදාගන්න කියලා. ඔබේ අයිතිවාසිකම් රැක ගන්න ඒක අවශ්‍යයි. අධිරාජ්‍යවාදීන්ගේ කොන්දේසි නිසා සියලුම දෙනාගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් ඉන්න අවස්ථාවක් මේක. දැන් ඉතිං අයිතිවාසිකම් කප්පාදුවට විරුද්ධව අරගල කරන අතරේම සදාකාලික අයිතිවාසිකම් දිනාගැනීම සඳහා අරගල කරන්න ඉඩතියෙනවා. සියලුම වැඩ කරන ජනතාවට, පීඩිත ජනතාවට එකතු වී අරගලයක් කළ යුතුව තියෙනවා. ඉල්ලීම් ඉල්ලන්න විතරක් නෙවෙයි. ඉල්ලීම් දිනාගන්න අරගල කළ යුතුව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලට අනුව ඊනියා කප්පාදු කිරීම්වලට එරෙහිව අරගල කරන්න තියෙනවා. ආර්ථික ප‍්‍රශ්න උග‍්‍රකරලා තියෙන්නේ. ජාතික සමගිය ගොඩ නගන්න වෙලා තියෙනවා. අධිරාජ්‍යවාදය පරාජය කර සමාජවාදය ජයග‍්‍රහණය කිරීම සඳහා මේ සියලු දෙනාගෙන් කැපවීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය ලබාදෙනවා.

ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් දක්වමින්...

 

මේ අභිමානවත් මැයි රැලියේදී ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය, ජීවය, මොකක්ද කියන එක මුළු ලෝකයටම පෙන්වමින් එක දිගට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නොතකා නොසෙල්වී සිටින ඔබ සියලු දෙනාටම අපේ ආචාරය පුදකරනවා. මේ තමයි ජනතා විමුක්ති පෙරමුණ. දෙහිවල එස්. ද එස්. ක‍්‍රීඩාංගණයෙන් පටන්ගෙන බී.ආර්.සී. පිටියට පැමිණි දැවැන්ත මැයි පෙළපාලිය සොබාදහමේ බාධක නොතකා අරමුණු වෙනුවෙන් කැපවීමට තරම් දැවැන්ත ශක්තියක් විනයක් තිබෙන බව ඔප්පු කර තිබෙනවා. අපේ පක්ෂයේ ගමන ආපසු හැරවීමට හැකි කිසිදු බලවේගයක් මේ මිහිපිට නැති බව මේකෙන් නැවත වතාවක් ඔප්පු කර තිබෙනවා.
පසුගිය කාලයේ සිදුවූ කිසියම් සිදුවීම්වලදී අපේ හතුරෝ ජනතා විමුක්ති පෙරමුණ දුර්වල වී ඇති බව කීවා. අපි ඒඅයට හැමදාමත් කිවුවේ, ඡන්දවලින් අපේ ශක්තිය මනින්න යන්න එපා කියලයි. රෝහණ විජේවීර සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කළේ  ඕනෑම දුෂ්කර තත්වයක් යටතේ විප්ලවවාදී අරමුණු වෙනුවෙන් ඕනෑම අභියෝගයක් පරාජය කිරීම සඳහායි. ඊට අවශ්‍ය ආදර්ශයන් රෝහණ විජේවීර සහෝදරයා ඇති තරම් දී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ බිඳවැටීම් ගැන හීන මවපු මහත්වරුන්ට අපි කියනවා, බී.ආර්.සී. පිටියට ඇවිත් බලන්න කියලා. ලංකාවේ සමාජවාදී සමාජයක් නිර්මාණය කරන එකම දේශපාලන ව්‍යාපාරයේ මැයි දින රැලිය අද බී.ආර්.සී. පිටියේදී පවත්වනවා.
දස දහස් ගණනින් ජනතා විමුක්ති පෙරමුණේ සටන්කාමිත්වය සමග අත්වැල් බැඳගන්නකොට ධනපති පංතිය නියෝජනය කරන කම්කරුවන්ට වෙඩි තියපු ධනපතීන්ව සමරන මහින්ද රාජපක්ෂ උන්නැහේත් මැයි දිනය සමරනවා. ඒ ගොල්ලෝ එතන කම්කරුවන්ට වෙඩි තියපු පාලකයෝ සමරනවා. දැන් එතන තත්වය වෙනස් වෙලා. රජගෙදර දෝලා කරගහපු සමහරු එතනින් වෙනස් වෙලා ගිහිල්ලා. සන්ධානයට තනි මැයි රැලියක් පවත්වන්න බැරිවෙලා. දෙදරලා ගිහිල්ලා. ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් වෙනකොට සන්ධාන දෙදරලා ගිහිල්ලා. ඒ අතර එක්සත් ජාතික පක්ෂය නැවතත් අනාථයි. එ.ජා.ප.යට කොළඹ නගරයේ පෙළපාලියක් කරලා මැයි රැලියක් පවත්වන්න බැරිවෙලා තියෙනවා. හතර අතේ බෙදිලා. කම්කරු පංතිය රැවැට්ටීමට එ.ජා.ප.යට බැරිවෙලා තියෙනවා. ඒක කම්කරුවාගේ ජයග‍්‍රහණයක්. පීඩිත පංතියේ ජයග‍්‍රහණයක්. කම්කරු පංතිය රවට්ටපු කාලය අවසාන බවයි ඒකෙන් පැහැදිලි වන්නේ. පීඩිත පංතියේ පක්ෂය වුණු ජනතා විමුක්ති පෙරමුණ අද මේ රටේ ජනතාවගේ ඇත්ත පක්ෂය වෙලා තියෙනවා. රෝහණ විජේවීර සහෝදරයා නිර්මාණය කළ පක්ෂය වටා පීඩිත පංතිය ඒකරාශී වෙමින් තියෙනවා. ඒ නිසා අපි මේ මැයි දිනය සමරන්නේ ජයග‍්‍රහණ ගොඩක් එක්ක. සටන් කරලා දිනන්න පුළුවන් කියලා ඔප්පු වෙමින් තිබෙනවා. පසුගියදා ලයිට් බිල වැඩිකිරීමත් එක්ක පාරට බැස්සේ ජනතා විමුක්ති පෙරමුණේ අපි. ගමක් නගරයක් ගානේ අපි සටන් ව්‍යාපාර ගෙනගියා. ඒ අතරේ වෘත්තීය සමිති ව්‍යාපාරය ඒකරාශී කර ලබන 20ට පෙර වැඩි කළ ලයිට් බිල අඩුකරන්න කියලා දැවැන්ත වැඩවර්ජනයකට සූදානම් වෙනවා. මහින්ද රාජපක්ෂ පාලනය අඩියකින් හරි පස්සට තල්ලු කරන්න පුළුවන් වෙන්නේ සටන්වලින් විතරයි. ඒ සටන කරන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට විතරයි. විදුලි ගාස්තුවේ කිසියම් ප‍්‍රමාණයක් හරි අඩු කරන්න මහින්ද රාජපක්ෂට සිදුවෙලා තියෙනවා. හැබැයි අපි එකක් කියනවා විදුලි බිල අඩු කරනවා කියලා වංචා කරන්න බැහැ. බොරු කරන්න බැහැ. කරනවානම් හරියට කරමු. නැත්තන් අපි වැඩේ නවත්වන්නේ නැහැ. මැයි දිනයේදී කිසියම් ප‍්‍රමාණයකින් හරි ලයිට් බිල අඩු කරනවා කියන්නේ මහින්ද රාජපක්ෂගේ අනුකම්පාවකට නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ සටන් ක‍්‍රියාමාර්ග නිසයි. දැන් පල්ලම් බහින්න පටන් ගෙන තිබෙනවා.
සමහරු හිතනවා මහින්ද පරාජය කරන්න බැහැ කියලා. ඡන්ද තියන්නේ ඒ ගොල්ලන්ට දිනන්න පුළුවන් විදියටයි. අපිට ඒවා ප‍්‍රශ්නයක් නැහැ. ඒකාධිපති පාලකයන්ට සිංහාසනවලින් බැහැලා යන්න සිද්ද වුණේ ජනතා සටන් නිසයි. ඒක අමතක කරන්න එපා කියලා මහින්ද රාජපක්ෂට කියනවා. ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කරන්නේ හොර ඡන්ද ගැන නෙවෙයි. අරගල කරන ජනතාව පිළිබඳවයි. සටන් කරන ජනතාව පිළිබඳව අපි අපේ පංතිය ගැන විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක තමයි අපි අපේ ගමන යායුතුව තිබෙන්නේ.

අද ලෝක පරිමාණයෙන් ගත්තාම ධනවාදය දැවැන්ත අර්බුදයකට ගිහිල්ලා. ධනවාදයේ මුදුන් මල්කඩ වෙලා තිබුණු රටවල් මහා දැවැන්ත අර්බුදවලට ගිහිල්ලා. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය බිඳ වැටිලා. කම්කරුවා තමන්ගේ අයිතීන් දිනාගත්ත දිනය සමරනවිට යුරෝපයේ විශාල ප‍්‍රමාණයකට රැකියා අහිමි වෙලා. 2008 සැප්තැම්බර් මාසයේ ඇති වෙච්ච ධනවාදයේ කඩා වැටීම අවුරුදු 05ක් ගත වෙනකොටත් බේරාගන්න බැරි වෙලා තිබෙනවා. ලෝක පරිමාණයෙන් ඒක ඔප්පු කරන කොට ලංකාවේ මහින්ද රාජපක්ෂලා මැදමුලන චින්තනයට අනුව මේක ගෙනියන්න උත්සාහ කරනවා. අපේ රටේ ආර්ථිකයක් නැහැ. සියල්ල විනාශ කරලා. නිෂ්පාදන නැහැ. කර්මාන්ත විනාශ කරලා. ධීවර කර්මාන්තය විනාශ කරලා. මේ සියල්ල විනාශ කරලා සංචාරක කර්මාන්තය මුල් කරගත්ත විනෝද ආර්ථිකයක් හදමින් ඉන්නවා. ලංකාවේ කර්මාන්ත ශාලා විවෘත කරන්නේ නැහැ. හැබැයි දැවැන්ත කැසිනෝ ශාලා ඉදි කරනවා. ලංකාවට හොඳ දේවල් ගෙන්නේ නැහැ. හැබැයි ඇඟ විකුණන කාන්තාවො ගේනවා. මහින්ද රාජපක්ෂලා අමුතු ආර්ථිකයක් හදනවා. සූදුව, සුරාව, ගණිකාව මුල්කරගත් ආර්ථිකයක් හදනවා. දැන් මහින්ද මහත්තයා ආසියාවේ ආශ්චර්ය කියලා කොළඹ නගරය ආසියාවේ ගණිකා මඩම බවට පත්කරමින් ඉන්නවා. සූදුව ගේන්නේ ඒකට. පිට රටවලින් ඇඟ විකුණන කාන්තාවෝ ගේන්නේ ඒකට. කාර් රේස් තියන්නේ ඒකට. එක පැත්තකින් ණය ගොඩ ගහලා දැවැන්ත ණය කන්දක් ගොඩ ගහලා. අනෙක් පැත්තෙන් ණය, දඩ, බදු මහජනතාව මත පටවලා තියෙනවා. මේක පරද්දන්න ඕනෑ. ඒක එ.ජා.ප.යට කරන්න බැහැ. මේ ආර්ථිකයේ පියවරු ඒගොල්ලෝ. ඔය පොඩි පොඩි කල්ලි කණ්ඩායම්වලට ඒක කරන්න බැහැ. ඒක කරන්න වෙන්නේ සමාජවාදය ඇතුලේ. ලංකාවට සමාජවාදය ගේන්න තියෙන්නේ ජ.විපෙ. විතරයි. ඒක ජයග‍්‍රහණය කරන්න ඕනෑ. නැත්නම් මහින්ද රාජපක්ෂ මේ රට හප කරනවා.
මහින්ද බලයට එනකොට කීවේ මම මේ රටේ භාරකරුවා මිස අයිතිකරුවා නෙවේ කියලා. දැන් රාජපක්ෂ ඔප්පු කරමින් ඉන්නේ ලංකාව කියන්නේ මැදමුලනට අයත් වත්තක් කියලයි. ඒ නිසා ලංකාවේ වටිනා ඉඩම් ටික විකුණනවා. ජාවාරම්කරුවන්ට කොල්ලකන්න ඉඩ දීලා තියෙනවා. කොළඹ නරගයේ තියෙන වටිනාම ඉඩම ලෝකයේ පළවෙනි සූදුකාරයාට දීලා. ඒ අතරේ උතුරේ ජනතාවගේ ඉඩම් අක්කර දහස් ගණනින් කොල්ලකනවා. යුද්ධය ඉවර වෙලා අවුරුදු 04ක් ඇතුළත ජාතික සමගිය ගොඩ නගනවා වෙනුවට යුද්ධයෙන් දුකට පත්වුණු උතුරු නැගෙනහිර ජනතාවගේ අත්‍යාවශ්‍ය ප‍්‍රශ්නවලට උත්තර හොයනවා වෙනුවට ආරක්ෂාවේ පිට දාලා ඉඩම් ටික කොල්ලකමින් ඉන්නවා. මේක ඒකාධිපති පන්නයේ ආණ්ඩුවක්. ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ආණ්ඩුවක්. මේක පවුල්වාදී ආණ්ඩුවක්. අධිරාජ්‍ය ගැති ආණ්ඩුවක්. ඒක නිසා මේ ආණ්ඩුවට අපේ රටේ කිසිදු ජන කොටසකගේ ප‍්‍රශ්නයක් විසඳන්න බැහැ.
අද ප‍්‍රශ්න ගොඩක් මැද්දේ ජනතාව ජීවත් වෙන්නේ. ආර්ථිකය විනාශ කරලා. අනෙක් පැත්තෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරමින් යනවා. ඒක බරපතළ තත්වයක්. මේ ආණ්ඩුව පහුගිය කාලේ අධිකරණයට අත තිබ්බා. ධනේශ්වර පංතියේ සදාචාරයත් පැත්තකට දාලා අධිකරණය තමන්ගේ සාක්කුවට දාගත්තා. තමන්ගේ යාලුවන් ඒ ඒ තැන්වලට පත්කරමින් ඉන්නවා. තමන්ගේ යාලුවන්ගේ නඩු අයින් කරලා විරුද්ධවාදීන් අධිකරණයට කැඳවමින් ඉන්නවා. නඩුත් රාජපක්ෂලාගේ. අධිකරණයත් රාජපක්ෂලාගේ. කහවත්තේ අතිශයින් බිහිසුණු ඝාතනවලට සම්බන්ධ වුණු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා නීතිපති මැදිහත් වෙලා ගෙදර යැව්වා. නඩුවක් අහලා සාක්ෂි ඔප්පු කරගන්න බැරුව කෙනෙකු නිදහස් වීම ගැන අපේ විරෝධයක් නැහැ. මේ නීතිය සර්ව සාධාරණ නැති වුණත් කි‍්‍රයාපටිපාටියට අනුව නඩුවක් ඔප්පු කර ගන්න බැරිව කෙනෙක් නිදහස් වෙන එක දැනට ප‍්‍රශ්නයක් නැහැ. නීතිපති මැදිහත් වෙලා නඩු පවරන්නේ නැතිව ගෙදර යවන එක බරපතළ ප‍්‍රශ්නයක්. කොටකෙතන චූදිතයන් වගේම හමුදා ලොක්කෙකුට ගහලා ඔළුව පැලුව මර්වින් සිල්වගේ පුතාත් නිදහස් කළා. විදේශීය පුද්ගලයෙක් ඝාතනය කළ තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නිදහස් කර තියෙනවා.
මීට අමතරව ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ල කරලා තියෙන තර්ජනය බරපතළයි. මාධ්‍යවේදීන්ට කටයුතු කරන්න සිද්ද වෙලා තියෙන්නේ අතිශය අමාරු තත්වයකයි. එක්කෝ මහින්ද රාජපක්ෂට කඩේ යන්න ඕනෑ. නැත්නම් මැරුම් කන්න ඕනෑ. එක්කෝ ලැප්ටොප් එකට විකිණෙන්න ඕනෑ. නැත්නම් ගුටි කන්න ඕනෑ කියන පණිවිඩයයි ආණ්ඩුව දෙමින් ඉන්නේ. ලසන්ත ඝාතනය කළේ කවුද කියලා අදටත් දන්නේ නැහැ. සිරසට මහදවල් පහරදුන්නා. මැරවරයෝ අඳුනා ගත්තා. තාමත් මොකද වුණේ කියලා දන්නේ නැහැ. සියතට ගිනිතිබ්බා. මාධ්‍යවේදීන් ගණනාවකට පහර දුන්නා. ළඟදී යාපනයේ උදයන් පුවත්පත් කාර්යාලයට ගැහුව්වා. ඊට පස්සේ ඒකට ගිනි තිබ්බා. ඒ ප‍්‍රවෘත්තිය වාර්තා කළා කියලා සිරසට තර්ජනය කළා. මාධ්‍යවේදීන් අතුරුදහන් කරලා තියෙනවා. අද ආණ්ඩුව ජනමතය පාලනය කරන්න යන්නේ තමන්ගේ මාධ්‍ය තියාගෙන තමන්ගේ නොවන මාධ්‍යට තර්ජනය කරලා. මාධ්‍යවේදීන් බියට පත්කරලා. මේක තමයි හැම ධනපති ඒකාධිපතියෙකුගේම ගමන. රාජ්‍ය බලය පාවිච්චි කරලා තමන්ට හැමදාම බලයේ ඉන්න පුළුවන් කියලා හිතපු පාලකයින්ගේ ගමන අවසන් වුණේ කොහොමද කියලා රාජපක්ෂ හොයලා බැලුවොත් හොඳයි.
රාජපක්ෂ අපිට සංදර්ශන  ඕන තරම් පෙන්වයි. ලස්සන කතා කියයි. එයා වටේ ඉන්න අයත් ඒ ටිකම කරනවා. හැබැයි මේ මහ පොළවේ ඇත්තක් තියෙනවා. ජනමතය මේ පාලනයට විරුද්ධව නැගී සිටින කොට විපක්ෂයේ නායකයන් සාක්කුවේ දාගන්නවා. ඊට අමතරව වෙන වෙන කල්ලි කණ්ඩායම් හදලා පෝෂණය කරනවා. පොලිසියට කදුළු ගෑස් රබර් උණ්ඩ බෙදනවා. කැරලි මර්දන හමුදා හදනවා. රටක් සංවර්ධනය කරනවානම් මේවායෙන් වැඩක් නැහැ. මේ ලෑස්ති වෙන්නේ පීඩාවට පත් ජනතාව අයිතීන් ඉල්ලා නැගී සිටින කොට කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කරන්නයි. මහින්ද රාජපක්ෂ මහත්තයා විශ්වාස කරන්නේ, රාජ්‍ය බලය ගැනනම් අපි කියනවා අපි විශ්වාස කරන්නේ ජනතා බලය පිළිබඳවයි. රාජ්‍ය බලය, මුදල් බලය, මැර බලය කියන හැම බලයකටම වඩා වටිනා බලය තමයි ජන බලය. ජනතා විමුක්ති පෙරමුණ ජනබලය ගැන විශ්වාස කරන පක්ෂයක්. අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට කියන්නේ ඔයා ඔයාට ඕන ජාති ගොඩ ගහගන්න. අපි දිනපතාම ජනතාව ඒකරාශී කරනවා. ජනතාව ඒකරාශී කරමින් අපේ රටේ දැවැන්තම අධිරාජ්‍ය විරෝධී ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී දැවැන්තම ජනතා මධ්‍යස්ථානය හදනවා. ඒ වටා ජනතාව ඒකරාශී කරනවා. අපි කියනවා හැප්පිලා බලමු කියලා. ජනතා බලය සමග සටන් කරලා දිනපු කවුරුත් මේ ලෝකේ නැහැ. ටියුනීසියාවේ බෙන් අලී බලය පිළිබඳව විශ්වාස කළා. ජනතාව මර්දනය කරන්න උත්සාහ කළා. ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කළා. එක අවියක්වත් නැතිව පාරට බැහැලා උද්ඝෝෂණය කළ ජනතාව හමුවේ බෙන් අලිට පලායන්න සිදුවුණා.
අපි කියනවා රාජපක්ෂ මහත්තයාට බෙන් අලි ගිය පාරේ තමයි යන්න වෙන්නේ කියලා. හොස්නි මුබාරක් ඡන්ද පැවැත්වුවා. 80% ගණන්වලින් දිනු බව කීවා. ජනතාව පාරට බැහැලා සතියයි ගියේ හොස්නි මුබාරක් දැන් ඉන්නේ හිර ගෙදර. මේවා අමතක කරන්න එපා. කියුබාවේ බැටිස්ටා, නිකරගුවාවේ සෝමෝසා, උගන්ඩාවේ ඉඩි අමීන්, පිලිපීනයේ මාකෝස් ගියෙත් ඒ පාරේ. ඉරානයේ ෂා ගියෙත් ඒ පාරේ. මේ ඉතිහාසය අමතක කරන්න එපා කියලා රාජපක්ෂට අපි කියනවා. ලංකාවේ කවුරුන් හෝ පාලකයෙක් ජනතා විරෝධී ඒකාධිපති පාලනයක් ගොඩ නගනවානම් ඒ ආණ්ඩුව පෙරළන්න ඕනෑ. ඒ සඳහා අවශ්‍ය ජනතා බලය අපි නිර්මාණය කරන්නම්. ඒක කරද්දී රාජපක්ෂලා කලබල වෙලා නොයෙක් දේවල් කරන්න පුළුවන්. මේ රටේ පීඩිත ජනතාවගේ පක්ෂය වැඩ කරන ජනතාවගේ පක්ෂය සැබෑ කලාකරුවන්ගේත් මාධ්‍යවේදීන්ගේත් පීඩාවට පත්වුණු හැම ජනකොටසකගේමත් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. අපේ පක්ෂය නිර්මාණය කරන මහා ජනබලය අපි ගොඩ නගමින් ඉන්නවා. එතකන් සංදර්ශන පවත්වන්න. හැලියේ දිය රත්වෙනකන් කකුළුවා දිය කෙළිනවා වගේ සංදර්ශන පවත්වන්න. හැබැයි දැන් ජනතාව රත්වෙමින් ඉන්නේ. ඒ ජනතාව ඒකරාශී කරලා අපි මේ සමාජ ක‍්‍රමය වෙනස් කරනවා.
අපි ඉස්සරහා තියෙන්නේ දැවැන්ත අභියෝගයක්. මේ දුෂ්ට ධනපති ක‍්‍රමය පරද්දන්න ඕනෑ. මේ ක‍්‍රමය රකින අධිරාජ්‍යවාදය පරද්දන්න ඕනෑ. මේ දෙකම එකට තියලා පරද්දන්න ඕනෑ. රාජපක්ෂ මහත්තයා අධිරාජ්‍ය විරෝධී කියලා පෙන්නන් උත්සාහ කළා. දේශපේ‍්‍රමී කියලා පෙන්නන්න උත්සාහ කළා. හැබැයි අර්බුදය විසින් රාජපක්ෂට බල කරලා තියෙනවා තමන්ගේ ඇත්ත මුහුණ පෙන්වන්න. ඒ නිසා ධනවාදයේ අමු නිරුවතින් හැසිරෙන්න රාජපක්ෂට සිදුවෙලා. කලින් හංගලා කරපුවා දැන් එළිපිට කරනවා. පහුගිය දවසක අමුණුගම කීවා නිෂ්පාදනයෙන් විතරක් රටක් ගොඩ නගන්න බැහැ කියලා. ඇමරිකාවේ ලාස් වේගාස් දියුණු වුණේ කැසිනෝවලින් කියලා. ඒ වගේ ලංකාව දියුණු කරන්න ඕනෑ කියලා අමුණුගම කිව්වා. මේක කෙලින් කියපු එක ගැන අමුණුගමට ස්තූති කරන්න ඕනෑ. රාජපක්ෂ හදන්නේ කොළඹ නගරය ඇමෙරිකාවේ ලාස් වේගාස් වගේ කරන්න. ජාවාරම්කාරයින්ට, මත්ද්‍රව්‍යකාරයන්ට ගණිකා මඩම් පවත්වාගෙන යන අයට මාෆියා කල්ලාවල ග‍්‍රහණයට නතු වුණු සංස්කෘතියක් තමයි මේ හදන්න යන්නේ. දැන් එළිපිට නටන්න වෙලා තියෙන්නේ එහෙම. ඒ නිසා ජනතාවට තේරුම් ගන්න පහසුයි. ඒ නිසා අපි ජනතාවට කියන්නේ මහින්ද රාජපක්ෂ විතරක් නෙවෙයි මේ දුෂ්ට ධනපති ක‍්‍රමයම පරද්දන්න ඕනෑ කියලා.
සුද්දා ලංකාව දාලා ගිහිල්ලා අවු. 65ක් වෙනවා. සුද්දා යනකොට ලංකාව ණය වෙලා තිබුණේ නැහැ. හැබැයි දැන් වෙනකොට එක පුරවැසියා තුන්ලක්ෂ තිස්දහසක ණයකාරයෙක් කරලා. සුද්දා ලංකවෙන් යද්දී අපට යුද්ධයක් තිබුණේ නැහැ. හැබැයි ධනපති පාලකයෝ අපේ රටට තිස් අවුරුදු යුද්ධයක් ගෙනාවා. දැන් ආපහු සැරයක් ජාතිවාදයත් ආගම්වාදයත් අවුස්සන්න පටන්ගෙන තිබෙනවා. මුස්ලිම් ජනයාට එරෙහිව සිංහල බෞද්ධයා කුපිත කිරීමේ ව්‍යාපාර පටන් අරගෙන. අපි ජනතාවට කියන්නේ ධනපති පංතියේ වුවමනාවට ජනතාව බේද කරන එකට අහුවෙන්න එපා කියලයි. මේ රටේ පීඩිත ජනතාව 99%ක් ඉන්නවා. ධනපති පාලක පංතිය 1%යි ඉන්නේ. මේ කුඩා පිරිස අපිව පාලනය කරන්නේ බෙදා වෙන්කරලයි. ඒ නිසා අපි කියන්නේ ජාති වශයෙන් බෙදෙන්න එපා ආගමිකව බෙදෙන්න එපා. පක්ෂ පාට අනුව බෙදෙන්න එපා. කුලමලවලින් බෙදෙන්න එපා. බෙදෙන්න තියෙන්නේ එක රේඛාවයි. ඒ රේඛාව තමයි ධනපති පංතිය, නිර්ධන පංතිය වෙන්කරන රේඛාව. අපට 99%යි. උන්ට 1%යි අපි 99% එකතු කරමු. සිංහල දෙමළ මුස්ලිම්, බර්ගර් මැලේ, අපේ පංතියේ ඔක්කොම එකට එකතු කරමු. බෞද්ධ, හින්දු, කි‍්‍රස්තියානි, ඉස්ලාම්, කතෝලික හැම දෙනාම එකට එකතු කරමු. මේ ඔක්කොම අපේ පංතියේ මිනිස්සු. බෙදෙන්න එපා. බෙදෙන්න දෙන්න බැහැ. හැමදෙනාම එකට එකතු විය යුතුයි. ඒකට බාදා කරන හතුරන්ගේ උපක‍්‍රමවලට අහු වෙන්න එපා. ජාති ආගම් අතර නැවත ගැටුම් අවුළවලා මේක බේද බින්න කරලා ඡන්ද දිනන්න හිතාගෙන ඉන්නවානම් අපි රාජපක්ෂට කියන්නේ  ඕක වැරදි ක‍්‍රීඩාවක් කියලයි. අපි අනතුරු අඟවනවා ඕක භයානක ක‍්‍රීඩාවක් කියලා. ජාතිවාදය වපුරලා ඇතිකළ තිස් අවුරුදු යුද්ධයකට මේ රටේ ජනතාව මුහුණ දුන්නා. ජනතා විමුක්ති පෙරමුණත් මේ රටේ දේශපේ‍්‍රමී ජනතාවත් කළ දැවැන්ත කැපකිරීම් නිසයි යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණේ. නැවත එම තත්වයන් ඇති කරන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා.
නිදහසින් පස්සේ ධනවාදය ගෙනගිය අවුරුදු 65 තුළ ගිය පාර වෙනස් කරලා නව සමාජ පරිවර්තනයකට මේ රට ගේන්න ඕනෑ. ඒ වෙනුවෙන් තමයි පංතිය එකතු කරන්න ඕනෑ. කම්කරු සටන් කරන්න ඕනෑ. එතනින් නතර නොවී නව සමාජයක් බිහි කිරීමේ සටන දැන් සිට පටන් ගන්න ඕනෑ. ගොවි ජනයා තමන්ගේ සටන් අයිතීන් වෙනුවෙන් සටන් කරන්න ඕනෑ. එතනින් නතර වෙන්න බැහැ. කම්කරු පංතිය සමග අත්වැල් බැඳගෙන සමාජවාදී නව සමාජයක් බිහි කිරීම වෙනුවෙන් සටන පටන් ගන්න ඕනෑ. ධීවර ජනයාත් ඒ සටනට එකතු වෙන්න ඕනෑ. අපේ තරුණ පරපුර කාන්තාවන්, මාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, උගතුන් බුද්ධිමතුන් හැමෝම මේ සටනට ඒකාබද්ධ වෙන්න ඕනෑ. මේ හැමෝම පෙළන පීඩාවට පත්කරන ප‍්‍රශ්නවල මුල තියෙන්නේ ධනවාදී සමාජය තුළ. ඒ නිසා ධනවාදය වෙනුවට සමාජවාදී සමාජයක් බිහි කරන බලවේග සමග අත්වැල් බැඳගන්න කියලා අපි ආරාධනා කරනවා. සමාජවාදී සමාජයක් බිහි කිරීම පුංචි පුංචි කල්ලි කණ්ඩායම්වලට කරන්න බැහැ. දේශපාලනය කැළඹෙන කොට බොර දියේ මාළු බාන අය එකගොඩකට එකතු වෙනවා. දේශපාලන අනාථයින් එක ගොඩකට එකතු වෙනවා. ඒ අනාථයින් එකතුවීම ගැන කලබල වෙන්න  ඕන නැහැ. මේ සමාජය වෙනස් කරන්න පංති සටනේ සැබෑ අත්දැකීම් තියෙන එකම දේශපාලන ව්‍යාපාරයයි තියෙන්නේ. ඒ ව්‍යාපාරය රෝහණ විජේවීර සහෝදරයා බිහිකළ ජනතා විමුක්ති පෙරමුණ විතරයි.
ජනතා විමුක්ති පෙරමුණ මේ රට වෙනුවෙන් කළ දේවල් විශාලයි. අපි 1965 පටන් ගත්තා. යන්තම් අවුරුදු 06ක් යද්දී ධනේශ්වර මර්දනයට මුහුණ දෙන්න සිදුවුණා. ළදරු පක්ෂයක් ලෙස වුණත් ජ.වි.පෙ. ධනපතීන් හමුවේ දණින් වැටුණේ නැහැ. පරාජය වුණේ නැහැ. අපේ පංතියේ ගෞරවය රැක්කා. දණින් වැටී ජීවත් වනවාට වඩා දෙපයින් සිට මිය යෑම වටිනවා කියන පණිවිඩය දුන්නා. ඒ ගෞරවය සහ අධිෂ්ඨානය තමයි අදත් තියෙන්නේ. චිකාගෝ කම්කරුවන් කළ අරගලය අපි සමරන්නෙත් ඒ ගෞරවය නිසයි. අපිට විවිධ දුෂ්කරතා ආවා. කල්ලි කණ්ඩායම් හැදුනා. ඒවාට අපි මුහුණ දුන්නා. 1983 අපේ පක්ෂය තහනම් කළා. ධනපති මර්දනය අපි ගණන් ගත්තේ නැහැ. ධනපති පංතියේ තහනම නොසලකා පංතියේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න අපි තීරණය කළා. එ.ජා.ප.ය 1987 ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කරලා ලංකාව ඉන්දියාවට පාවා දුන්නා. විදේශ ආක‍්‍රමණයක් සිදුවුණා. විදේශ ආක‍්‍රමණයකට විරුද්ධව සටන් කිරීමට පාරට බැස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් සටන් කරපු දේශපේ‍්‍රමී ජනතාවයි. ඒ දේශපේ‍්‍රමී ජනතාවගේ අරගලය නිසා තමයි, ඉන්දියානු හමුදාව ආපසු යවන්න මේ රටේ පාලකයින්ට සිදුවුණේ. 2002දිත් එ.ජ.ප.ය සටන් විරාම ගිවිසුම අත්සන් කරලා රට බෙදන්න ගිය වෙලාවෙත් රට බෙදන එක වළක්වලා සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස එකට ඉන්න පුළුවන් පසුබිමක් හැදුවේ ජනතා විමුක්ති පෙරමුණයි. අපට දේශපාලන වශයෙන් කොතරම් පාඩු සිදුවුණත් අපි ඒ යුතුකම ඉටුකළා. යාපනයේ සහෝදරවරුන්ටත්, මඩකලපුවේ සහෝදරවරුන්ටත් රතු කොඩිය අරගෙන ඇවිල්ලා අපේ පෙළපාලියේ යන්න පුළුවන් වුණේ රට කඩන්නැතුව බේරාගත් නිසයි. එතනට දේශපාලනයේ පාර කැපුවේ ජ.වි.පෙ.යි. ඒ හපන්කම කළේ අපියි. මේ රට වෙනුවෙන් අපි කළ විශාල වැඩකොටසක් තියෙනවා. ඒවයෙන් ලැබුණ ජයග‍්‍රහණ විශාලයි. අපිට පාඩුත් සිදුවුණා. ඒ හැමදේම අත්දැකීම් ලෙස එකතු කරගන්නවා.
මේ මාසේ 14 වෙනිදාට ජ.වි.පෙ.ට අවුරැදු 48ක් ලබනවා. අපේ රටේ පංති සටන් ඉතිහාසයේ අවුරුදු 48ක සජීවි අත්දැකීම් තියෙන දේශපාලන ව්‍යාපාරයක්. අපි සන්නද්ධ අරගල දෙකක අත්දැකීම් තිබෙන දේශපාලන පක්ෂයක්. ආණ්ඩු හදපු පක්ෂයක්. ඒ ආණ්ඩුවල ඇමතිකම් දරපු පක්ෂයක්. ධනපති ආණ්ඩු ඇතුලේ ඇමතිකන් දරන්නේ කොහොමද කියලා උගන්වපු පක්ෂයක් අපි. ඇමතිකම්වලට වඩා රට වටිනවා කියලා ඔප්පු කළ පක්ෂයක් අපි. ජ.වි.පෙ. කියන්නේ හැමදාමත් ජනතා සටනේ හිටපු පක්ෂයක්. අදත් අපේ රටේ ජනතාවට කිසියම් හෝ විපතක් සිදුවුණොත් මුලින්ම පාරට බහින්නේ ජ.වි.පෙ. ජනතාවට විපතක් වෙන හැම වෙලාවෙම ජනතාව හොයන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගැනයි. ජනතාවගේ නෑයා, ජනතා විමුක්ති පෙරමුණයි. ජනතාව වෙනුවෙන් සටන් කරන විශ්වාසම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණයි. ඒ විශ්වාසය අපේ රටේ ජනතාවගේ හදවත් තුළ තියෙනවා. ජයග‍්‍රහණය කරා යන්න ඒ විශ්වාසයම ඇති. මහින්ද රාජපක්ෂලා ඕන සෙල්ලමක් දාපුවාවේ. ජනතාවගේ විශ්වාසය ජ.වි.පෙ. කඩ කර නැහැ. දහස් ගණන් ජීවිත පූජා කර අපි ඒ විශ්වාසය රැක තියෙනවා. ඒ ජ.වි.පෙ. පරද්දන්න කිසිකෙනෙකුට පුළුවන් කමක් නැහැ.
පහුගිය කාලේ කුලප්පු වෙලා ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්න උත්සාහ කරන්න හදපු ළදරු වලිප්පුකාරයෝ නන්නත්තාර වෙලා. ජ.වි.පෙ. එදාට වඩා ශක්තිමත් වෙලා. අනාගතය පිළිබඳව අපි කවුරුවත් බිය විය යුතු නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් හෙට දවසේ සටන් කරන ජනතාවගේ අනාගතය සුභයි. මේ රටේ ජනතාවගේ අරගලයට ඉදිරියෙන් සිට නායකත්වය දෙන්නේ ජ.වි.පෙ.යි. අපි ඒ නායකත්වය නිවැරදිම ආකාරයට ඉෂ්ට කරනවා. මේ රටේ ජනතාවගේ ජයග‍්‍රහණය ස්ථිරයි. ගියවර මැයි දිනයේ නොහිටපු ධීවර සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාව තෝරාගෙන තියෙනවා තමන්ගේ පණිවිඩය කියන්න තියෙන හොඳම වේදිකාව විදිහට. ජ.වි.පෙ.න් තොරව මේ රටේ සටන් නැහැ. ජනතා විමුක්ති පෙරමුණෙන් තොරව මේ රටේ යුක්තිය නැහැ. ජ.වි.පෙ.න් තොරව මේ රටට නිදහසක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණෙන් තොරව මේ රටට අනාගතයක් නැහැ. ජ.වි.පෙ.න් තොරව මේ රටට සමාජවාදයක් නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් වූ සටන අපට තිබෙනවා. අපි ඒ ජනතා සටන ජයග‍්‍රහණය කරා ගෙන යනවා.
ඉන්දියාවෙන් පැමිණ සිටින දේවරාජන් සහෝදරයාත් ජනතා විමුක්ති පෙරමුණේ මේ මහා විනය ගැන, ශක්තිය ගැන ආචාරය පුදකරන බව කීවා. ඒ විශ්වාසයෙන් අපි ඉදිරියට යමු. සටනින් තොර ජයග‍්‍රහණයක් නැහැ. රෝහණ විජේවීර සහෝදරයා මේ වගේ අවස්ථාවල කියූ කවියකින් මම මගේ කතාව අවසන් කරනවා. අපේ රටේ පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට හිතේ නිදහසක් නැහැ. හැම අතින්ම පීඩාවට පත්වෙලා ඉන්නේ. මේ සියලු දෙනාම එකතුව නැගී සිටින්න ඕනෑ. මේ කවිය ඒ ගැනයි.

කුසට සාගිනි හදට සෝ ගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා

සතුට සැනසුම අහිමිකරලූ සතුරා දිනු               කාලය ගිහිල්ලා

නොසිට මැරි මැරි සතුරු පා යට වකුටුවී           අතපය හකුල්ලා

නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා !!!





 

No comments:

Post a Comment