Sunday 26 May 2013

උතුරු හා නැගෙනහිරට ඇමෙරිකාව අත‍පොවයි

ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට නිසි ලෙස කරුණු නොදන්වා උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙරට ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ව්‍යාපෘති දියත් කරන බව  තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කර සිටී. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ‘ඇමෙරිකන් කෝනර්’ නම් තොරතුරු මධ්‍යස්ථානය පිහිටුවීම සම්බන්ධව ‘’  කරුණු දක්වමින් චම්පික රණවක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙම තොරතුරු මධ්‍යස්ථානය පිහිටුවීම පිළිබඳ කිසිදු තොරතුරක් ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයට හෝ ආරක්ෂක අමාත්‍යංශයට දී නොමැති බවත් ඒ අනුව ඇමෙරිකානු තානාපතිවරිය වියානා සම්මුතියට පටහැනිව කටයුතු කර ඇති බවත් චම්පික රණවක මහතා මෙහිදී පැවැසීය.
මෙම මධ්‍යස්ථාන හරහා වන ක්‍රියාදාමයන් පිළිබඳ නිසි ලෙස රජය දැනුම්වත් කරලීමට ඇමෙරිකානු තානාපති කාර්යාලය වහා පියවර ගත යුතු බවත් මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා රජය දැනුම්වත් කරලීමට ඇමරිකාවේ වගකීමක් වන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මෙම තොරතුරු මධ්‍යස්ථාන හරහා වන ක්‍රියාවලීන් පිළිබඳ අප කිසිවකු දැනුම්වත් නෑ. මේවා හරහා මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකිය. ඇමෙරිකානු තානාපති කාර්යාලය, මේ ව්‍යාපෘතිය සම්බන්ධව ත්‍රිකුණාමල නගර සභාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මධ්‍යම රජයට නොදන්වා පළාත් පාලන ආයතන සමග එක්ව මෙවැනි ව්‍යාපෘති දියත් කරලීමට ඇමෙරිකාවට බෑ. එය පිළිගත් ජාත්‍යන්තර සම්මුතීන්ට හා නීති පද්ධතීන්ට සපුරා පටහැනියි.
‘ඇමරිකන් කෝනර්’ නම් මෙම මධ්‍යස්ථාන හරහා කෙරෙන්නේ පාසල් සිසු සිසුවියන් ප්‍රමුඛ ජනතාවට අවශ්‍ය වන වැදගත් තොරතුරු දීම වන බවත් ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයකු මේ පිළිබඳ කළ විමසීමකදී පැවැසීය.
මෙම තොරතුරු මධ්‍යස්ථාන නුවර හා යාපනය ප්‍රදේශවලද මීට පෙර පිහිටුවා ඇති බවත් ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
නුවර හා යාපනය ප්‍රදේශවල මෙම මධ්‍යස්ථාන පිහිටුවන අවස්ථාවේදීද විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ අවසරයක් නොගත් බවත් ඒ අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ඉදිකෙරෙන මධ්‍යස්ථානය සම්බන්ධයෙන්ද විශේෂ අවසරයක් නොගත් බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත..

No comments:

Post a Comment