Thursday 23 May 2013

unions.lk වෙබ් අඩවිය '21 භීතියට' හසුවේ

සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය මගින් පවත්වාගෙන ගිය unions.lk වෙබ් අඩවිය පසුගිය 21 වෙනිදා සිට අකර්මණ්‍ය කොට තිබේ. එම සම්මේලනය පවසන්නේ කිසියම් පිරිසක් විසින් වෙබ් අඩවියේ දත්ත ගබඩාවට ඇතුල්වී දත්ත මකා දමා ඇති බවය.
ඒ සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතාගේ අත්සනින් නිකුත් නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් පවත්වාගෙන යනු ලැබූ සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා තුනෙන්ම පල කරන ලද ශ‍්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය වන www.unions.lk මේ වන විට අකර්මණ්‍ය කර තිබේ. රාජ්‍ය, පෞද්ගලික, වතු ක්‍ෂෙත‍්‍රයන් නියෝජනය කරමින් වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ පැවති එදිනෙදා සිදුවීම්, අරගල, මර්දනයන් මේ සියලු පුවත් පළකරමින් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලැබිණි.

පසුගිය දිනවල වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් වැඩිකළ විදුලි බිල අහෝසි කරන ලෙස ඉල්ලමින් ගෙන ගිය අරගලයේ සිදුවීම් දාමය මුල සිටම මෙම වෙබ් අඩවියේ පළ කරනු ලැබිණි. එම අරගලයට සමගමීව පැවති මැයි 21 වැඩවර්ජනයේ සියලු සිදුවීම් මෙම වෙබ් අඩවියේ පළ කරමින් සිටියදී 21 වැනි දින සවස්භාගයේ සිට මෙම අඩවිය අකර්මණ්‍ය කර තිබේ. අප විසින් එම අකර්මණ්‍ය වීමට හේතුන් පරීක්‍ෂා කිරීමේදී එහි වෙබ් සර්වර් හි කිසිදු ගැටලුවක් නොමැති බවත් කිසිවකු විසින් හෝ මෙම අඩවිය තුළට ඇතුලූ වී එහි දත්ත මකා ඇති බවට පැහැදිලි විය.

එබැවින් පසුගිය මැයි 21 දින දක්වා මෙම සටන් රැල්ල තුළ එහි සාර්ථකත්වය ප‍්‍රචාරයවීම නැවැත්වීම අරමුණු කරමින් මෙම අකර්මණ්‍ය කිරීම සිදු කළ බවට කිසිදු සැකයක් නැත. ඒ අනුව ක‍්‍රියාත්මක වී ඇත්තේ ආණ්ඩුවේ අවශ්‍යතාවයයි. එබැවින් මෙම වෙබ් අඩවිය අකර්මණ්‍ය කිරීමට ගත් නිවට උත්සාහයට අපගේ දැඩි විරෝධය පළ කරමු. ප‍්‍රතිගාමී උත්සාහයන් කොතරම් පැමිණියද ඉදිරියේදී නැවතත් එම වෙබ් අඩවිය යථා තත්වයට පත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින අතර ඉතා ඉක්මනින් පාඨකයින් හට www.unions.lk වෙබ් අඩවිය වෙත ගමන් කිරීමට ඉඩ සකසන බවද දන්වා සිටිමු.

No comments:

Post a Comment