Friday 7 June 2013

කෝටිපතියාගේ ඝාතනයට එස්‌අයි ඇතුළු පොලිසියේ 3 ක්‌ සීඅයිඩී අත්අඩංගුවට

වැල්ලවත්ත ප්‍රදේශයේ මුස්‌ලිම් ජාතික කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස්‌ අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු (එස්‌. අයි.) ඇතුළු පොලිස්‌ නිලධාරීන් තිදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම පොලිස්‌ නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබූ බව රහස්‌ පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියේය. මෙහිදී ඝාතනයට ලක්‌ වූයේ වැල්ලවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ සපත්තු ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැති තිදරු පියෙකි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්‌නාහිර උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන (ඩී.අයි.ජී.) මහතා ද රහස්‌ පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඒ මහතා නිදහස්‌ කර යෑවීමට රහස්‌ පොලිසිය පියවර ගෙන තිබිණි.

මෙම ඝාතනය සඳහා පොලිස්‌ නිලධාරීන් පිරිසකට කොන්ත්‍රාත්තුවක්‌ ලබාදී ඇත්තේ ෆවුප්ඩීන් නමැති බම්බලපිටිය ප්‍රදේශයේ තවත් ව්‍යාපාරිකයෙකි.

ෆවුප්ඩීන් මහා පරිමාණයෙන් උණ්‌ඩියල් මුදල් ගනුදෙනුවල (නීති විරෝධී) යෙදෙමින් ව්‍යාපාර කළ පුද්ගලයෙකි. මොහු ෂියාම්ගෙන් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක්‌ ණයට ලබාගෙන තිබූ බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

එම ණය මුදල් ගෙවා ගැනීමට නොහැකි වූ තැන ෆවුප්ඩීන් සිය මිතුරා වූ ෂියාම් ඝාතනය කිරීම සඳහා සැලසුමක්‌ සකස්‌ කර ඇත. එම ඝාතන කොන්ත්‍රාත්තුව ෆවුප්ඩීන් ලබාදී ඇත්තේ පොලිස්‌ නිලධාරීන් පිරිසකට බව හෙළි වී ඇත.

ඉකුත් 21 වැනිදා ෆවුප්ඩීන් සිය මිතුරා වූ ෂියාම්ද කැටිව නුගේගොඩ ප්‍රදේශයට ගොස්‌ ඇත්තේ හදිසි අවශ්‍යතාවකට යෑයි කියමිනි. එහිදී ෆවුප්ඩීන් සිය මිතුරා ඝාතක කල්ලියට භාරදී හොර රහසේම එම ස්‌ථානයෙන් පැනගොස්‌ තිබේ.

ඝාතක කල්ලිය ෂියාම් රැගෙන ගොස්‌ කෲර වධහිංසා පමුණුවා ඔහු ඝාතනය කර සිරුර දොම්පේ ප්‍රදේශයේ ඝන කැලෑවක දමා පලා ගොස්‌ තිබිණි.


ෂියාම්ගේ පවුලේ සාමාජිකයන් ඔහු සෙවීමට පටන් ගෙන ඇත්තේ ඉන් පසුවය. සිය මිතුරා අතුරුදන්ව ඇති බව කියමින් සැකකාර ෆවුප්ඩීන් ද ඔහු සොයමින් පොලිස්‌ ස්‌ථාන කීපයකට ගොස්‌ ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය විය.

ඝාතනයට ලක්‌ වූ ෂියාම්ගේ සිරුර ඥතීන් විසින් සොයා ගත්තේ ඉකුත් 31 වැනිදාය. ඒ දොම්පේ ප්‍රදේශයේ රෝහලක මෘත ශරීරාගාරයක තිබියදීය.

මේ අතර මිරිහාන පොලිසියේ තිබී ෂියාම්ගේ මෝටර් රථයද ඥතීන් විසින් හඳුනාගෙන තිබිණි. පොලිසිය එය සොයාගෙන තිබුණේ නුගේගොඩ ප්‍රදේශයේ මාර්ගයක්‌ අසල අතහැර දමා තිබියදීය. මේ අතර එම වාහනය අතහැර දමා තිබූ ස්‌ථානය ආසන්නයේ පිහිටි ආයතනයක සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක (සීසීටීවී) සටහන්ව තිබූ තොරතුරු ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් ෆවුප්ඩීන් අත්අඩංගුවට ගනු ලැබීය.

ෆවුප්ඩීන් සිය මිතුරා සමග පැමිණ ඔහු ඝාතන කණ්‌ඩායම වෙත භාරදෙන ආකාරය ආරක්‍ෂිත කැමරාවේ සටහන්ව තිබී ඇත.

පසුව මෙම අබිරහස්‌ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කරනු ලැබීය.

මේ වන විට පොලිස්‌ නිලධාරීන් තිදෙනකු ඇතුළු පස්‌දෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් සියලු දෙනා රඳවා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.

No comments:

Post a Comment