Friday 14 June 2013

නිදහස් අධ්‍යාපන වරම් නොලැබුවානම් එස්.බි.ත් බුලත් විට හපමින් කුඹුරු කොටනවා අනුර දිසානායක

අධ්‍යාපනය පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් ඉදිරිපිට විවෘත සංවාදයකට එන ලෙසට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක මහතාට අභියෝග කර සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. මෙම අභියෝගය මෙයට වසර එකහමාරකට පමණ පෙර ද කළ බවත්, තවමත් එම අභියෝගය විවෘතව පවතින බවත් පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (13) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා පැවැසීය.
එහිදී ඒ මහතා මාධ්‍ය හමුවේ මෙසේ ද කීය.
ඇමැතිවරයා චෝදනා 2ක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි වෛද්‍ය උපාධිය ලක්ෂ 70කට මිල කරලා නැහැ කියන එක. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අතිරේක ‍ලේකම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකළ ලිපියේ පාඨමාලා සඳහා නියම කළ මිල ගණන් හොඳින් සඳහන් වෙනවා. ඒකෙන් පැහැදිලි වන්නේ තමන්ගේ අතිරේක ‍ලේකම්වරයා නිකුත් කරන ලද ගණන් හිලව් පිළිබඳ එස්.බි. ඇමැතිවරයා නොදන්නා බවයි.
අනිත් කාරණය වන්නේ අධ්‍යාපනයට වෙන් කරන මුදල, ඒ වෙනුවෙන් ඔහු අලුත් සූත්‍රයක් නිර්මාණය කොට තිබෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන, පළාත් සභා, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වැනි ආයතන ගණනාවක්  මගින් අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කරන බවත්, එම ප්‍රමාණය සියයට 4.1ට වැඩි බවත් ඔහු කියනවා.  නමුත් 2005,2012 සහ 2013 සංඛ්‍යා ‍ලේඛන  අනුව පැහැදිලි වෙනවා අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ මුදල කප්පාදු කර තිබෙන බව.  ඒ නිසා අපි එස්.බි. දිසානායක ඇමැතිවරයාට අභියෝග කරනවා ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. එය විශ්වවිද්‍යාල සිසුන් ඉදිරියේ පැවැත්වෙනවා නම් වඩාත්ම සුදුසුයි.  මීට වසර එකහමාරකට පෙරත් මේ අභියෝගය කළා. තවමත් එම අභියෝගය විවෘතව තිබෙනවා.
වත්මන් ආණ්ඩුව දේශප්‍රේමය, දේශහිතෛෂීත්වය, ගොනු කර ගනිමින් ගමේ ජනතාවගේ ගුණ සුවඳ හඳුනනවා යැයි කියමින්, කර වටේ කුරහන් සාටකය ඔතා ගනිමින් අධ්‍යාපනය බරපතළ ව්‍යසනයකට ඇද දමමින් සිටිනවා.
හඟුරන්කෙත උපන් සුමනවීර බණ්ඩා රටේ අධ්‍යාපනය භාර එස්.බි. දිසානායක ඇමැතිවරයා වූයේ නිදහස් අධ්‍යාපනයේ වරමින් බවත් නැතිනම් ඔහු බුලත්විට හපමින් කූඹුරක් කොටන සුමනවීර බණ්ඩා ලෙස දැක ගැනීමට හැකිවෙනවා. ජම්බුගස් මුල්‍ලේ උපන් බන්දුල ඇමැතිවරයා එම තනතුරට ඇවිත් සිටින්නේ ද නිදහස් අධ්‍යාපනය නිසාවෙන්.
මර්දනයන්, අවලාද හමුවේ අධ්‍යාපනය තීරණාත්මක සංධිස්ථානයකට ළඟා වෙමින් තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ ධවල පත්‍රිකාව හරහා අධ්‍යාපනයේ බර දෙමාපියන්ට පැවැරීමට උත්සාහ දැරුවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගොඩනැගීම ආරම්භ කළා. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරවල හා ජනතාවගේ විරෝධය හමුවේ ඒවා සාර්ථක කරගන්න බැරි වුණා. ඒ වගේම චන්ද්‍රිකාත් මේ ප්‍රයත්නයම දැරුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 253ක ආධාර ලබා ගැනීම පිණිස ගිවිසුම් අත්සන් කළා. එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වූ ඉන්දික ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැහැදිලිව ප්‍රකාශ කළා අධ්‍යාපනයට පුද්ගලික අංශය යොදා ගන්නවා කියලා. නමුත් එදත් දෙමාපිය ශිෂ්‍ය විරෝධය නිසා ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. රනිල් වික්‍රමසිංහ මහතා නැවත යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළ හරහා අධ්‍යාපනය මිලට ගත හැකි භාණ්ඩයක් ලෙස වෙළෙඳ‍පොළට මුදාහැරීමට කටයුතු කළා. නැවත බලයට පත්වූ චන්ද්‍රිකා ජ.වි.පෙ.ද හිටපු ආණ්ඩුවේ ඇයගේ හිතවාදිනියක් වූ තාරාද මෙල් අධ්‍යාපන ‍ලේකම් තනතුරට පත්කරගනිමින් බරපතළ කප්පාදුවකට සැරසුණා. විවිධ පනත් කැබිනට් මණ්ඩලයට ආවා. කැබිනට් මණ්ඩලයේ අපි ඉන්න තාක්කල් ඒවා සම්මත කරන්න ඉඩ දුන්නේ නැහැ. ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපති කෙනෙක් ගෙනාපු පනත් පරාජයට පත් කළා.
 මේ ආණ්ඩුව තමයි අධ්‍යාපනයට සිදුකර තිබෙන බරපතළ ව්‍යසනය සිදුකොට තිබෙන්නේ. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දූෂිත කරලා අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කරලා තිබෙනවා. අධ්‍යාපනයේ මහා දියුණුවක් අත්පත් කරගෙන නොමැති 1972 වර්ෂයේදී පවා දළ ජාතික නිෂ්පාදිතයෙන් 5.2ක් අධ්‍යාපනයට වෙන් කළා.
 එසේ තිබියදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2005  දී අධ්‍යාපනයට වෙන් කළේ 2.5යි. එතැන් සිට රජය කළේ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් කප්පාදු කරන එකයි. 2012 දී වෙන් කළේ 1.86යි. විශ්වවිද්‍යාල ආචාර්යවරු ප්‍රබල සටනක් ගෙන ගියා අධ්‍යාපනයට 6ක් වෙන්කරන්න කියලා. 6 සටන් පාඨය රැව් පිළිරැව් දුන් දැඩි කතාබහකට ලක් වූ 2013 වර්ෂයේත් ආණ්ඩුව වෙන් කළේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.49යි.
 අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදුව හරහා විශ්වවිද්‍යාල කඩා වට්ටවමින් තිබෙනවා. රජයේ විශ්වවිද්‍යාල පාඨමාලාවන් විකිණීමට උත්සාහ දරමින් තිබෙනවා. ජ”පුර කළමනාකරණ පීඨයේ පාඨමාලාවන් විකිණීමට උත්සාහ ගත්තා. ශ්‍රී ලංකා රජයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන වෛද්‍ය පීඨයට මේ ආකාරයෙන් මුදලට සිසුන් ඇතුළත් කරනවා. ඒ පිළිබඳව එස්.බි. ඇමැතිවරයාගේ පැහැදිලි කිරීම වුණේ විශ්වවිද්‍යාල “විශ්ව” ආයතන බවට පත් කරනවා. කියලයි. ඔහුගේ දැනුම විදහා පාමින් කියා සිටියේ ජපන් ළමිස්සියන් දිහා ඇසක් පියවා බැලීමට අපේ රටේ කොල්ලන්ට අවස්ථාවක් උදා වෙනවා කියලයි. නමුත් එසේ බඳවා ගැනීමට නිර්දේශකොට තිබෙන්නේ උගන්ඩාව, ස්වාසිලන්තය, ඉතියෝපියාව, සීෂෙල්ස් වැනි රටවල්. ජනගහනයෙන් වැඩි පිරිසකට ඒඩ්ස් රෝගය වැළඳීමේ අවදානම තිබෙන ස්වාසිලන්තය වගේ රටවලින් සිසුන් ගෙන්වා ගැනීමේ අරමුණ කුමක්ද? ඒවා ඉතාමත් අඩු දියුණු මට්ටමේ පවතින රාජ්‍ය පද්ධති ආණ්ඩුව විදේශ සිසුන් ඇතුළත් කරනවා යැයි කියමින් ආවත් පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළත් කරන්න යැව්වේ ශ්‍රී ලංකාවේ ළමයින් දසදෙනෙක්, දෙදෙනෙක් විදේශීය පුරවැසි භාවය තිබුණත් අට දෙනෙක්ම ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය තිබෙන දරුවන්.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අතිරේක ‍ලේකම් ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකළ ලිපියක එම දසදෙනාගේ නම් ලැයිස්තුව සහ එක් එක් පාඨමාලාවන්වලට අය කරන ගාස්තුව පැහැදිලිව සඳහන් කොට තිබෙනවා. වෛද්‍ය හා දන්ත වෛද්‍ය පාඨමාලාවන්ට වසරකට ඇමෙරිකානු ඩොලර් දොළොස්දාහක් මිලකොට තිබෙනවා. ඒ කියන්නේ වසර පහක් සඳහා පාඨමාලා ගාස්තුව රු.ලක්ෂ 75ක් පමණ වෙනවා. ඉංජිනේරු උපාධිය සඳහා ඇමෙරිකානු ඩොලර් 8000ක් වන අතර වසර හතරක පාඨමාලාවක් සඳහා ආසන්න වශයෙන් රු.ලක්ෂ හතළිහක් වැය කිරීමට සිදුවෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන රජයේ විශ්වවිද්‍යාලවල පාඨමාලා ශ්‍රී ලංකාවේම දරුවන්ට විකිණීම ආරම්භ කොට තිබෙනවා. එක් කොටසකට නොමි‍ලේ අධ්‍යාපනය ලබා දෙන අතරේ ලංකාවේම තවත් සිසුන් පිරිසකට ලක්ෂ 75කට උපාධිය විකුණනවා. එම දරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද කියා අප තවම දන්නේ නැහැ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය එම සිසුන් දසදෙනා ප්‍රතික්‍ෂේප කළා. ඔවුන්ගේ දුරදක්නා නුවණට අපේ ගෞරවය හිමිවිය යුතුයි. නමුත් ජ’පුර වෛද්‍ය පීඨය සඳහා සිසුන් දහතුන්දෙනෙක් ඇතුළත්කොට තිබෙනවා.
ආණ්ඩුව විවිධ ‍ලේබල් යටතේ උපාධි විකුණමින් තිබෙනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදනවා. මාලබේ එක් උදාහරණයක් පමණයි. එහි වෛද්‍ය උපාධිය පිළිගන්නවාද නැද්ද කියලා තවමත් තීරණයකට එළැඹිලා නැහැ. එයට අනුබද්ධ පිළිගත් ශික්ෂණ රෝහලක් නැහැ. රෝගීන් නැති පෞද්ගලික රෝහලක් නම්කොට තිබෙන අතර සිසුන්ට රෝගීන් නොමැතිව සායනික කටයුතු සිදුකරන්න සිදුවෙලා. අපේ රටේ වෛද්‍ය පීඨයන් ස්ථාපිත වෙලා තියෙන්නේ ශික්ෂණ රෝහලකට අනුබද්ධ කරලා. රාගම වෛද්‍ය පීඨය, රාගම ශික්ෂණ රෝහලට, පේරාදෙණිය, කරාපිටිය, කොළඹ, ජයවර්ධනපුර, රජරට, වැනි වෛද්‍ය විද්‍යාලද ඒ ඒ නගරයේ
ශික්ෂණ රෝහල්වලට අනුබද්ධ කර තිබෙනවා. මාලබේ වෛද්‍ය උපාධිය සඳහා රු.ලක්ෂ 70ක් වැය වන අතර ශිෂ්‍යයෙකුට එම පාඨමාලාව සම්පූර්ණ කිරීමට රු.ලක්ෂ 90ක් පමණ වැය වෙනවා. එම දෙමාපියන්ට තම දරුවා වෙනුවෙන් මසකට ලක්ෂ එකහමාරක් දැරීමට සිදුවෙනවා. ෙදෙනික ආදායම රුපියල් 250ක් පමණ වූ 42ක් වූ ජනගහනය නියෝජනය කරන දෙමාපියන්ට එම මුදල දැරීමට පුළුවන්ද?
ජනතාව විවිධ අරගල මගින් දිනාගත් තම අයිතියක් ලෙස තිබෙන අධ්‍යාපනය කප්පාදු කරන්න නොදී මෙරට ‍පොදු ජනතාවගේ ගමේ ජීවත් වන ගොවි අම්ම තාත්තාගේ දරුවගේ අනාගතය විනාශ කරන්න නොදී එය රැක ගැනීමට ඉදිරියට එන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.  හෙළ උරුමය සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින සාකච්ඡා පිළිබඳව  කීමට ඇත්තේ එය තකට තක හමුවක් පමණක් යැයි ද මෙහිදී  ඒ  මහතා මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
ආණ්ඩුව ඇතුළේ තමන් මුහුණ දී ඇති අමාරුවත්, ජනතාව හමුවේ තමන්ගේ නිරුවතත් වසා ගන්නට හෙළ උරුමය තමන් මහ දේශප්‍රේමීන් යැයි කීමට 13ට සංශෝධන කිහිපයක් ගෙනා බව ද ඒ මහතා කීය.
එසේම එක්සත් ජාතික පක්ෂයත්, තම පක්ෂය තුළ ඇති ප්‍රශ්න එහේ මෙහේ කර ගැනීමටත්, තමන්ගේ බල උවමනාව වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ බවත් එබැවින් එය තකට තක බවත් ඒ අනුව සාකච්ඡාවක් කළ බවත් ඒ හැරෙන්නට එහි අන් කිසිවක් නොමැති බව ද ඔහු කියා සිටියේය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ජවිපෙ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස මහතා ද සහභාගි විය.
පද්මිණි මාතරගේ

No comments:

Post a Comment