Saturday 1 June 2013

සබරගමු සරසවි සිසුන්ට එල්ලවූ අමානුෂික පොලිස් ප්‍රහාරය

සබරගමු සරසවියේ සිසුන් 5 දෙනෙකුට පනවා ඇතැයි කියන විභාග තහනම ඉවත්කරන ලෙස ඉල්ලා එහි සිසුන් පිරිසක් අද (01) පෙරවරුවේ බදුල්ල - කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කරන ලදී. මෙම විරෝධතාවය නිසා එම මාර්ගයේ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන් නතරවිණ. මෙම වාතාවරණය යටතේ මගී ජනතාවට සිදුවන අපහසුතාවය වළක්වා ගැනීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පියවර ගත් බව පොලීසිය පැවසුවේය. මේ එහි දසුන් පෙළකි.

ආණ්ඩුව විසින් සංවිධානය කරන උද්ඝෝෂණවලට පාක්ෂිකයින් ගෙන්වා ගන්නේ බත් පැකට් එකට හා අරක්කු භාගයට වුවත් සරසවි සිසුන් පාරට බහින්නේ සිය ගැටලු විසඳා ගැනීමට බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි.

සබරගමු සරසවියේ සිසුන් 5 දෙනෙකුට පනවා ඇති විභාග තහනම හා අද (01) එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට පඹහින්න හන්දියේ සිදුකළ විරෝධතාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොළඹදී පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

අන්තරේ විසින් සිසුන් විරෝධතා සඳහා කැඳවා ගන්නේ බලහත්කාරයෙන් බවට එස්.බී. දිසානායක උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශයක් කර ඇති බව මාධ්‍යවේදියෙකු එහිදී සංජීව බණ්ඩාරගේ අවධානය යොමු කිරීමේදී ඊට ප්‍රතිචාර වශයෙන් ඔහු මෙම පිළිතුර ලබාදුන්නේය.

රුස්වීමක් පැවැත්වීම මූලික කර ගනිමින් සිසු නායකයින් 5 දෙනෙකුට පන්ති තහනමක් පැනවීම අසාධාරණ බවත් එය විශ්ව විද්‍යාල පාලනාධිකාරියට විසඳිය හැකිව තිබියදී උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඔස්සේ එය විසඳා ගැනීමට බලධාරීන් කටයුතු කර ඇති බවත් සංජීව බණ්ඩාර මහතා පෙන්වාදුන්නේය.

ඒ අනුව එය ආරක්ෂක අමාත්‍යංශය දක්වා ගෙන ගොස් ඇති බවත් ඊට ආසන්නතම සිදුවීම උපවාසය ඇරඹු 21 වැනිදාට පසු 22දා ආරක්ෂක අමාත්‍යංශය විසින් එය එම උපවාසය නතර කරන ලෙසට බලපෑම් කිරීම බව ඔහු කීවේය.

කෙසේ හෝ එම ගැටලුව විසඳා ගැනීම සඳහා උපවාසයේ නිරත සිසුන් සමග එක්වූ අනෙක් සිසුන්ට අද කඳුළු ගෑස් එල්ල කිරීම නිසා සිසුන් 27 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර සිටින බව සංජීව බණ්ඩාර මහතා පැවසුවේය.

ඔවුන්ගෙන් 7 දෙනෙකු බලංගොඩ මූලික රෝහලෙත් ඉතිරි 20 දෙනා පඹහින්න රෝහලේත් ප්‍රතිකාර ලබන බව කී ඔහු ඒ මාරාන්තික උපවාසයේ නිරත සිසුන් 4 දෙනා හැර අද කඳුළු ගෑස් කෑ අය බවද පෙන්වාදුන්නේය.

කෙසේ හෝ ආණ්ඩුව විභාග තහනමට ලක්ව ඇති සිසුන්ගේ එම තහනම ඉවත් කළ යුතු බවත් අද විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගත් සිසුන් වහා නිදහස් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ඉදිරියේදී සෙසු සරසවිවල සිසුන් පාරට බැස්සීමට සුදානම් බවද ඔහු අවධාරණය කළේය.

 

No comments:

Post a Comment