Saturday 1 June 2013

ප්‍රේමය මෙතරම් කුරිරුද.... සැහැසිද.... අනුරපුර කම්පාකළ බිහිසුණු පෙම් වියරුව

ගතවූ දින කීපය තුළ වෙසක්‌ සඳින් ආලෝකවත්වී අසිරිමත් දසුන් මැවූ පරිසරයේ සුන්දර සහ චමත්කාර බව පහව ගොසිනි. ඒ සඳ ඒ මොහොතේ අහසේ සැඟවී තිබූ නිසා මුළු පරිසරයම අන්ධකාරයෙන් පිරී මූසල බවක්‌ දැනෙමින් තිබිණි.

මේ අතරතුර අනුරාධපුර පැරණි නුවර පාරේ අභයපුර නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක විසූ කරුණාරත්න පවුලේ පියා, මව සහ ඔවුන්ගේ එකම දියණිය දවසේ සිය වැඩ කටයුතු නිමා කරමින් සුව නින්දකට යැමට පෙර විවේකී සුවයෙන් පසුවූහ.

එහෙත් තමන් මෙලෙස ගෙවා දමනුයේ තම ජීවිතයේ අවසන් හෝරා කිහිපය හෝ විනාඩි, තත්පර කීපය හෝ බව ඔවුන් කිසිදු විටෙකත් නොදැන සිටියහ.

මෙලෙස නොයෙකුත් දේ පිළිබඳව තම පියා වන හැට දෙහැවිරිදි පී. බී. කරුණාරත්න, මව වන හැට දෙහැවිරිදි ශීලා කරුණාරත්න මහත්මිය සමඟ කථා බහක නිරත වෙමින් සිටි විසිතුන් හැවිරිදි තක්‌ෂිලා දර්ශනමාලි කරුණාරත්න හමුවීමට ඇගේ පැරණි පෙම්වතා වන සුරංග පැමිණියේය.

එවිට වේලාව රාත්‍රි 8.37 පසුවී තිබිණි. තක්‌ෂිලාගේ නිවසේ ගේට්‌ටුව වසා තිබූ බැවින් ඉන් පැන ගෙවත්තට ඇතුළු වූ සුරංග එම නිවසේ මුළුතැන්ගේ දෙසින් විත් දොරට තට්‌ටු කර තක්‌ෂිලාට කතා කළේය.

එම අවස්‌ථාවේ මුළුතැන්ගේ දොර විවෘත කළ තක්‌ෂිලාව මරණ බවට සුරංග තර්ජනය කළේය. දෙදෙනා වෙනදා සුපුරුදු ලෙස දෙඩූ පෙම්බස්‌ හෝ ආදර වදන් තක්‌ෂිලාගේ දෙමව්පියන්ට අසන්න නොලැබිණි. ඔවුන් දෙදෙනාද තම දියණිය සිටි දෙසට ගියෝය.

එහිදී සුරංග සහ තක්‌ෂිලාත්, ඇගේ දෙමව්පියන් අතර හුවමාරු වන්නට වූයේ උණුසුම් වාග් ප්‍රහාරයන්ය. එහි අවසන් ප්‍රතිඵලය ලෙස සුරංගගේ (සැකකරුගේ) කඩු ප්‍රහාරයෙන් කලෙක ඔහුගේ ප්‍රේමවන්තිය වන තක්‌ෂිලා කැපී වැටුණාය. ඇයගේ මව ද කපා දැමුණි. පියා ද ලංකා විදුලිබල මණ්‌ඩලයේ ගබඩා භාරකරුවකු ලෙස සේවයකොට විශ්‍රාම සුවයෙන් තම ජීවිතය ගත කළ හැට දෙහැවිරිදි එස්‌. කේ. අයියා නොහොත් පුංචි බණ්‌ඩා කරුණාරත්න බරපතළ කැපුම් තුවාල ලැබුවේය. ඔහුගේ බිරිඳට සහ දියණිය මේ වනවිට මියගොස්‌ය.

නොහික්‌මුණු පාපතරයකු විසින් තියුණු ආයුධයකින් සිදුකළ අමානුෂික ප්‍රහාරයකින් මියගිය ශීලා කරුණාරත්න මහත්මිය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ සේවය කොට විශ්‍රාම සුවයෙන් කල් ගෙවමින් සිටියාය. තක්‌ෂිලා දර්ශනමාලී කරුණාරත්න ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ අනුරාධපුර කාර්යාලයේ අභ්‍යන්තර විගණන ඒකකයේ අනියම් කළමනාකරණ සේවා විගණන නිලධාරිනියක ලෙස කටයුතු කළාය.

ඇය එහි සේවයට ගොස්‌ ගතවූයේ යන්තම් මාස දහයක්‌ වැනි කෙටි කාලයකි. ඇය නුදුරු දිනයකදී එහි ස්‌ථිර සේවයෙහි පිහිටුවීමට ඇගේ සේවා ස්‌ථානයේ උසස්‌ නිලධාරීන් ඇවැසි කටයුතු සම්පාදනය කොට තිබිණි.

නමුත් ඇයගේ සිහින යථාර්ථයක්‌ බවට පත් කර ගැනීමට මරුවා ඉඩ දුන්නේ නැත.

ගැටලුවක්‌ නිරාකරණය කර ගත නොහැකිව තිබුණු ආයුධයකින් කපා කොටා මෙලෙස තම සොඳුරු පෙම්වතිය මරා දැමූ සුරංග අනතුරුව ඇගේ පියාට ද බරපතළ තුවාල සිදුකොට මව ද අමානුෂික හා සහාසික ලෙස කපා කොටා ඝාතනය කොට පලා ගියේය.

අනතුරුව අනුරාධපුර වටවන්දනා පාරේ පිහිටි සිය නිවසේ සිටියදී මිනීමරුවා අත්අඩංගුවට ගැනුණි. ඒ මෙම ඝාතන සිදුවී පැය කීපයක්‌ තුළය. මිනීමරුවා අත්අඩංගුවට ගත්තේ අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසිනි.

සුරංග (සැකකරු) සහ තක්‌ෂිලා අතර වසර හතක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධයක්‌ තිබී ඇත. තක්‌ෂිලා පසුව එම සම්බන්ධය අතහැර වෙනත් තරුණයකු හා ප්‍රේම සම්බන්ධයක්‌ ගොඩනඟා ගත්තාය. මෙම ඝාතනවලට හේතුව ඒ සිදුවීමය.

නිසි රැකියාවක්‌ නොමැතිව සිටි සුරංග සමඟ පවත්වා ගෙන යන ප්‍රේම සම්බන්ධතාවය නවතා දමන ලෙස සිය මව සහ පියා නිරතුරුවම තක්‌ෂිලාට අවවාද කොට තිබිණි. සුරංගට ඔවුහු මේ වග කීහ. සිය පෙම්වතිය දිනා ගැනීමේ අභිලාෂය සහිතව සුරංග රැකියාවක්‌ සඳහා මැලේසියාව බලා පිටත්විය.

මෙලෙස විදේශගතවී ටික කලක්‌ ගතවෙද්දී තක්‌ෂිලා හා සුරංග අතර දුරකථන සංවාදවලින් පැවැති කථා බහ ද ක්‍රමයෙන් අඩුවිය. ඇය වෙනත් තරුණයෙක්‌ සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන ඇති බවට සැකයක්‌ ඇතිකරගත් සුරංග වැඩි කලක්‌ යැමට පෙර නැවත පෙරළා මෙරටට පැමිණියේය.

මේ අතරතුර සුරංග, තක්‌ෂිලා මුණගැසීමට වරින් වර ඇගේ කාර්යාලයටත්. නිවසටත් ගියේය. මේ යැම් ඊම් සම්බන්ධයෙන් ඇගේ දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක්‌ සුරංග වෙත එල්ල විය. මේ නිසා සුරංග තුළ ඔවුන් දෙදෙනා පිළිබඳව ද තරහක්‌ ඇතිවිය.

සුරංග නිතරම උත්සාහ කළේ තක්‌ෂිලා සමඟ පැවැති ප්‍රේම සම්බන්ධය දිගටම පවත්වාගෙන ගොස්‌ නව ජීවිතයක්‌ ගතකිරීමටය. එහෙත් තක්‌ෂිලාගෙන් ඒ සම්බන්ධයෙන් සුරංගට කිසිදු අනුකම්පාවක්‌ හෝ ප්‍රතිචාරයක්‌ නොවීය. මේ හේතුව නිසාම සුරංගගෙන් තක්‌ෂිලාට එල්ලවන්නට වූ තර්ජනවලින් නම් කිසිදු අඩුවක්‌ නොවීය.

මේ නිසා සුරංගගෙන් තම ජීවිතය ආරක්‌ෂා කර ගැනීමට තක්‌ෂිලාගේ පියා ඇයව කාර්යාලයට යන හැම අවස්‌ථාවකදීම යතුරුපැදියෙන් කැඳවාගෙන යැමට වගබලා ගත්තේය.

මේනිසා සුරංගට තක්‌ෂිලා අතරමගදී මුණගැසීමට තිබූ නිදහස අහිමි විය. ඒ නිසා ඔහු ඇය මුණගැසීමට ඇගේ කාර්යාලයට නිතර යන්නට එන්නට විය. ඝාතන සිද්ධිය වූ දින උදේ ද සුරංග ඇය මුණගැසීමට ඇගේ කාර්යාලයට ගියේය.

"ඇයි තක්‌ෂිලා ඔයා මට මෙහෙම කරන්නෙ. මම මොකක්‌ද ඔයාට කළ වරද? ඇයි ඔයා වෙනත් කෙනෙක්‌ සමඟ සම්බන්ධයක්‌ ඇතිකරගත්තෙ?" සුරංග මෙලෙස ප්‍රශ්න වැලක්‌ තක්‌ෂිලාගෙන් අසන්නට විය.

කෙසේ වුවද සුරංග ඒ මොහොතේ ඇගෙන් සමුගෙන ගිය පසු තක්‌ෂිලාද තම සේවා ස්‌ථානයෙන් නිවාඩු ලබා නිවසට ගොස්‌ සුරංගගෙන් තමාට නිතර කරදර හා තර්ජන එල්ලවන බව කුරුණෑගල ප්‍රදේශයේ ජීවත්වන තම එකම සහෝදරයාගේ බිරිඳට දුරකථනයෙන් කථා කර පවසා තිබිණි.

මේ බව තක්‌ෂිලා තම මිතුරියන් කීප දෙනෙකුටද දුරකථනයෙන් පවසා තිබූ අතර, ඇය අවසන් වරට ජීවිතයෙන් සමුගැනීමට පෙර ඉකුත් 28 දා රාත්‍රි 8.37 ට පමණ ඇගේ සහෝදරයාගේ බිරිඳ වන නෑනන්ඩියට ද දුරකථනයෙන් කතාකර සුරංග කොයි මොහොතේ හරි මාව මරා දමනවා මම දැන් මොනවද කරන්නෙ අක්‌කෙ යෑයි පවසා තිබිණි.

එසේ පැවැසූ ඇයට මෙලොව ජීවත්වන්න ලැබුණේ තවත් විනාඩි කීපයක්‌ පමණි. සුරංගට තක්‌ෂිලාගෙන් සිදුවූ අසාධාරණයට ලේවලින් වන්දි ගැනීම සඳහා ඔහු නිසල මූසල රාත්‍රියේ කඩුවක්‌ අමෝරාගෙන තක්‌ෂිලාත් ඇගේ දෙමව්පියනුත් සොයා පැමිණියේය. තක්‌ෂිලාත් මවත් ඔහු විසින් මරා දැමුණි.

ඇගේ පියාගේ ජීවිතය වාසනාවට බේරුණේය. ඔහු මෙහිදී බරපතළ තුවාල ලැබුවේය. පසුව මේ සිද්ධිය දැනගත් තක්‌ෂිලාගේ නිවස අවට පදිංචි අසල්වාසීහු ඇගේ පියා අනුරාධපුර ශික්‌ෂණ රෝහලට රැගෙන ගියහ.

තක්‌ෂිලාගේ නිවස ඉදිරිපිට තක්‌ෂිලාත්, ඇගේ මවත් අවසන් සුසුම් හෙළා සිරුරු දෙතැනක වැටී තිබිණි. පසුව අසල්වාසීහු මේ බව වහා අනුරාධපුර පොලිසියට දැනුම් දුන්හ.

උතුරු මැද නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පද්මසිරි, අනුරාධපුර පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න, අනුරාධපුර සහකාර පොලිස්‌ අධිකාරි කැළුම් තිලකරත්න, මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස විතානගේ යන මහත්වරුන් හා උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවි විඡේගුණවර්ධන මහතාගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ ආරම්භකොට පැය කීපයක්‌ තුළ මෙම ද්විත්ව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව ඝාතනයට ලක්‌වූ තක්‌ෂිලාගේ සහ ඇගේ මවගේ සිරුරු දෙක ඔවුන්ගේ අනුරාධපුර අභයපුර පිහිටි නිවසේ තැන්පත් කරනු ලැබිණි.

තක්‌ෂිලාගේ හා ඇගේ නිසල දේහයන් නිවසේ සාලයේ එකිනෙකාට යාව තැන්පත්කොට තිබෙන අයුරු සැමගේ හදවත් කම්පා කළේය. ඒ දෙස බලා සිටි හැමගේ දෙනෙත්වලින් කියා පෑවේ මොවුන්ගේ මේ සමුගැනීම මොනතරම් වේදනාත්මක සමු ගැනීමක්‌ද යන්නය.

"පව් කාටවත් කරදරයක්‌, හිරිහැරයක්‌ නැතිව ජීවත්වුණු පවුලක්‌. මේ අය අභයපුර ගම්මානයේ පොදු වැඩවලදී අනිකුත් අය වගේම දුවල පැනල මූලිකත්වය අරගෙන කටයුතු කළ පිsරිසක්‌. මේ සමාජයේ මෙහෙම අයට ජීවත් වෙන්න වාසනාව ලැබෙන්නෙ බොහොම අඩුවෙන්. මේ අපරාධය කළ මිනීමරුවට හොඳක්‌ නම් වෙන්න එපා. මේ වගේ අපරාධකාරයන්ට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන්න ඕන.

එම දේහයන්ට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණි කාන්තාවක්‌ දේහයන් දෙස බලා විලාප දෙමින් කියනු අසන්නට ලැබිණි.

මුළු මහත් රජරටටම පමණක්‌ නොව මුළු රටම කම්පාවට පත් කළ මෙපුවත ඇසූ බොහෝ දෙනා කරුණාරත්න නිවසට ළඟාවුණි. හැම දෙනාම වික්‍ෂිප්තව එකිනෙකාගේ මුහුණ දෙස බලා සිටිති. සිදුවී ඇත්තේ කුමක්‌දැයි ඔවුනට අදහාගත නොහැකිව සුසුම් හෙළති.

ප්‍රේමයෙන් උපන් තෘෂ්ණාවේ තිරිසන් භාවයත්, තක්‌ෂිලාත් ඇගේ මවත් මරා දමා තිබේ. ඔවුන් තම එකම සහෝදරයා සහ පියා ඇතුළු ඥාති හිතමිත්‍රාදීන් සියලු දෙනාගෙන් සමුගැනීමට බලා හිඳී. හැමෝම හැඬූ කඳුළින් යළිත් නුඹලා මෙවන් අකල් මරණයකට හෝ විපතකට පත් නොවේවා යෑයි පතමින් නිසල දේහය දෙස බලා සිටිති.

ඉකුත් 30 වැනිදා සවස තක්‌ෂිලාත් ඇගේ මවත් මහ පොළොව මත සැඟවී ගියේය.

මෙවන් අවාසනාවන්ත සිදුවීම් මේ සමාජය තුළ තවත් නම් කොතෙකුත් සිදුවිය හැකිය. මෙවන් ෙ€දවාචක පිළිබඳ සිදුවීම් මෙරට ජනතාව කොතෙකුත් නම් අසා ඇති අතර සියෑසින්ද දැක තිබේ. එසේවීත් මෙවන් සිදුවීම් යළි සිදුවීමට ඉඩ හැරීමට ඉඩදිය යුතුද? මේ ගැන දැඩිව සිතා කටයුතු කළ යුතු කාලයයි මේ.


No comments:

Post a Comment