Sunday 16 June 2013

ආණ්ඩුව අධ්‍යාපනය දණගස්වලා. විකුණන්න තවත් බළල් අතක්

කිහිප අවස්ථාවකදී ජනතාව විසින් පරාජයට පත්කළ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත නැවත වටයකින් කරළියට පැමිණ ඇති බවත් ආණ්ඩුව හොර රහසේ එයට අදාල කරන නීතිමය තත්වය සකසා ගෙන ඇති බවත් නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය හෙළිදරව් කරයි. අද (16) පෙරවරුවේ මරදාන සමාජයීය හා සාමූහික කේන්ද්‍රයේදී එම ව්‍යාපාරය මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබූ අතර එහිදී මෙම කරුණු හෙළිදරව් කළේය.
1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට පවරා තිබූ විශ්වවිද්‍යාල නියාමනය කිරීමේ බලතල උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන තවත් ලේකම් කාර්යාලයක් හරහා ඇමතිවරයා යටතට පවරා ගැනීමට වත්මන් උසස් අධ්‍යාපනය ඇමතිවරයා උපක්‍රමශීලි වී ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් එම ව්‍යාපාරයේ සාමාජික විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා හෙළිකර සිටියේය.
සුමනවීර බණ්ඩා දිසානායක ඇමතිවරයා විසින් බලයලත් නියෝජතයා ලෙස පත්කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතාගේ යටතේ ඇති එම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ලේකම් කාර්ය මගින් පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම සඳහා කොමිසන් සභාවක් පත්කර ඇති අතර එම කොමිසමෙන් එළඹෙන නිර්දේශ ඇමතිවරයාගේ අනුමැතියකින් ක්‍රියාත්මක කිරීමට නීතිමය ප්‍රතිපාදන සකස් ක‍රගෙන තිබෙන බවද රොහාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේවක පුංචිහේවා මහතා, '1988දී අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ස්ථාපිත කළ ලීමා සම්මුතියට ලෝකයේ සියලුම රටවල් යටත්. ඒ සම්මුතියෙන් ජනතාවට ඇති මානව හිමිකම් අයිතිය වගේම නිදහස් අධ්‍යාපනය ලැබීමට ඇති සාධාරණ හා යුක්තිසහගත අයිතිය තහවුරු කරනවා. ඒ වගේම 1999දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය ‍1978 විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ‍ශ්‍රේෂ්ඨාධිකරණයට ගොණු කළ පෙත්සමක් විභාගයෙන් පසු ලබාදුන් නඩු තීන්දුවක සඳහන් වෙනවා අධ්‍යාපනය නිදහස අහිමිකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 සහ 14 වගන්ති උල්ලංගණය කිරීමක් කියලා.
මේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ලීමා සම්මුතියත් දෙකම උල්ලංගණය කරමින් අධ්‍යාපනය විකිණීම විවිධ මුහුණුවරින් සිදුකරමින් තිබෙනවා. ඒ සඳහා ආණ්ඩුව මර්දනීය උපක්‍රම පාවිච්චි කරනවා. පසුගියදා සබරගමු විශ්වවිද්‍යාල ශිෂ්‍ය මර්දනය එක උදාහරණයක්. ජපුර විශ්වවිද්‍යාල‍යේ ආචාර්යවරයෙකු වූ අනුරුද්ද ප්‍රදීප් සේවයෙන් පහකිරීමට උත්සාහ කළා. ඔහු ආණ්ඩු පාක්ෂිකයෙක්. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව හඬනැගු පුද්ගලයෙක්.
ඒ නිසා හිටලර්ගේ මර්දනයේදී මම සමාජවාදියෙක් නොවේ, මම යුදෙව්වෙක් නොවේ කියා බලා සිටියා මෙන් මට මෙය බලපාන එකක් නැහැ කියා බලානොසිට නිදහස් අධ්‍යාපනය රැක ගන්න සියලු දෙනා ඉදිරියට පැමිණිය යුතුයි.'
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා
'අධ්‍යාපනය පෞද්ගලීකරණයට ඉතිහාසයේ වැඩිම දායකත්වයක් දක්වා තිබෙන්නේ මේ ආණ්ඩුව. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරලා ඒකට හොර වාර්තා මගින් නීත්‍යානුකූල භාවය ලබාගන්න උත්සාහ දරමින් සිටියා. මේ අතර මීරිගම අක්කර 120ක ඉඩමක් බ්‍රිතාන්‍ය ලැන්කෂර් විශ්වවිද්‍යාල අනුබද්ධව පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිකිරීමට මේ වනවිට ලබාදී තිබෙනවා. මේ අතරේ රාජ්‍ය විශ්වවිද්‍යාල පීඨවල ආසන මුදලට විකුණමින් ඉන්නවා. මේ වනවිට උසස්‍ පෙළ සමත් විශ්වවිද්‍යාල වරම් ඇති දක්ෂ සිසුන් 40 දෙනෙකුගේ පමණ අස්ථාවන් ‍නුසුදුසු අය සඳහා ලක්ෂ 75 ගණනේ විකුණා දමා තිබෙනවා.
මාස 02ක් වැනි කාලයක් තුළ සිසුන් 275කගේ පමණ පංති තහනම් කොට තිබෙනවා. එස්.බී. දිසානායක ඇමතිවරයා වැඩ කරන සෑම පැය දෙකකට වතාවක්ම විශ්වවිද්‍යාල සිසුවකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කරනවා. ඔහු වැඩ කරන සෑම විනාඩි 30කට වරක්ම අපේ රටේ විශ්වවිද්‍යාල සිසුවෙකුගේ ජීවිතය අධ්‍යාපනයෙන් පිටමන් කිරීම, ශිෂ්‍යභාවය අහෝසි කිරීම, පංති තහනම් කිරීම තමයි තමන්ගේ කාර්යභාරය බවට පත්කරගෙන තිබෙන්නේ.
ආණ්ඩුව ආරම්භ කිරීමට යන කැසිනෝවලට අවශ්‍ය ගණිකාවන් නිර්මාණය කරන්න, හෝටල්වලට සේවකයින් බිහිකරන්න නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් ඉන්නවා. වයඹ පළාත් මන්ත්‍රීවරයෙක් එම පළාතේ ගුරුවරියක් දණගැස්සුවා. මේ ආණ්ඩුව මුළු අධ්‍යාපනයම දණගස්වලා තිබෙන්නේ. අපි ආණ්ඩුවට අභියෝග කරනවා ඒ මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. කොන්ද පණ තිබෙනවනම් තමන්ගෙන් පක්ෂයෙන් එලවා දාන්න කියලා.'
මේ අවස්ථාවට ලංකා ගුරුසේවා සංගමයේ සංවිධායක ලේකම් ධම්මික අලහප්පෙරුම මහතා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරු සංවිධානයේ සංවිධායක වෛද්‍ය ඉඳුනිල් විජේනායක මහතාද සහභාගි විය.

No comments:

Post a Comment