Sunday 16 June 2013

කරුණාවෙන් සවන් දෙන්න ලංකාවේ පළමු දුම්රිය‍පොළ කොටුව දුම්රිය‍පොළ නොවේ

අද ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවල කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ කොටුව දුම්රිය ස්ථානයයි. ඒ නිසාම බොහෝ දෙනකුගේ සිත් තුළ පැලපදියම් වී ඇත්තේ අපේ මුල්ම දුම්රිය ‍පොළ කොටුව වශයෙනි. එහෙත් ඒ සිතිවිල්ල වැරදිය. ශ්‍රී ලංකාවේ මුල්ම දුම්රිය ස්ථානය පිහිටියේ පිටකොටුවට ආසන්නවය.


අද භාවිතයට නොගන්නා එය කොළඹ ඕල්කට් මාවතේ මරදාන ටෙක්නිකල් කොලීජියට යාබදව පිහිටා ඇත. ජාතික දුම්රිය කෞතුකාගාරය පිහිටා ඇත්තේද ඒ භූමියේය.

වර්ෂ 1864 දෙසැම්බර් 27 දින අඹේපුස්ස දක්වා ලංකාවේ පළමු දුම්රිය ගමන ඇරඹුවේ මෙම දුම්රිය ස්ථානයේ සිටය. එවකට දුම්රිය මග ආරම්භ වන ස්ථානයේ මෙය පිහිටි නිසා අත්‍යන්ත දුම්රිය ස්ථානය යන අරුත ඇති Terminus Railway  Station යන නම සුද්දෝ ඊට තැබූහ.
19 වන සියවසේ බ්‍රිතාන්‍ය දුම්රිය ස්ථාන අනුකරණයෙන් වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිවූ  මෙය වේදිකා දෙකකින් සමන්විතය. එහි ඉදිකිරීම් ඇරඹුණේ 1858දීය. මුල් අදියරේදී දිග මී.5108ක් වූ  අතර පසුව මීටර්  පසුව මීටර් 108.6 දක්වා එය දීර්ඝ කෙරුණි. මෙහි දුම්රිය වේදිකාවල පියස්ස යකඩ කුලුනුවලින් එසවුණු තට්ටු දෙකක වහලයකි. කුලුනුවල  ශක්තිය ඉහළ නැංවීමට හරස් බාල්ක ලෙස යොදාගෙන ඇත්තේ ලෝහ ලියවැල් රටා සහිත ඉදිකිරීම්ය. අදටත් ඉතා ශක්තිමත් මෙම ගොඩනැගිල්ල මේ වන විට වසර 150ක් පමණ පැරණිය. එය අලංකාර හුරුබුහුටි ගොඩනැගිල්ලකි.
අත්‍යන්ත දුම්රිය ස්ථානය උඩරට දුම්රිය මාර්ගයේ ආරම්භක නැවැතුමයි. උඩරට දුම්රිය මග ඇරඹුණේ 1858 අගෝස්තු 23 දින මංගල පස් පිඩැල්ල 27-2කැපීමෙනි. ඉංග්‍රීසීින් මෙසේ දුම්රිය මාර්ගය ආරම්භ කළේ අපට තිබෙන ආදරයට නොව කඳුකරයේ නිෂ්පාදන කොළඹට පහසුවෙන් ප්‍රවාහනය කිරීමේ අරමුණෙනි. ඒ බව දුම්රිය මාර්ග ඇරඹීමේ උත්සවයට සහභාගි වූ එවකට මෙරට ආණ්ඩුකාරවරයා වූ හෙන්රි වෝඩ්ගේ මේ වචනවලින් පැහැදිලි වේ.
“කවර තරාතිරමක පුද්ගලයකුට වුවද දුම්රිය ගමනාගමනයෙන් තම දියුණුව සලසා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ධනවතෙකුට සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීමට ඉඩ ලැබෙනවා. ප්‍රදේශ දෙකක නිෂ්පාදනය වන වෙනස් වූ භාණ්ඩ හුවමාරු කර ගැනීමේ ඉඩකඩ ලැබෙනවා.”
කොළඹ මෙම දුම්රිය ස්ථානයේ ඉදිකිරීම් කරනු ලැබූයේ පෙඩ්රික් නේවීල් විසිනි. මංගල පස් පිඩැල්ල කැපීමෙන් අනතුරුව දුම්රිය ස්ථානයේ ඉදි කිරීම් ද ඇරඹුණි. එවකට ලංකා දුම්රිය සමාගම පිහිටි (වර්තමාන දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානය පිහිටි) මරදාන කාර්මික විද්‍යාලයට ඉදිරිපිට භූමිය ඒ සඳහා තෝරා ගැනුණි. කොළඹ නගරයට අලංකාරය සැපයූ බේරේ වැව දුම්රිය ‍පොළේ බටහිර මායිම විය. දුම්රිය ‍පොළ ඉදිරිපසින් පිටකොටුවට දිවෙන කරත්ත පාරක් විය. දැවැන්ත ගස්වලින් සෙවණ වූ අවම වටපිටාව නගරයකට වඩා ග්‍රාමීය පෙදෙසක සිරිය ගත්තේය.
දුම්රිය ස්ථානයේ මගීන්ට විවේක ගැනීමට අවශ්‍ය කාමරද ප්‍රවේශ පත්‍ර කවුළු දෙකක්ද ඉදි විය. දුම්රිය මාර්ගයේ කටයුතු අවසාන වීමෙන් පසු කොළඹ අත්‍යන්ත දුම්රිය ස්ථානයේ සිට අඹේපුස්ස දක්වා (කි.මී. 55) 1865 ඔක්තෝබර් 2 දා මංගල දුම්රිය ධාවනය වන බව පුවත්පත් දැන්වීමෙන් ජනතාව දැනුම්වත් කෙරිණි. මෙහි සිට ඇරඹූ එම පළමු දුම්රිය ගමනට මගීන් 84  දෙනෙක් එක්ව සිටියහ. එහි සිට ධාවනය වූයේ වර්ෂ 1864 දී එංගලන්තයෙන් මෙරටට ගෙන්වූ ලියෝගෝල්ඩ් නමින් හැඳින්වූ වාෂ්ප එන්ජිමක් යෙදූ දුම්රියකි.
වර්ෂ 1867 වන විට දුම්රිය මාර්ගය කඳු කපමින් මහනුවර දක්වා ඉදිවූ අතර අත්‍යන්ත දුම්රිය ස්ථානය වඩාත් කාර්යබහුල විය. එය වැවිලිකරුවන්, ව්‍යාපාරිකයන් ඉංගිරිසි නිලධාරීන් නිරන්තරයෙන් ගැවසෙන තැනක් බවට පත් විය. මුලින්ම කඳුකරයේ සිට ගෙනෙන කෝපි, කුළු බඩු, ඇතුළු නිෂ්පාදනද පසුව තේද මෙම දුම්රිය ස්ථානයේ සිට කොළඹ වරායට ගෙන ගොස් අපනයනය කෙරුණි. වර්ෂ 1895 වන විට කොළඹ සිට මාතර දක්වා කි.මී. 160ක දිගකින් යුත් දක්ෂිණ මාර්ගය ඉදි වූ අතර දුම්රිය ස්ථානය තවත් කාර්යබහුල විය. උතුරු දුම්රිය මාර්ගය 1905 වන විට යාපනයට ළඟා වූ අතර තලෙයිමන්නාරම මාර්ගයද පුත්තලම මාර්ගයද ඉදි කෙරෙමින්  පැවතුණි. මේ නිසා කොළඹ අත්‍යන්ත දුම්රිය ස්ථානයේ ඉඩ ප්‍රමාණවත් නොවීය. වඩාත් වැඩි ඉඩකඩ සහිත දුම්රිය ස්ථානයක් එයට නුදුරින් ඉදි කිරීම ඇරඹුණි.
එවකට වන වදුලක් වශයෙන් බේරේ වැවට යාබදව කොළඹ කොටුවේ පිහිටි මෙම බිම් කඩේ වැඩි ඉඩකඩ සහිත දුම්රිය ‍පොළක් ඉදි විය.
ඒ කොටුව දුම්රිය ස්ථානයයි. එහි සිට දුම්රිය ධාවනය ඇරඹුණේ 1908දීය. ඒ සමගම ශ්‍රී ලංකාවේ පුරෝගාමී මුල්ම දුම්රිය ස්ථානය භාවිතයට ගැනීම නැවතුණි. කොටුව දුම්රිය‍පොළ  වැඩි භාණ්ඩ ප්‍රමාණයක් හුවමාරු කළ හැකි ගබඩා රාශියකින්, මගී විවේක කාමර සහ සනීපාරක්ෂක පහසුකම්, ආපන ශාලා ආදියෙන්ද දීර්ඝ වේදිකාවලින්ද සමන්විත විය. මෙහිද දක්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණය. වේදිකාවල පියස්ස උඩ පාලම් ආදී සියල්ල ඉදිකර තිබෙන්නේ යකඩ කුලුනු සහ බාල්ක යොදාගෙනය. මෙහි වේදිකා 10කි.
අද වන විට දිනකට ලක්ෂ 5ක් පමණ දුම්රිය මගීන්ට මින් පහසුකම් සැලසේ. ආබාධිත මගීන් සඳහා විශේෂ පහසුකම්ද කොටුව දුම්රිය ස්ථානයේ සලසා 27-3ඇත. දිවයිනේ සෑම දුම්රිය මාර්ගයකම පාහේ ගමන් ආරම්භ කෙරෙන්නේ කොටුව දුම්රිය ස්ථානයේ සිටය. ඒ අතරින් බදුල්ලට දිවෙන ‍පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ, ගාල්ලට ගමන් කරන ගාලු කුමාරි, මාතරට යන රුහුණු කුමාරි, වවුනියාව දක්වා යන යාල්දේවී සහ රජරට රැජින වඩාත් ජනප්‍රිය දුම්රිය වේ. මෑතකදී ඇරඹුණු කොළඹ-මහනුවර අන්තර් නගර ශීඝ්‍රගාමී දුම්රියද මගීන් අතර ජනප්‍රිය වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තු කාලසටහනට අනුව කොටුව දුම්රිය ස්ථානයෙන් දිනකට යන දුම්රිය සංඛ්‍යාව 37කි.
ඉංගිරිසින්ගේ ධන ආයෝජනයෙන්ද ශ්‍රී ලාංකිකයන්ගේ සහ ඉන්දියානුවන්ගේ ශ්‍රමයෙන්ද ඉදි වූ කොටුව දුම්රිය ස්ථානය අද ගමන් පහසුකම් සලසන්නේ සාමාන්‍ය දුම්රිය මගීන්ටය. එහෙත් මුලින්ම මෙම ස්ථානයේ පස් පෑගුවේ ඉංගිරිසි වැවිලිකරුවන්, බ්‍රිතාන්‍ය නිලධාරීන් සහ දේශීය ධනවතුන් පමණකි. සාමාන්‍ය ජනයාට එකල දුම්රිය ගමන සිහිනයක් පමණක් විය. අද කඩිමුඩියේ දුම්රියට යන එන්නන්ට නම් මේ ඉතිහාසය ගැන සිතීමටවත් වෙලාවක් නැත.
කුසුම්සිරි විජයවර්ධන

No comments:

Post a Comment