Sunday 16 June 2013

විනිසුරන් පගා ගන්නවා - පොලීසිය පාතාලය සමග අනුර දිසානායක මහතා

කාලගුණය වෙනස්වීමෙන් ඇතිවූ ව්‍යසනය සම්බන්ධයෙන්, 13 දා පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අනුර දිසානායක මහතා පැවසුවේ විනිසුරන් පගා ගැනීමෙනුත් පොලීසිය පාතාලය සමග මිනීමැරීමෙනුත් විදුහල්පතිවරුන් සිසුන් හිංසනයට ලක්කිරීමෙනුත් මුළු සමාජ දේහයම කඩාවැටී ඇති ආකාරය පෙනීයන බැවින් කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුවට එයින් මිදීමට නොහැකි බවයි.

එහිදී ලබාදුන් සම්පූර්ණ පිළිතුර පහත පළවේ.

"කාලගුණ වෙනස්වීමෙන් ඇතිවූ ව්‍යසනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැදිහත් වීම පිළිබඳව රටේ ඛේදවාචකයක් ඇතිවී
තිබෙනවා. රටේ ආයතන තමන්ගේ වගකීම අතහැරලා තිබෙනවා. විනිසුරුවරුන් පගා ගන්නවා. පොලීසියේ නිලධාරීන් පාතාලය සමග එක්වී මිනී මරනවා. විදුහල්පතිවරු සිසුන් හිංසනයට පත්කරනවා. මේ ආකාරයෙන් සමාජයේ සියලු ආයතන වගකීම් මගහරිමින් තිබෙනවා. කඩා වැටීමට ලක්වෙලා තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හැසිරීම හරහා කියා පාන්නෙත් සමස්ත සමාජයේ කඩා වැටීමයි. මෙම සමස්ත සමාජ දේහය කඩා වැටුණු පසු එක් එක් ආයතනයේ හැසිරීම පිළිබඳ කතා කොට ඵලක් නැහැ.

මේ ආණ්ඩුවට ජනතාවගේ ජීවිත පිළිබඳව කිසිම ආදාළත්වයක් නැහැ. වකුගඩු රෝගයෙන් දහස් ගණන් මිනිසුන් මැරෙනවා. ධීවරයින් මරණයට පත් වෙනවා. ගොවි සහනාධාරය නැතිව දහස් ගණනක් විපතට පත්වී සිටිනවා. එම සාමාන්‍ය ජනතාව ගැන ආණ්ඩුවට කිසිදු අදාළත්වයක් නැහැ. ධීවරයින්ගේ යහපත පිණිස මුදල් යොදවන්න බැරි ආණ්ඩුව තමන්ගේ පුතුන්ගේ මනදොළ සපුරන්න කෝටි ගණන් වියදම් කරමින් කාර් රේස් පදිනවා. ශිරන්ති මැතිනියගේ සහෝදරයාගේ මනදොළ පිනවන්න එයාර් ලංකා එකට කෝටි ගණන් වටිනා ගුවන් යානා ගෙන්වනවා. ඒ නිසා මේ ආණ්ඩුවට ඇස් ඇරවන්න සිදුවී තිබෙන්නේ ජනතාවගේ ජීවිත දහස් ගණනක් බිලි දීලා. ආණ්ඩුව ජනතාවගේ ජීවිත බේරාගන්නවා වෙනුවට සිදුකරන්නේ ජනතාවගේ ජීවිත විනාශ වූ පසු ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීමයි."

No comments:

Post a Comment