Wednesday 12 June 2013

ගුවන් යානයේ පළමු පංතියේ මත්තලට ආ ‘හොරදෙටුවා’

සිංගප්පූරුවේ බැංකොක් නුවර සිට රුපියල් කෝටි හතරකට අධික වටිනාමකින් යුතු මැණික් හා ස්වර්ණාභරණ තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි කොළඹ ව්‍යාපාරිකයකු මත්තල ගුවන් තොටුපළ රේගු නිලධාරීන් අද (12) උදෑසන අත්අඩංගුවට ගත් බව රේගු ප්‍රකාශක හා රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණි මහතා පවසයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල් 827 දරන මගී ගුවන් යානයේ පළමු පංතියේ ගුවන් අවසර පත්‍රයක් ගෙන පැමිණි මෙම ව්‍යපාරිකයා ගැන සැක සිතු රේගු නිලධාරින් ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කර ඇතැයි රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේය.
බැංකොක් නුවර සිට පැමිණි ගුවන් යානය මත්තලට ළගා වී ඇත්තේ අද (12) උදෑසන 8.05 ට පමණය. ඒ අනුව රේගු පරීක්ෂාවට මගීන් යොමුවන අවස්ථාවේ සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරින් සමත් වී ඇත. මත්තල ගුවන් තොටුපළේ දී මෙතරම් විශාල විටිනාකමකින් යුතු ජාවාරමක් අසුවු පළමු අවස්ථාව මෙයයි. පනස් අට හැවිරිදි මෙම ව්‍යාපාරිකයා සතුව තිබු මැණික් හා ස්වර්ණාභරණ තොගය රාජසන්තක කොට ඔහුට දඩ නියම කිරීමට නියමිතව තිබිණි.
මැණික් හා ස්වර්ණාභරණ තොගයේ වටිනාකම ආසන්න වශයෙන් කෝටි හතර ඉක්මන බව සඳහන් වුවත් නිශ්චිත වශයෙන් එහි වටිනාකම අද සවස් වනතුරු ගණන් බලා නොතිබුණු බව රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණි මහතා පැවැසීය.
රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පරිදි,
අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් (ප්‍රාදේශීය) එස්.රාජේන්ද්‍ර, රේගු අධ්‍යක්ෂ (ප්‍රාදේශීය) කේ.කේ විතාන, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී.එන් හෙටිට්ආරච්චි, රේගු අධිකාරිවරුන් වන ජගත් ඔබේසේකර, ඩබ්ලිව්.කේ රන්දෙණිය හා සහකාර රේගු අධිකාරි චන්දිම කරුණාරත්න මහත්වරු මෙම වැටලීම කළහ.

No comments:

Post a Comment