Wednesday 12 June 2013

මමත් හොර ඡන්දයක් දැම්මා අයිරාංගනී සේරසිංහ

ඉකුත් ඉරිදා ඔබේ උපන්දිනය යෙදී තිබුණා. වයස කියන්න කැමතිද ?

දැන් මට වයස අවුරුදු 86ක්.

මේ දිනවල ඔබේ ජීවිතය ගෙවෙන්නේ කොහොමද ?
මේ දවස්වල නම් මම වැඩිපුර රංගන කටයුතුවල යෙදෙන්නේ නැහැ.මොකද පසුගිය අවුරුද්දේ අසනීප වුණු නිසා මට දැන් වැඩිපුර වැඩකරන්න එපා කියලා උපදෙස් ලැබිලයි තියෙන්නේ. නමුත් මම ළඟදී එක ටෙලි නාට්‍යයක වැඩකටයුතු ආරම්භ කළා.

පරිසරය සුරැකීමේ සංවිධානයක සාමාජිකාවක විදියටත් පසුගිය කාලයේ ඔබ ක්‍රියාකාරීව කටයුතු කළා. ඒ වැඩකටයුතුවල තත්ත්වය කොහොමද?
වනාන්තර රැක ගැනීමේ අරමුණෙනුයි අපි “රුක් රැකගන්නෝ” කියන සංවිධානය ආරම්භ කළේ. ඒ 1975 වසරේදී. ඒත් අසනීප තත්ත්වය නිසා දැන්නම් මට ඒ වැඩකටයුතුවලටත් යෙදෙන්න ලැබෙන අවස්ථා අඩුයි.

දැන් අපි ඔබේ ළමා කාලය දෙසට හැරෙමු.
මම ළමා කාලය ගත කළේ මූදුගමුව කියන ගමේ. අපේ ගෙදර ළඟ ඔයවල් දෙකක් තිබුණා. ඒ කා‍ලේ අද වගේ සද්ද බද්ද තිබුණේ නැහැ. අපි සෙල්ලම් කළෙත් ස්වාභාවික පරිසරයත් සමග ගැටිලයි.

අයිරාංගනී කියන්නේ ඒ කාලෙ හිටපු අනෙක් ගැහැනු ළමයින්ට වඩා වෙනස් චරිතයක් කියන්නේ ඇත්තද ?
දෙමව්පියෝ කරන්න එපා කියන දේවල් කරන එක තරුණ වයසේ අයගෙ සිරිතක්නේ. ඒ වගේ කරන්න එපා කියපු දේවල් තමයි මම ඒ කා‍ලේ ගොඩක්ම කළේ.

ඒ මොන වගේ වැඩද ?
Irangani1බයිසිකල් පැද්දා, පිරිමි ළමයි එක්ක සෙල්ලමට ගියා. කාරෙකකුත් එලෙව්වා. ඒ වගේ දේවල් ඒ කාලෙ අපට කරන්න එපා කියපු දේවල්නේ.

හොර ඡන්දයක් දැම්මෙත් ඒ විදියටද ?
ඒ විශ්ව විද්‍යාලයට ගියපු කා‍ලේ. මම ඒ දවස්වල වාමාංශිකයෙක්. අපි ඒ දවස්වල ඡන්ද වැඩවලටත් සහභාගි වෙනවා. ඒ අතරේ දවසක් අපේ අය කතා වුණා, “සමහරු හොර ඡන්ද දානවා අහුවෙන්නෙත් නෑනෙ” කියලා. “ඕක මහ ලොකු වැඩක්ද ? මටත් පුළුවන්” කියලා මම කිව්වා. එතකොට අනිත් අය කිව්වා පුළුවන්නම් දාලා පෙන්වන්න කියලා. ඒ වෙලාවේ ඒ අභියෝගය බාරගෙන මමත් ඒ මැතිවරණයේදී හොර ඡන්දයක් දැම්මා. හැබැයි මම හොර ඡන්දයක් දාපු බව කාටවත් අහුවුණෙත් නැහැ.

එතකොට රඟපෑමට යොමුවුණේ කොහොමද ?
මුලින්ම සම්බන්ධ වුණේ පාස‍ලේ නාට්‍යවලටයි. අධ්‍යාපනය සඳහා නුවර ගිය කාලයේ තමයි මුලින්ම ලොකු ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ රඟපෑවේ.

විවාහ ජීවිතයට ඇතුළත් වුණේ කොයි කාලෙදිද ?
මම විවාහ වුණේ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හමාර කළ ගමන්මයි. ඒ මහාචාර්ය එස්.බි. දිසානායක සමග. ඊට පසුව කාලයක් මම මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක් විදිහට සේවය කළා.

ඔබට රංගනය ගැන වැඩිදුර හැදෑරීමට අවස්ථාවක් ලැබුණද ?
විවාහ වුණාට පසුව මගේ මහත්තයා අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියා. මමත් ඔහු සමග එහි ගියා. එහිදී මට පාසල් දෙකකදී රංගනය ගැන වැඩිදුර ඉගෙන ගන්න ලැබුණා. රංගනය ගැන මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා මුලදී හිතාගෙන හිටියත් එහි අධ්‍යාපනය ලබද්දි තමයි රංගනය කියන්නේ මොන තරම් දේවල් ඉගෙනගන්න තියෙන ක්ෂේත්‍රයක්ද කියන කාරණය මට වැටහුණේ.

බොහෝ දෙනා නොදැන සිටියත්, ඔබ මාධ්‍යවේදිනියක් විදියටත් කටයුතුකර තිබෙනවා නේද ?
ඔව්. එංගලන්තයෙන් ලංකාවට ආවට පස්සේ මම මහත්තයාගෙන් වෙන් වුණා. ඊට පස්සෙ ජීවත්වෙන්න මාර්ගයක් අවශ්‍ය නිසා මම ටයිම්ස් කන්තෝරුවේ සේවයට බැඳුනා. මම එහි වසර හතරක් සේවය කළා. ඒකත් හොඳ අත්දැකීමක් වුණා.

ඉන්පසුව ඔබ යළිත් විවාහ වුණා ?
ඔව්. ඒ වින්ස්ටන් සේරසිංහ සමග. මට පුතාලා දෙන්නෙක් ලැබුණා. ලොකු පුතා හදිසි අනතුරකින් මිය ගියා. මම දැන් ජීවත්වෙන්නේ ‍පොඩි පුතා එක්කයි. ඔහුටත් පුතාලා දෙන්නෙක් ඉන්නවා.

ඔබ රඟපා තිබෙන චරිත අතරින් වඩාත්ම කැමති චරිතය නම් කරන්න පුළුවන්ද ?
මට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න හරිම අමාරුයි. මොකද මම හැම චරිතයක්ම රඟපානකොට ඒ චරිතවලට ඇතුළත්වෙලයි රඟපාන්නේ. නමුත් මම මුලින්ම සිනමාවේදී රඟපාපු “රේඛාව“ චිත්‍රපටයේ චරිතයට මම කැමතියි. ඒ වගේම “සුදු සෙවණැලි” සහ “දෙලොවක් අතර” චිත්‍රපට චරිතවලටත් කැමතියි. ඒත් මම වැඩිපුරම ආසා කරන්නෙ වේදිකාවේ රඟපාන්නයි.

ඇයි වේදිකාවට ඒ තරම් කැමති ?
වේදිකාවෙ චරිතයක් රඟපානවිට දිගටම රඟපාන්න ලැබෙනවා. නමුත් ටෙලි නාට්‍යවලදී සහ සිනමාවේදී කඩින්කඩ, විරාමයන් ඇතිවයි රඟපාන්නේ. එතකොට කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැහැ.

මෙගා වර්ගයේ ටෙලි නාට්‍ය වලට වර්තමානයේ බොහෝ විවේචන එල්ල වෙනවා. නමුත් ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ඔබේ දායකත්වයත් මෙගා ටෙලි නාට්‍යවල දැකගන්න ලැබෙනවා ?
මෙගාද මොනවාද කියලා මම නම් දන්නේ නැහැ. ඒත් ඉස්සරනම් චරිතයක් රඟපානකොට අපට මුලින් පිටපත කියවන්න දෙනවා. දැන්නම් අපි රඟපාන අතරතුරේ තමයි ඒවා ලියන්නේ. දැන් කා‍ලේ ටෙලි නාට්‍ය හැදෙන්නෙ එහෙමයි. ඒ නිසා ටෙලි නාට්‍යයේ අවසානය ගැන නොදැන අපිට අපේ චරිත හරිහැටි මවාගන්න අමාරුයි.

රංගනය වෙනුවෙන් කොපමණ සම්මාන හිමිවෙලා තිබෙනවාද ?
සම්මාන නම් ගොඩක් ලැබිලා තියෙනවා. හැබැයි මම නම් කැමැති නැහැ රංගනය, සංගීතය වැනි දේවල් සඳහා තරග පවත්වනවාට.

ඇයි අකමැති ?
ඒවා කලාවන්. තමන්ගේ තෘප්තියටයි ඒ දේවල්වල නිරතවිය යුත්තේ. එහෙම නැතුව ඒවා තරගයකට කළයුතු දේවල් නමෛයි.

මීට මාස කිහිපයකට පෙර ඔබේ ජීවිත කතාව ඇතුළත් ‍පොතකුත් එළිදැක්වුණා ?
ඔව්. කුමාර් ද සිල්වා තමයි ඒ ‍පොත රචනා කළේ. මම නම් මුලදි මං ගැන ‍පොතක් ලියනවාට කැමැති වුණේ නැහැ.

ඒ ඇයි ?
ජීවිත කතා ලියන්න ඕන මහත්මා ගාන්ධිතුමා වගේ අය ගැනනේ. මං ගැන ලියන්න මොනවද මං කරලා තියෙන්නේ.  ඒත් දැන් ඒ ‍පොතේ සිංහල මුද්‍රණයකුත් ලබන අගෝස්තු මාසෙදි පිටවෙනවා.

ඔබ දැන් අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ගතවූ කාලය දෙස හැරී බලද්දි රංගන ශිල්පිනියක් ලෙස ඔබ බලා‍පොරොත්තු වූ ගමනක්ද මේ ඇවිත් තිබෙන්නේ ?
ඒ කාලෙ තියා අද වුණත් මම එහෙම හිතන්නේ නැහැ. අපි ක්ෂේත්‍රයට අපු කා‍ලේ රැකියාවක් විදියට රංගනය තිබුණෙ නැහැ. මේ වගේ රැකියාවල් වලට අපට ඒ කා‍ලේ යන්නවත් දෙන්නෙ නැහැ. ඒ නිසා රැකියාවක් බලා‍පොරොත්තුවෙන් රඟපාන්න යනවා කියල මම කවදාවත් හිතුවෙවත් නැහැ. මගේ තිබුණු ආසාවටයි මම රඟපෑම කළේ. එහෙම නැතුව මම රංගන කටයුතු කරන්නෙ කිසිවක් දිනා ගැනීමේ අදහසකින් නෙමෙයි.

කිෂාන් කනංකෙ

No comments:

Post a Comment