Saturday 15 June 2013

දහතුන්වන සංශෝධනය මුළුමනින්ම අහෝසි කළ යුතුයි - පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක


දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මේ දිනවල වඩාත් කතාබහට ලක්‌ව ඇති මාතෘකාවකි. ඒ පිළිබඳවත්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය අර්බුදය පිළිබඳවත් ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමඟ කළ සංවාදයක සටහන් මතු දැක්‌වේ.

දහතුන්වන සංශෝධනය
මුළුමනින්ම අහෝසි කළ යුතුයි

- පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

ප්‍රශ්නය - පළාත් සභා ඒකාබද්ධ වීම සඳහා ඇති බලතල ඉවත් කරමින් දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒමට ආණ්‌ඩුව සූදානම්... ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහතුන් වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුද? නැත්නම් සංශෝධනය කළ යුතුද?

පිළිතුර - මුළුමනින්ම අහෝසි කළ යුතුයි. මෙය විෂ දළ ගලවන්න පුළුවන් සර්පයෙක්‌ නොවේ. මේ සර්පයාගේ ඇඟ පුරාම විෂ.

ප්‍රශ්නය - දහතුන්වැනි සංශෝධනය අහෝසි කළ යුත්තේ ඇයි?

පිළිතුර - පළාත් සභා අපේ රටේ ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ නොවේ. ජාතික ප්‍රශ්නය වර්ධනය කරන්න, එය තීව්‍ර කරන්න මේ දහතුන් වැනි සංශෝධනය. නැතිනම් පළාත් සභා හේතු වෙනවා. නමුත් මේ මොහොතේ දහතුන් වැනි සංශෝධනය අහෝසි කිරීමත්, දහතුන ඉල්ලීමත් තියෙන්නෙ වෙනත් තලයක. දහතුන අහෝසි කළ යුතු වන්නේ ඒ හා සමගාමීව දෙමළ ජනතාව, විශේෂයෙන්ම උතුරේ ජනතාව මුහුණදී ඇති ගැටලුවලට වැඩපිළිවෙළක්‌ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමෙන් පමණයි. එසේ නොමැතිව දහතුන පවත්වාගෙන යැම හෝ අහෝසි කිරීම අපේ රටේ ජාතික ප්‍රශ්නය වර්ධනය වීමට හේතු වෙනවා.

ප්‍රශ්නය - පළාත් සභා පිහිටුවන්නේ අසූ හතේ ඉන්දු ලංකා ගිවිසුමට අනුව. දැන් අවුරුදු විසිපහක්‌ ගතවෙලා. උතුරට පළාත් සභාවක්‌ දෙන්න සූදානම් වෙද්දී දකුණේ දේශපාලන පක්‍ෂ ඊට විරුද්ධ වෙනවා. මේක සාධාරණද?

පිළිතුර - ඒක තමයි මම මුලදීත් පැහැදිළි කළේ. යුද්ධය අවසන් වෙලා අවුරුදු හතරක වටිනා කාලයක්‌ අපතේ ගිහින්. ප්‍රභාකරන් තම සංවිධානයට මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කරන්න ප්‍රධාන සටන් පාඨය කරගත්තේ කොළඹ සිංහල ආණ්‌ඩුව අපට සලකන්නේ නෑ. ඒ නිසා අපිට වෙනම දෙමළ ආණ්‌ඩුවක්‌ ඕනෑ, කියලා. ප්‍රභාකරන් කී ඒ අදහස ඒ මොහොතේ පිළිගත් දෙමළ ජනතාවක්‌ වගේම එය පිළිනොගත් දෙමළ ජනතාවක්‌ හිටියා. පසුගිය වසර හතරක කාලය තුළ ආණ්‌ඩුව ඔප්පු කර ඇත්තේ ප්‍රභාකරන් මේ දෙමළ ජනතාවට පැවසූ මතය සත්‍ය බවයි. මොකද තවමත් දෙමළ ජනතාව විශාල ප්‍රමාණයක්‌ අත්අඩංගුවේ. ඒත් කේ. පී., දයා මාස්‌ටර්, කේ. පී. ගේ ගෝලයෝ එළියට දානවා. උතුරේ ඉඩම් ප්‍රශ්නය අතිශය සංකීර්ණයි. පලවා හැරි මුස්‌ලිම්, සිංහල ජනතාව වගේම රට හැරගිය දෙමළ ජනතාවටත්, අවතැන් වූ ජනතාවටත් අයිති ඉඩම් උතුරේ තියෙනවා. හමුදාව අධි ආරක්‍ෂිත කියා අත්පත් කරගත් ඉඩම්, එල්.ටී.ටී.ඊ. ය වීර පවුල් ලෙස පදිංචි කරවූ ඉඩම්, මුළු පවුලම මියගොස්‌ අයිතිකරුවන් නැති ඉඩම් උතුරේ තියෙනවා. ආණ්‌ඩුව පළමුව කළ යුත්තේ මේ ඉඩම්වල මුල් පදිංචිකරුවන් වේගවත්ව හඳුනාගැනීමයි. ඒත් ආණ්‌ඩුව ඒ වෙනුවට කළේ බැල හෝටල්කරුවන්ට ඒ ජනතා ඉඩම් ලබාදීමයි. ඊනියා සංවර්ධනයට ඒ ඉඩම් පවරා ගත්තා. ඒ ගැටලු එහෙම තියෙද්දී දකුණේ අය ගෙනගොස්‌ එහි පදිංචිකරනවා. අවතැන් වූ අයගේ ගැටලු, එහි පවත්වාගෙන යන අර්ධ මිලිටරි පාලනය, වගේම ආණ්‌ඩුව හැසිරෙන්නේ එම පළාත් යටත් විජිතයක්‌ කියලා හිතාගෙන. උතුරේ ජනතාව යටත් ජාතියක්‌ ලෙසයි සලකන්නේ. ඔබ හිතන්න මේ වෙසක්‌ උත්සවයේදී ලොකුම තොරණ හැදුවේ කිලිනොච්චියේ. එහි වෙසක්‌ කලාපයක්‌ කළා. එයද ආගමික සහජීවනය? උතුරේ ජනතාවට පෙන්නුවේ දකුණේ අය ආක්‍රමණිකයන් විදිහටයි. එමනිසා පසුගිය අවුරුදු හතරක කාලය එම ජනතාව තුළ සැකය, අවිශ්වාසය ඇතිකරමින් සතුරුබව අඩු කරනවා වෙනුවට එය වැඩි කළා. එනිසා දෙමළ ජාතිවාදයට වඩාත් හිතකර තෝතැන්නක්‌ නිර්මාණය වුණා. වෙන පක්‍ෂවලට ඒ පළාතට යන්න දුන්නේ නෑ. අපේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාට තුවාල වනතුරු පහර දුන්නා. එක්‌සත් ජාතික පක්‍ෂයේ සමහර ක්‍රියාකාරකම්වලට විවිධ බාධා එල්ල කළා. ආණ්‌ඩුව පසුගිය අවුරුදු හතර තුළ කළේ ජාතික සමගිය ගොඩනැගීම වෙනුවට ජාතික විරසකභාවය ගොඩනැංවීමයි. රට බෙදීමට අවශ්‍ය මනෝභාවය ගොඩනැගීමටයි ආණ්‌ඩුව ඒ කාලය තුළ සම්පූර්ණ කළේ. දැන් දහතුන හෝ දහතුන ප්ලස්‌ ගැන කතා කිරීම තේරුමක්‌ නැති එකක්‌ බවට පත් වෙලා.

ප්‍රශ්නය - පළාත් සභා අහෝසි කිරීමට කෙරෙන බලපෑම් නිසා දකුණේ දේශපාලන පක්‍ෂ පිළිබඳව උතුරේ ජනතාව තුළ යම්තාක්‌ දුරකට හෝ තිබූ විශ්වාසය පළුදු වෙනවා නේද?

පිළිතුර - නැහැ. මා කියන්නේ දහතුන්වැනි සංශෝධනය මත ඇතිවන සාකච්ඡාව නිසා නොවේ. දමිළ ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙන්නේ පසුගිය අවුරුදු හතරේ ආණ්‌ඩුව කළ ක්‍රියාමාර්ග හේතුවෙන්. දහතුන යනු එම ක්‍රියාමාර්ගවල අවසන් රබර් සීල් එක ගැසීමයි. ඒ නිසායි අපි කියන්නේ දහතුන අහෝසි කිරීමට සමගාමීව දෙමළ ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට ක්‍ෂණිකව විසඳිය යුතු හා දිගුකාලීනව විසඳිය යුතු ගැටලු හඳුනාගන්නා දේශපාලන පැකේජයක්‌ ක්‍රියාවට නැංවිය යුතුයි කියා. එසේ නැතිව දහතුන අහෝසි කිරීම හෝ ඒ යටතේ පළාත් සභා පිහිටුවීම මෙම ගැටලුව වර්ධනය කිරීමක්‌.

ප්‍රශ්නය - යළිත් පැකේජයක්‌?

පිළිතුර - පැකේජය කියන වචනයට විවිධ අර්ථකතන තියෙනවා. ඉන් ගම්‍යවන්නේ දමිළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත වන ඔවුන් වර්තමානයේ මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ඇති, අපේ රට බහුජාතික රාජ්‍යයක්‌ ලෙස ව්‍යවස්‌ථානුකූලව පිළිගන්නා, සෑම ජාතිකත්වයකටම ඔවුන්ගේ අනන්‍යතාව ඇතිව හා ඊට ගරු කරන, බෙදීම වෙනුවට ජාතික සමගිය වෙත ගමන් කරන දේශපාලන ලියවිල්ලක්‌. ඒ පිළිබඳ ජනතා විමුක්‌ති පෙරමුණ සකස්‌ කරන දේශපාලන පැකේජය ඉතා ඉක්‌මනින් ඉදිරිපත් කරනවා.

ප්‍රශ්නය - ඒ කියන්නේ දහතුන සංශෝධනය කිරීමට හෝ අහෝසි කිරීම සඳහා ආණ්‌ඩුව හෝ ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට පක්‍ෂව ජනතා විමුක්‌ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ කරන බවයි?

පිළිතුර - නැහැ. ඡන්දය දෙනවද නැද්ද යන්න ඒ සංශෝධන, එහි අරමුණු සැලකිල්ලට ලක්‌කරමින් තමයි අපි තීරණය කරන්නේ. ඒත් ඔය ආණ්‌ඩුව ඇතුලේ රට බෙදීම වෙනුවෙන් කෑගහන මහත්තුරු සැබැවින්ම පසුගිය අවුරුදු හතර තුළ දෙමළ ජනතාව බෙදුම්වාදී දිහාවට තල්ලු කිරීමට ආණ්‌ඩුව කටයුතු කරද්දී කටක්‌ ඇරලා කිව්වේ නෑ ඒ ගැන. උතුරේ පත්තර කන්තෝරු ගිනි තියද්දී, ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට පහර දෙද්දී, දෙමළ තරුණයන් පැහැරගෙන යද්දී කිසිවක්‌ නොකී අය දැන් හීනෙන් බයවෙලා වගේ නැගිටලා රට බෙදනවා යෑයි තප්පුලෑම. සැබැවින්ම ඔවුන්ගේ නිරුවත වසා ගැනීමට දරන ප්‍රයත්නයක්‌ විතරයි.

ප්‍රශ්නය - පළාත් සභා බලතල සංශෝධනය සඳහා තේරීම් කාරක සභාවක්‌ පත් කිරීමටත් ආණ්‌ඩුව සූදානම් වෙනවා. මේ තේරීම් කාරක සභාවට ඔබ පක්‍ෂය සහභාගි වෙනවද?

පිළිතුර - ආණ්‌ඩුව මේ ප්‍රශ්නයට මුහුණ නොදී මඟහැර යන්නයි තේරීම් කාරක සභා අටවන්නේ. ඒ වගේම ආණ්‌ඩුව පත් කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවල ඉතිහාසය ගැන කවුරුත් හොඳින් දන්නවා. මෑතක හොඳම උදාහරණය තමයි අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි තේරීම් කාරක සභාව. එහිදී අනෙක්‌ පක්‍ෂවල මතයට ඉඩ නොදී ආණ්‌ඩුව තම වුවමනාවන් සඳහා විරුද්ධ මත යටපත් කළා. ඒ සියල්ල සලකද්දී ආණ්‌ඩුවේ තේරීම් කාරක සභා පිළිබඳ අපට විශ්වාස කරන්න බෑ. ඒ නිසා අපි ඔය තේරීම් කාරක සභාවට යන්නේ නෑ. ආණ්‌ඩුව පළමුව කළ යුත්තේ මේ ප්‍රශ්නය පිළිබඳ තමන්ගේම වූ යෝජනාවලියක්‌ එළිදැක්‌වීමයි. ආණ්‌ඩුව ඇතුලේ පක්‍ෂ අතර දහසක්‌ ප්‍රශ්න තියෙනවා. ඒවා නිරාකරණය කරගෙන එක්‌ යෝජනාවක්‌ එළියට දැම්මොත් ඒ ගැන සලකා බලන්න පුළුවන්. එහෙම නැතිව ආණ්‌ඩුව හදන්නේ ඇතුලේ තියෙන ගැටුම් තේරීම් කාරක සභාව හරහා සමනය කර ගන්න. ඒ ගැටුම් අප මත පටවන්නයි මේ හදන්නේ.

ප්‍රශ්නය - සරසවි සිසු අර්බුදය දෙසට අවධානය යොමු කරමු, සිසුන්ගේ පන්ති තහනම, ශිෂ්‍යභාවය අහෝසි වීම පිළිබඳ වගකීම භාරගත යුත්තේ ජනතා විමුක්‌ති පෙරමුණ කියා චෝදනා කළොත්?

පිළිතුර - එය මුළුමනින්ම වැරදියි. 2012 දී අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 2.86 ක්‌ වෙන් කළා. හැත්තෑ දෙකේදී එහි අගය සියයට 5.2 යි. අද එය සියයට 1.49 දක්‌වා අඩු කරලා. ඊට සමාන්තරව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරමින් රුපියල් ලක්‍ෂ හැත්තෑවට, අසූවට උපාධි කඩ විවෘත කර තිබෙනවා. විශ්වවිද්‍යාල ඇතුලේ පාඨමාලා මුදලට විකුණමින් තිබෙනවා. එනිසා අද අධ්‍යාපනය වෙළෙඳ භාණ්‌ඩයක්‌ බවට පත් කරලා. මුදල් ඇති අයට එය මිලට ගැනීමේ හැකියාවක්‌ නිර්මාණය කරලා. මේ ආණ්‌ඩුවේ ඉලක්‌කය වී තිබෙන්නේ පොදු ජනතාවගේ අයිතියක්‌ වන අධ්‍යාපනය වරප්‍රසාද ලත් කුඩා පන්තියක වරප්‍රසාදයක්‌ බවට පත්කිරීමටයි. ඊට එරෙහිව සිසුන් තුළ විශාල විරෝධයක්‌, උද්ඝෝෂණයක්‌ මතුව තිබෙනවා. එම උද්ඝෝෂණය මැඬ පැවැත්වීමට අපේ රටේ අධ්‍යාපන ව්‍යqහය ගහලයෙක්‌ට භාර දී තිබෙනවා. ඔහු සිසුන් දහස්‌ ගණනක්‌ සිරගත කරන බවට, පංති තහනම් කරන බවට දොඩවමින් ඉන්නවා. එය වාක්‍යවලට සීමාවී නෑ. මේ වෙද්දී සිසුන් 217 ක ගේ පංති තහනම් කරලා. කොළඹ, ජ'පුර, කැලණිය ශිෂ්‍ය සභා පිහිටුවන්න බැරි තත්ත්වයක්‌ ඇති කරලා. තම හිතවාදී මැර කණ්‌ඩායම් යොදවා අධ්‍යාපන කප්පාදුවට එරෙහි සිසු නැගිටීම මර්දනය කරමින් ගැටුම් නිර්මාණය කරලා. මේ ගැටුම් මුළුමනින්ම අධ්‍යාපන කප්පාදුවට ආණ්‌ඩුව ගෙන යන මුග්ධ අරමුණ ඉටු කර ගැනීම සඳහා ආණ්‌ඩුව විසින්ම සැලසුම් කර දියත් කර ඇති තත්ත්වයක්‌. ජවිපෙට ශිෂ්‍ය සංගමයක්‌ තියෙනවා. එය සෑම සංවිධානයකටම වඩා ඉදිරියෙන් තිබෙන්නේ. අපි අධ්‍යාපන ඉතිහාසය වගේම විශ්වවිද්‍යාල සංස්‌කෘතීන් ආදිය පිළිබඳ විවිධ පොත්පත් ප්‍රකාශයට පත්කළ ශිෂ්‍ය සංගමයක්‌. සෑම මසකම පුවත්පතක්‌ නිකුත් කරන ශිෂ්‍ය සංගමයක්‌. මෙරට අධ්‍යාපනයේ බුද්ධිමය ක්‍ෂේත්‍රයට ඒ හරහා අමතන ව්‍යාපාරයක්‌. අපේ ශිෂ්‍ය සංගමයට වඩාත් හිතකර සාමකාමී තත්ත්වයක්‌ විශ්වවිද්‍යාල තුළ තිබෙනවා. අපි මතවාදීව නිරවුල් වගේම ශක්‌තිමත්. ඒ මතයන් සිසුන් වගේම ආචාර්යවරු සමඟ විවෘතව සාකච්ඡා කළ හැක්‌කේ මේ සාමකාමී පරිසරය තුළයි. එනිසා සැබවින්ම ගැටුම් අවශ්‍ය අපට නොවේ, ආණ්‌ඩුවටයි.

ප්‍රශ්නය - සරසවි සිසුන් උසිගන්වන්නේ ජනතා විමුක්‌ති පෙරමුණ නොවේද?

පිළිතුර - මෙතැන කිසිම උසිගැන්වීමක්‌ නෑ. ඔබ හිතනවාද ඉතා අසීරුවෙන් විශිෂ්ට ලෙස උසස්‌ පෙළ සමත්ව විශ්වවිද්‍යාලයට එන දරුවන් උසිගැන්වීමකට හෝ රැවටීමකට ලක්‌ කළ හැකිය කියා. එය වැරදි අදහසක්‌, මෙතැන ඇත්තේ අධ්‍යාපන කප්පාදුවට එරෙහි සිසු හඬක්‌. ඒ හඬ යටපත් කිරීමට ආණ්‌ඩුව මර්දනය දියත් කරනවා. මෙයයි ගැටුම. සැබවින්ම අධ්‍යාපනයට කරන මේ කප්පාදුවට එරෙහිව ජනතාවගේ අධ්‍යාපන අයිතිය පැහැර ගැනීමට එරෙහිව පෙරට ඇදෙන්නේ ජනතාවයි. විශ්වවිද්‍යාල සිසුන් කරන්නේ අනාගත දරු පරපුර උදෙසා හඬ නැගීමයි. එම නිසා අපි ඔවුන්ට ස්‌තූතිවන්ත විය යුතුයි.

සාකච්ඡා කළේ
අජිත් අලහකෝන්

No comments:

Post a Comment