Sunday 16 June 2013

ඕවා එච්චර ගණන් ගන්න එපා දරුවෝ. ඕවා ජීවිතේ අත්දැකීම් විදුහල්පතිනියගේ අවවාදය මාත‍ලේ පාසලක ගුරුවරියෝ සිසුවියන්ව මුදලට විකුණු කතාව

මාත‍ලේ නගරයේ පාසලක බාල වයස්කාර සිසුවියක අසම්මත ලිංගික හැසිරීමකට යොදා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් මීට සති කීපයකට පෙර වාර්තා විය. එකොළොස් හැවිරිදි මෙම සිසුවිය පාස‍ලේම සිසුවියන් දෙදෙනකු විසින් අපයෝජනය කළ බවට පැතිර ගිය රාවය නගරයේ පාසල්වල ඉගෙනුම ලබන දියණිවරුන්ගේ මව්පියන් කලබලයට පත් කරවන්නට සමත් විය.

ඉන්පසු ඔවුන් පාසල පිළිබඳව විපරම් කළද වින්දිත දැරියගේ මව්පියන් හා විමර්ශන නිලධාරීන්
පාසලට සිදුවීමට ඉඩ ඇති අවදානම සලකා පාසල පිළිබඳව වැඩිදුර තොරතුරු සමාජගත කිරීම ප්‍රතික්ෂේප      කළහ. එහෙත් වින්දිත දැරියගේ මව්පියන් විසින් මාත‍ලේ මූලස්ථාන ‍පොලීසියට කළ පැමිණිල්ල විමර්ශනය කළ නිලධාරීහු මෙම ළමා අපයෝජනය තහවුරු කර අධිකරණයට කරුණු වාර්තා කිරීමට පසුබට නොවූහ.
ඉක්බිති පැමිණිල්‍ලේ සඳහන් අක්කලා ‍පොලීසියට කැඳවූ මාත‍ලේ මූලස්ථාන ‍පොලීසිය නීතිය ක්‍රියාත්මක කළේ මෙවන් ක්‍රියාවන්ගෙන් ළමා පරපුර ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව විය හැකිය.
නමුත් පාසල තුළ ඇතිව තිබුණේ අමුතු තත්ත්වයකි.
වින්දිත දැරිය පාසලට කැඳවූ විදුහල්පතිනිය දැරියට ලබාදී ඇත්තේ කදිම අවවාදයකි. එම අවවාදය වින්දිත දැරියගේ මව්පියන්ට මෙන්ම නගරයේ පාසල්වලට එන අනිකුත් දියණිවරුන්ගේ මව්පියන්ටද වේදනා ගෙන දෙන්නක් විය.
ඕවා එච්චර ගණන් ගන්න එපා දරුවෝ. ඕවා ජීවිතේ අත්දැකීම් විදුහල්පතිනියගේ අවවාදය වූයේ එයයි. දැරියට ලබාදුන් මෙම අවවාදයෙන් දරුවන් ඇති අම්මලා අප්පලාගේ ලෝකය ගිනි ගත්තේය. ගුරු මාතාවක මෙන්ම මවක, පියකු ලෙස දරුවන්ට අවවාද කළ යුතු විදුහල්පතිනියගේ මෙම අපූරු අවවාදය කටින් කට පැතිර ගියේ අවිනිශ්චිත අඳුරක සෙවණැලි තම දරුවන් වසා පැතිරීමටද ඉඩ ඇති බවට බරපතළ සැකයක් මව්පියන් තුළ ඇති කරමිනි.
ඉක්බිති ඔව්හු මෙම පාස‍ලේ සිදුවූ මෙවැනි අපයෝජනයක් පිළිබඳ ප්‍රසිද්ධියේ දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයින්ද දැනුවත් කළේ දරුවන්ගේ අනාගතය සමග සෙල්ලම් කළ නොහැකි බැවින්ය.
කීර්තිමත් උරුමයක් ඇති පාසලක විදුහල්පතිනියකගේ මෙම අපකීර්තිමත් අවවාදයෙන් තවදුරටත් දරුවන්ට යහපතක් වේදැයි සැකයෙන් බැලීමට මව්පියන්ට තිබෙන තත්ත්වයක් යටතේ ඔව්හු තවදුරටත් ක්‍රියාත්මක වූහ.
මේ සිද්ධිය පිළිබඳව මට තොරතුරු ලැබිලා තියෙනවා. විදුහල්පතිගේ ක්‍රියා කලාපය අනුමත කරන්න බැහැ. අපි පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කමිටුවට දන්වලා තියෙනවා. ඒ හැරුණු කල මේ ගැන අධ්‍යාපන ඇමැතිතුමාව අප විසින් දැනුවත් කළා. ජූනි 13 දින මාත‍ලේ දිසා ‍ලේකම් කාර්යාලයේදී පැවැති මාත‍ලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැනනැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ
ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා සඳහන් කළේය.
දේශපාලන නායකත්වය සහ මාත‍ලේ දිස්ත්‍රික්කයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහභාගි වන මාත‍ලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මෙම පුවත හෙළි කළේ රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති (එජනිස) දේශමාන්‍ය, ආචාර්ය ටී. ඩී. ජයතිස්ස මහතා විසින්ය.
මේවා කියලත් බැහැ. නොකියත් බැහැ. අපේ දරුවෝ ටික රැකගන්න ඕන. මාත‍ලේ නගරයේ විද්‍යාලයක ගුරුවරියෝ පස්දෙනෙක් ගණිකා වෘත්තියේ යෙදෙනවා කියලා වාර්තා වෙනවා. අහිංසක දරුවොත් මේවට අල්ලා ගන්නවා.
අහිංසක ළමයකු මේ විද්‍යාලයේදී අපයෝජනය වෙලා තියෙනවා. විදුහල්පතිනිය නිහඬයි. මේවා ගැන ඉහළට දන්වලා මේ අහිංසක දරුවෝ බේරා ගන්න දේශමාන්‍ය ආචාර්ය ටී. ඩී. ජයතිස්ස මහතා කරුණු අනාවරණය කළේ ඒ ආකාරයෙනි.
ළමා අපයෝජනය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළා. අධිකරණය ඉදිරියේ නඩු පවරලයි තියෙන්නේ මාත‍ලේ කොට්ඨාසය භාර
‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා පවසයි.
මෙම පාස‍ලේ විදුහල්පතිවරිය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවත් පාසල් දරුවන්ගේ ආරක්ෂාව සහ පාස‍ලේ කීර්ති නාමය රැකගැනීමේ අවශ්‍යතාව ඇති බැවින් මෙම විදුහල්පතිවරිය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම්වත් කර තීරණයක් ලබා ගැනීමටත් කමිටුව තීරණය කළේය. මෙම පාස‍ලේ සිසු දැරියන් කීපදෙනකු ගැබ් ගැනීමේ සිද්ධියක් පිළිබඳව මෙම අවස්ථාවේදී කරුණු හෙළි කෙරුණි.

හේවා පී. කරුණාරත්න

No comments:

Post a Comment