Sunday 16 June 2013

ශිෂ්‍ය, මව්පිය අරගලයේ ප්‍රතිඵල නිසා ආණ්ඩුව හිතාගෙන ඉන්න විදියට ඉදිරියට යමාට නොහැකි වී ඇත


උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක වලං කඩේට පැන්න ගොනා වගේ හැම එකටම ඇනගෙන ඇනගෙන යන වේගයට, හතු පිපෙන්නා වගේ මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිවීමට ඉඩ තිබූ බව සමාජවාදී ජාතික ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පෞද්ගලික විශ්ව විද්‍යාල බිහිවීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් නතර කර ගැනීමට නොහැකි වුවත් එකී මතය සමාජගත කිරීමට හැකි වී ඇති බව හෙතෙම කියයි.

සියයට 6ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස ඉල්ලීම, පා ගමන්, පිකටින් වැනි විරෝධතා ව්‍යාපාර මගින් ආණ්ඩුවට දැනෙන වෙනසක් කිරීමට හැකි වීම නිසා අධ්‍යාපනය පෞද්ගලීකරණය අඩාල වී ඇතැයි නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කොළඹදී අද (16) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

1982 පටන්ගත්ත උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තීරණාත්මකව පරාජය කිරීමට ලැබුණේද අවුරුදු 6ක් තිස්සේ සිසුන්, ගුරුවරුන් හා ‍මව්පියන් කළ කැපවීම නිසා බව ඔහු එහිදී පෙන්වාදුන්නේය.

ආණ්ඩුව හිතාගෙන හිටි ආකාරයට මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයෙන් වැඩක් ගැනීමට නොහැකි වුණේ මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයත් මව්පියන්ගේ විරෝධයත් නිසා බව හෙතෙම කීවේය.

ශිෂ්‍ය, මව්පිය අරගලයේ ප්‍රතිඵල නිසා ආණ්ඩුව හිතාගෙන ඉන්න විදියට ඉදිරියට යමාට නොහැකි වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ‍ දේශපාලන විද්‍යා අංශයේ කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් ඉවත් කිරීමට සැලසුම් කිරීම වූ කලී අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව ඔහු විසින් ලියන ලද ග්‍රන්ථයක් මුල් වී ඇතැයි මාධ්‍ය හමුව හමුව ඇමතු නිදහස් අධ්‍යාපනය සුරැකිමේ ව්‍යාපාරයේ සම කැඳවුම්කරු දේවක පුංචිහේවා මහතා පැවසීය.

අනුරුද්ධ ප්‍රදීප් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකු බවත් එහෙත් ඔහු කළ එකම වැරැද්ද ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේචනය කර ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලිවීම බවත් පුංචිහේවා මහතා කීවේය.

සෑම විශ්ව විද්‍යාලයක් තුළම හොඳින් හෝ නරකින් තමන්ගේ පෞද්ගලීකරණ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උත්සාහ ගන්නා අයුරු ඉන් පැහැදිළි වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

මේ මස 03 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලය තුළදී සරසවි සිසුන් 155 දෙනෙකුට පන්ති තහනමක් පනවා ඇතැයිද එම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණ.

No comments:

Post a Comment