Thursday 13 June 2013

එස්.බී,බන්දුල ඇමතිවරු වුණු හැටි අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හඟුරන්කෙත උපන් සුමනවීර බණ්ඩා අධ්‍යාපනය බාර එස්.බී.දිසානායක වුණේ නිදහස් අධ්‍යාපනයේ වරමින් බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි අනුර කුමාර මන්ත්‍රිවරයා අවධාරණයි කළේ ජම්බුගස්මුල්ලේ උපත ලද බන්දුල ඇමතිවරයා මේ තනතුරට ඇවිත් තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසා වුවත් අද ඔහුන්ට එය අමතක වි ඇති බවයි.
මර්දනයන්, අවලාද හමුවේ අධ්‍යාපනය තීරණාත්මක සංධිස්ථානයකට ළඟා වෙමින් තිබෙනවා. අපි දන්නවා 1977න් පසු අපේ රටේ කොල්ලකාරී, නව ලිබරල් ආදී නම්වලින් හැඳින්වූ ආර්ථික ක‍්‍රමවේදය රාජ්‍ය සේවාවෙන් මුළුමනින්ම ඉවත් වෙමින් රජයේ සේවා කප්පාදු කරමින් හා එම සේවාවන් පුද්ගලික අංශයට පවරමින් ආවා. මත්තේගොඩ, වේයන්ගොඩ පෙහෙකම්හල්, කිරිපිටි, ටයර්, සීනි ආදී රජය සතු කර්මාන්ත ශාලාවන් මුළුමනින්ම පෞද්ගලික අංශයට විකුණා දැම්මා. සෞඛ්‍ය සේවා සහ අනෙකුත් මහජන සේවා කප්පාදුවට අවතීර්ණ වුණා. එහි භයානක ගොදුර බවට පත්වුණේ අධ්‍යාපනයයි. ඒ වෙනුවෙන් 77න් පසු පත්වූ ආණ්ඩු, නීති, ප‍්‍රඥප්ති කෙටුම්පත් හැදුවා.
රනිල් වික‍්‍රමසිංහ ධවල පති‍්‍රකාව හරහා අධ්‍යාපනයේ බර දෙමව්පියන්ට පැවරීමට උත්සාහ දැරුවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගොඩනැගීම ආරම්භ කළා. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරවල හා ජනතාවගේ විරෝධය හමුවේ ඒවා සාර්ථක කරගන්න බැරි වුණා. ඒවගේම චන්ද්‍රිකාත් මේ ප‍්‍රයත්නයම දැරුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 253ක ආධාර ලබාගැනීම පිණිස ගිවිසුම් අත්සන් කළා. එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වූ ඉන්දික ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැහැදිලිව ප‍්‍රකාශ කළා අධ්‍යාපනයට පුද්ගලික අංශය යොදා ගන්නවා කියලා. නමුත් එදත් දෙමාපිය, ශිෂ්‍ය විරෝධය නිසා ඒවා කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වුණා. රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත යළි පුබුදමු ශී‍්‍ර ලංකා වැඩපිළිවෙල හරහා අධ්‍යාපනය මිලට ගතහැකි භාණ්ඩයක් ලෙස වෙළඳපොලට මුදාහැරීමට කටයුතු කළා. නැවත බලයට පත්වූ චන්ද්‍රිකා ජ.වි.පෙ.ද හිටපු ආණ්ඩුවේ ඇයගේ හිතවාදීනියක් වූ තාරා දි මෙල් අධ්‍යාපන ලේකම් තනතුරට පත්කරගනිමින් බරපතල කප්පාදුවකට සැරසුනා. විවිධ පනත්, කැබනට් මණ්ඩලයට ආවා. කැබිනට් මණ්ඩලයේ අපි ඉන්න තාක්කල් ඒවා සම්මත කරන්න ඉඩ දුන්නේ නැහැ. ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපති කෙනෙක් ගෙනාපු පනත් පරාජයට පත් කළා.
වත්මන් ආණ්ඩුව දේශපේ‍්‍රමය, දේශහිතෛෂීත්වය, ගොනු කරගනිමන් ගමේ ජනතාවගේ ගුණ සුවඳ හඳුනනවා යයි කියමින් කර වටේ කුරහන් සාටකය ඔතා ගනිමින් අධ්‍යාපනය බරපතල ව්‍යසනයකට ඇද දමමින් සිටිනවා. මේ ආණ්ඩුව තමයි අධ්‍යාපනයට සිදුකර තිබෙන බරපතල ව්‍යසනය සිදුකොට තිබෙන්නේ. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දුෂිත කරලා අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කරලා තිබෙනවා. අධ්‍යාපනයේ මහා දියුණුවන් අත්පත් කරගෙන නොමැති 1972 වර්ෂයේදී පවා දළ ජාතික නිෂ්පාදිතයෙන් 5.2%ක් අධ්‍යාපනයට වෙන් කළා. මේ අතරේ 1996 යුනෙස්කෝ ආයතනය ලෝකය පුරා රටවල්වල අධ්‍යාපනයට වෙන් කරන මුදල්වල විෂමතාවය සැලකිල්ලට ගෙන පොදු සම්මුතියකට ආවා. එනම් අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික ආදායමෙන් 6%ක් වෙන්කළ යුතුයි කියලා. අපේ රටේ අධ්‍යාපන ඇමතිවරුත් එයට සහභාගි වූනා. එහි මූලික අරමුණ වුණේ විවිධ රටවල්වල විවිධ ප‍්‍රමාණයන්වලින් අත්පත්කරගන්නා දැනුම ලෝකයේ අනෙක් රටවල්වලටද ඒකරාශි කරගැනීමේ අරමුණ ඇතිවත් ලෝකයේ රටවල අධ්‍යාපනයේ විෂමතාවය නැති කිරීම අරමුණු කර ගැනීමයි.
එසේ තිබියදී මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව 2005දී අධ්‍යාපනයට වෙන් කළේ 2.5%යි. එතැන් සිට රජය කළේ අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල් කප්පාදු කරන එකයි. 2012දී වෙන් කළේ 1.86%යි. විශ්විද්‍යාල ආචාර්යවරු ප‍්‍රබල සටනක් ගෙන ගියා අධ්‍යාපනයට 6%ක් වෙන්කරන්න කියලා. 6% සටන් පාඨය රැව් පිළිරැව් දුන් දැඩි කථාබහකට ලක්වූ 2013 වර්ෂයේත් ආණ්ඩුව වෙන් කළේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.49%යි.
අධ්‍යාපනයට වෙන් කරන මුදල් කපන්පාදුව හරහා විශ්වවිද්‍යාල කඩා වට්ටමින් තිබෙනවා. රජයේ විශ්වවිද්‍යාලවල පාඨමාලාවන් විකිණිමට උත්සාහ දරමින් තිබෙනවා. ජපුර කළමණාකරණ පීඨයේ පාඨමාලාවන් විකිණීමට උත්සාහයක් ගත්තා. ශී‍්‍ර ලංකා රජයේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන වෛද්‍ය පීඨයට මේ ආකාරයෙන් මුදලට සිසුන් ඇතුළත් කරනවා. ඒ පිළිබඳව එස්. බී. ඇමතිවරයාගේ පැහැදිළි කිරීම වුණේ විශ්වවිද්‍යාල ‘විශ්ව’ ආයතන බවට පත්කරනවා කියලයි. ඔහුගේ දැනුම විදහා පාමින් කියා සිටියේ ජපන් ළමිස්සියන් දිහා ඇසක් පියවා බැලීමට අපේ රටේ කොල්ලන්ට අවස්ථාවක් උදා වෙනවා කියලයි. නමුත් එසේ බඳවා ගැනීමට නිර්දේශකොට තිබෙන්නේ උගන්ඩාව, ස්වාසිලන්තය, ඉතියෝපියාව, සීෂෙල්ස් වැනි රටවල්. ජනගහනයෙන් වැඩි පිරිසකට ඒඞ්ස් රෝගය වැළඳීමේ අවදානම තිබෙන ස්වාසිලන්තය වගේ රටවල්වලින් සිසුන් ගෙන්වා ගැනීමේ අරමුණ කුමක්ද? ඒවා ඉතාමත් අඩු දියුණු මට්ටමේ පවතින රාජ්‍ය පද්ධති. ආණ්ඩුව විදේශ සිසුන් ඇතුළත් කරනවා යැයි කියමින් ආවත්, පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්න යැව්වේ ශී‍්‍ර ලංකාවේ ළමයින් දස දෙනෙක්. දෙදෙනෙක් විදේශීය පුරවැසිභාවය තිබුණත් අට දෙනෙක්ම ලංකාවේ පුරවැසිභාවය තිබෙන දරුවන්.
විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අතිරේක ලේකම් පි‍්‍රයන්ත පේ‍්‍රමකුමාර මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලටය යොමුකළ ලිපියක එම දසදෙනාගේ නම් ලයිස්තුව සහ එක් එක් පාඨමාලාවන්වලට අයකරන ගාස්තුව පැහදිළිව සඳහන් කොට තිබෙනවා. වෛද්‍ය හා දන්ත වෛද්‍ය පාඨමාලාවන්ට වසරකට ඇමරිකන් ඩොලර් 12,000ක් මිලකොට තිබෙනවා. ඒ කියන්නේ වසර 5ක් සඳහා පාඨමාලා ගාස්තුව රුපියල් ලක්‍ෂ 75ක් පමණ වෙනවා. ඉංජිනේරු උපාධිය සඳහා ඇමරිකානු ඩොලර් 8000ක් වන අතර වසර 4ක පාඨමාලාවක් සඳහා ආසන්න වශයෙන් රුපියල් ලක්‍ෂ 40ක් වැයකිරීමට සිදුවෙනවා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන රජයේ විශ්වවිද්‍යාලවල පාඨමාලා ශී‍්‍ර ලංකාවේම දරුවන්ට විකිණීම ආරම්භ කොට තිබෙනවා. එක් කොටසකට නොමිලේ අධ්‍යාපනය ලබාදෙන අතරේ ලංකාවේම තවත් සිසුන් පිරිසකට ලක්‍ෂ 75කට උපාධිය විකුණනවා. එම දරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද කියා අප තවම දන්නේ නැහැ. පේරාදෙණිය විශ්විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය එම සිසුන් දසදෙනා ප‍්‍රතික්‍ෂේප කළා. ඔවුන්ගේ දුර දක්නා නුවණට අපේ ගෞරවය හිිමිවිය යුතුයි. නමුත් ජපුර වෛද්‍ය පීඨය සඳහා සිසුන් 13 දෙනෙක් ඇතුල් කොට තිබෙනවා.
ආණ්ඩුව විවිධ ලේබල් යටතේ උපාධි විකුණමින් තිබෙනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදනවා. මාළඹේ එක් උදාහරණයක් පමණයි. එහි වෛද්‍ය උපාධිය පිළිගන්නවාද නැද්ද කියලා තවමත් තීරණයකට එළඹිලා නැහැ. එයට අනුබද්ධ පිළිගත් ශික්‍ෂණ රෝහලක් නැහැ. රෝගීන් නැති පෞද්ගලික රෝහලක් නම් කොට තිබෙන අතර සිසුන්ට රෝගීන් නොමැතිව සායනික කටයුතු සිදුකරන්න සිදුවෙලා. අපේ රටේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත වෙලා තිබෙන්නේ ශික්‍ෂණ රෝහලකට අනුබද්ධ කරලා. රාගම වෛද්‍ය පීඨය රාගම ශික්‍ෂණ රෝහලට, පේරාදෙනිය, කරාපිටිය, කොළඹ, ජයවර්ධනපුර, රජරට, වැනි වෛද්‍ය විද්‍යාලද ඒ ඒ නගරයේ ශික්‍ෂණ රෝහල්වලට අනුබද්ධ කොට තිබෙනවා. මාළඹේ වෛද්‍ය උපාධිය සඳහා රුපියල් ලක්‍ෂ 70ක් වැයවන අතර ශිෂ්‍යයෙකුට එම පාඨමාලාව සම්පූර්ණ කිරීමට රු.ලක්‍ෂ 90ක් පමණ වැයවෙනවා. එම දෙමව්පියන්ට තම දරුවා වෙනුවෙන් මාසයකට ලක්‍ෂ එකහමාරක් දැරීමට සිදුවෙනවා. දෛනික ආදායම රුපියල් 250ක් පමණ වූ 42%ක් වූ ජනගහනය නියෝජනය කරන දෙමව්පියන්ට එම මිල දැරීමට පුළුවන්ද?
එනිසා මේ කරමින් තිබෙන්නේ කුමක්ද? පහළ පංතියේ මිනිසුන්ගේ අයිතියක්, වරප‍්‍රසාදයක් වූ අධ්‍යාපනය වරප‍්‍රසාද ලත් කුඩා පංතියක අයිතියක් බවට පත්කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් තිබෙනවා. ධනපති පංතියේ කුඩා පිරිසකගේ වරප‍්‍රසාදයක් බවට අධ්‍යාපනය පත්කිරීමට උත්සාහ දරනවා. හඟුරන්කෙත උපන් සුමනවීර බණ්ඩා අධ්‍යාපනය බාර එස්.බී.දිසානායක වුණේ නිදහස් අධ්‍යාපනයේ වරමින්. නැතිනම් ඔහු බුලත්විට හපමින් කුඹුරක් කොටන, සුමනවීර බණ්ඩා ලෙස දැකගන්න අපට පුළුවන්කම තිබුණා. ජම්බුගස්මුල්ලේ උපත ලද බන්දුල ඇමතිවරයා මේ තනතුරට ඇවිත් තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසා. ඒ වගේම පරිපාලන ක්‍ෂේත‍්‍රයේ සිටින නිලධාරීන් ඒ ඒ තනතුරුවලට පැමිණ තිබෙන්නේ මේ නිදහස් අධ්‍යාපනය නිසා.
1977 සිට පැමිණි චන්ද්‍රිකා රනිල් හරහා සැලසුම් කළ අධ්‍යාපන කප්පාදුව ජනතා විරෝධයන් හමුවේ පරාජයට පත් වුණා. වත්මන් ආණ්ඩුව එම බාධකය හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා නිල ආයතන වුණු ශිෂ්‍ය සභා තහනම් කරනවා. කැළණිය, ජයවර්ධනපුර, කොළඹ ශිෂ්‍ය සභා පිහිටුවීමට නොහැකි තත්වයක් උදාකොට තිබෙනවා. ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් මර්දනය කරනවා. සබරගමුවේ පමණක් සිසුන් 52කගේ ශිෂ්‍යභාවය අහෝසිකොට තිබෙනවා. පේරාදෙණියේ කලා පීඨයේ සිසුන් 27ක්, ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සිසුන් 22ක්, බෞද්ධ හා පාලි විද්‍යාලයේ සිසුන් 70ක්, ආදී වශයෙන් ප‍්‍රධාන විශ්වවිද්‍යාලවල සිසුන් 217කගේ පංති තහනම් කොට තිබෙනවා. එස්.බී. දිසානායක මීට පෙර කියා තිබුණා, සිසුන් 1000කගේ වුවත් පංති තහනම් කිරීමට, ශිෂ්‍යභාවය අහෝසි කිරීමට තමන් සූදානම් බවයි. ඒ වගේම ඔහු කියා තිබුණා තමන් ළඟ 100දෙනෙකුගෙන් යුත් බලකායක් ඉන්නවා කියලා. කුමක් සඳහාද? නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් සටන් වදින සිසුන් මර්දනය කිරීමටයි. විශ්වවිද්‍යලාවල මර්දනය දියත් කරන, විශ්වවිද්‍යාලවල ගැටුම් නිර්මාණය කරන පිරිස් සමඟ ඇමතිවරයා සිටින ඡායාරූප, ඒ වගේම හඬ පට අප සතුව තිබෙනවා. අවශ්‍ය වුණොත් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. ආණ්ඩුවේ මුග්ධ වුවමණාවන් වෙනුවෙන් කරන ශිෂ්‍ය මර්දනයක් තමයි මේ. මෙහි ගැටළුව තිබෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාර පමණක් මේ වෙනුවෙන් පෙනී සිටීමයි. මේ වෙනුවෙන් පොදු මහජනතාව අරගලයට අවතීර්ණ විය යුතුයි. මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ලිවිය යුතුයි. ආණ්ඩුව එළා තිබෙන මර්දනය ඇතුළේ ගැටුම් නිර්මාණය තිබෙනවා. ආණ්ඩුවේ කි‍්‍රයා පිළිවෙල දියත් කිරීමට නොහැකි නිසා විශ්වවිද්‍යාල තුළ ගැටුම් නිර්මාණය කරමින් තිබෙනවා.
ආණ්ඩුව තමන්ගේ ව්‍යාපෘති සඳහා ඒ ඒ වර්ගයේ හේවායන් යොදවනවා. විශ්වවිද්‍යාලවලටත් යොදා තිබෙන්නේ ඒ වර්ගයේ හේවායෙක්. ඔහුගේ භාවිතාවෙන්, චර්යාවෙන් ඉතිහාසයෙන් පෙන්නලා තිබෙනවා බුරන්න, හපා කන්න, සුදුස්සෙක් බව. ඔහු ඉතිහාසයේ පළවෙනි වතාවට දේශපාලකයෙක් ලෙෂ කට වාචාලකම නිසා අවුරුදු දෙකක් සිරබත් කන්න වුණු පුද්ගලයෙක්. එවැනි ගහල ඇමතිවරයෙකුට තමයි අධ්‍යාපනය බාරදීල තියෙන්නේ. එනිසා ජනතාව විවිධ අරගල මගින් දිනාගත් තම අයිතියක් ලෙස තිබෙන අධ්‍යාපනය කප්පාදු කරන්න නොදී මෙරට පොදු ජනතාවගේ, ගමේ ජීවත් වන ගොවි අම්ම තාත්තගේ දරුවගේ අනාගතය විනාශ කරන්න නොදී එය රැකගැනීමට ඉදිරියට එන්න කියල අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්...
එස්.බී. චෝදනා කරලා තිබෙනවා, අධ්‍යාපනය ගැන ඔබ කරුණු නොදන්නා බවට...
ඇමතිවරයා චෝදනා දෙකක් එල්ල කරලා තිබෙනවා. එකක් තමයි වෛද්‍ය උපාධිය ලක්‍ෂ 70කට මිළ කරලා නැහැ කියන එක. විශ්විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අතිරේක ලේකම් පේරාදෙනිය විශ්වවිද්‍යාලයට යොමුකළ ලිපියේ පාඨමාලා සඳහා නියම කළ මිල ගණන් හොඳින් සඳහන් වෙනවා. ඒකෙන් පැහැදිළි වෙන්නේ තමන්ගේ අතිරේක ලේකම්වරයා නිකුත් කරන ලද ගණන් හිලව් පිළිබඳ එස්.බී. නොදන්නා බවයි. අනික් කාරණය තමයි අධ්‍යාපනයට වෙන්කරන මුදල. ඒ වෙනුවෙන් ඔහු අලූත් සූත‍්‍රයක් නිර්මාණය කොට තිබෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන, පළාත් සභා, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වැනි ආයතන ගණනාවක් මගින් අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කරන බවත් එම ප‍්‍රමාණය 4.1%ට වැඩි බවත් ඔහු කියනවා. නමුත් 2005, 2012 සහ 2013 සංඛ්‍යා ලේඛණ අනුව පැහැදිළි වෙනවා අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ මුදල කප්පාදු කර තිබෙන බව. ඒ නිසා අපි එස්.බී. දිසානායක ඇමතිවරයාට අභියෝග කරනවා ප‍්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. එය විශ්වවිද්‍යාල සිසුන් ඉදිරියේ පැවැත්වෙනවා නම් වඩාත්ම සුදුසුයි. මීට වසර එකහමාරකට පෙරත් මේ අභියෝගය කළා. තවමත් එම අභියෝගය විවෘතව තිබෙනවා.

ANURA 1

No comments:

Post a Comment