Monday 10 June 2013

මිනීමරු නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන අත්අඩංගුවට

කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් සියාම් නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබිය. ව්‍යාපාරිකයා ඝාතනයට පැහැරගෙන ගිය වෑන් රථයද ‍පොලීසිය විසින් සොයාගෙන ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි. බම්බලපිටියේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් නමැත්තාව පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙවන දිනයටත් ඊයේ (10) රාත්‍රියේ නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රියේ පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් වාස් ගුණවර්ධන මහතාගෙන් රහස් ‍පොලීසිය ප්‍රශ්න කරමින් සිටියේය. එම ඝාතනය සම්බන්ධයෙන් මූලික විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සිදුකර සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබිය. ඒ අය අතර සියාම් නමැති ඝාතනය වූ ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික කොටස්කාර මිත්‍රයෙක්ද, කොළඹ පිටකොටුවේ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටි ධනවත් ව්‍යාපාරිකයකුද සිටියේය. ඉකුත් මැයි 22දා ව්‍යාපාරිකයාව පැහැර ගැනීමට කොන්ත්‍රාත්තුව දී ඇත්තේ ව්‍යාපාරික හවුල්කරු බවත් එම කොන්ත්‍රාත්තුව භාරගෙන ඇත්තේ පිටකොටුවේ ව්‍යාපාරිකයා බවත් ‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. පිටකොටුව ව්‍යාපාරිකයාව කෝට්ටේ පිහිටි නිවසට ගිය අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට වාස් ගුණවර්ධන මහතා බලපෑම් කළ බව සඳහන්ය. එම බලපෑම් හමුවේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම ඝාතනයට වාස් ගුණවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් වන විශේෂ ‍පොලිස් කණ්ඩායමක නිලධාරීන් සිවුදෙනෙක් සම්බන්ධ බවයි. ඒත් සමගම ‍පොලිස්පතිවරයා විසින් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබිය. ඒ අනුව දීර්ඝ විමර්ශනයක නිරතවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉකුත් 4දා අත්අඩංගුවට ගනු ලැබිය. ඊට පසුදින නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා කැඳවා ප්‍රශ්න කරනු ලැබිය. ඒ වන විට ‍පොලිස්පතිවරයා රුසියාවේ පැවැත්වෙන ‍පොලිස් ප්‍රධානීන්ගේ රැස්වීමකට රටින් බැහැරව සිටි බැවින් නැවත ප්‍රශ්න කිරීම් හා ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ පැමිණ තීරණයක් ගන්නාතුරු කිසිදු පියවරක් නොගන්නා ලෙස රහස් ‍පොලීසියට දැනුම් දී තිබෙන බව ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. ‍පොලිස්පතිවරයා පෙරේදා (09) දිවයිනට පැමිණි අතර, ඊයේ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාස් ගුණවර්ධන මහතා කැඳවා තිබුණි.
ගයාන් කුමාර වීරසිංහ

No comments:

Post a Comment