Saturday 8 June 2013

නිළියක් වෙන්නට ගිය රූමත් යුවතිය ලක්ෂ ගණනකුත් අහිමිකරගෙන දරුගැබකුත් සමග අතරමං වෙයි

මේ කතාවේ පළමුවැනියා නයෝමිය. ජීවිතය ජයගන්නට ඇය තෝරා ගත්තේ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයයි. ඇයට ඒ මාර්ගය විවර විය. ඒ අනුව ටෙලි නාට්‍ය කීපයක හා රූප රචනා කළ ගීත කිහිපයකට පෙනී සිටීමේ වරම ඇයට ලැබුණි. එහෙත් දැන් ඇය අප්පෙක් නැති දරුවෙකු බිහි කිරීමේ අරමුණින් කල් ගෙවන්නීය. ඒ නිළියක වන්නට ගිය ඇය, චීවරධාරියෙකු ලෙස පෙනී සිටි නරුමයෙකුට රැවටුණු නිසාය.
නිළියක වන්නට ගොස් ජීවිතය වරද්දා ගත් දෙවැන්නා චේතනාය. ඇයත් නයෝමි සේම රැවටිලිකාරයෙකුට හසු වූවාය. ඒ චිත්‍රපට  නිෂ්පාදකවරයෙකුටය.
මේ කතන්දර දෙකටම සම්බන්ධ නඩු දැන් උසාවිය හමුවේ විභාග වෙමින්  පවතී. ඒ නිසාම නයෝමිත් , චේතනාත් මුහුණ දුන් අත්දැකීම් අප ඔබට කියන්නේ එම නීති රාමුව තුළ සිටිමින්ය.
නයෝමි සුරූපිනියකි. අප මුලින් පැවසූ පරිදි ඇය ටෙලි නාට්‍ය පහක සහ රූප රචනා කළ ගීත මෙන්ම වෙළෙඳ දැන්වීම්වලද පෙනී සිටියාය.
මුල් විවාහයේ දරුවෙකු සමග තනිවී සිටි ඇය නිළියක් වන්නට සිතුවේ  ඒ විනාශ වී ගිය අතීතයට වඩා වර්තමානය සහ අනාගතය යහපත් කර ගැනීමට  වුවමනා වූ නිසාය.
මට පැහැදිලිව පෙනුණා ඒ ගමන හොඳ වෙන බව. මම මගේ අම්මාවත් කැමති කරවාගෙන  ඒ ගමන ඇරඹුවා. ඒත් බොරුකාරයෙකු නිසා මගේ ජීවිතේ විනාශ වුණා.
නයෝමි පදිංචිව සිටියේ තලවතුගොඩ කිට්ටුව නිවසකය. මව සමග තනිව ජීවත් වූ  ඇයගේ නිවසට වරක් චීවරධාරියෙකු ලෙස පෙනී සිටින මේ කපටි පුද්ගලයා පැමිණෙන්නේ පින්කමක් වෙනුවෙන් කතිකාවක් ඇතිකර ගැනීමටය.
කෙසේ හෝ මේ කතා බහ අවසන්  වන්නේ නයෝමිගේ රංගන ජීවිතයත්, ඇගේ හැකියාවන් ගැනත් අදාළ චීවරධාරියා  පවත්වන අපූරු කතා බහකින් පසුවය.
මේ පුද්ගලයා  මගේ ජීවිතය සාර්ථක  කරන්න ඕනම උදව්වක් කරන බව පුන පුනා කිව්වා. මාව අගය කළා. ඇත්තටම මට එයින් ලැබුණේ පුදුමාකාර සතුටක්..
ඒ විතරක් නමෛයි, බොහෝ  අවස්ථාවල මේ තැනැත්තා මගේ ජංගම  දුරකථනයට පවා කතා කොට මගේ හැකියාවන් සහ අනාගතය ගැන කතා කළා...... අවවාද අනුශාසනා කළා... ඒ නිසා මට සැකයක්  ඇති වුණේම නැහැ..
කාලය මේ අයුරින් ගෙවී ගියේය.  තවත් අවස්ථාවකදී  චීවරධාරියා කීවේ  තමන්ට දැන් මේ ජීවිතය එපා වී ඇති බවකි.
මට ආසයි විවාහයක් කරගෙන , දරුවෝ  හදාගෙන  ඉන්න.. ඒකට මට හොඳ  කෙනෙක් ඕනෑ ...
දේවාලයකට ගොස් සරණ පැතීමට යන   බොහෝ බැතිමතුන් එහි සිටින අතවැසියන් ගැන පවා  සිතන්නේ  ඔවුන් දෙවියන්ගේ මිනිසුන් ලෙස සලකාය. නයෝමි පත් වුණෙත් ඒ තත්ත්වයටමය.
අන්තිමට මේ මනුස්සයා මට විවාහ යෝජනාවක් ගෙන ආවා. මට විරුද්ධ වෙන්න තරම් වටපිටාවක් හෝ සාධාරණ හේතුවක් නොතිබුණේ ඔහු සියලු බැමි වලින්  මිදී මවෙතට එන බව කියූ නිසා...... පැවසූ පරිද්දෙන්ම ඔහු සියලු බැමි වලින් නිදහස් වී නයෝමි වෙත ආවේය. නමුත් හොර රහසේය.
සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා එනතුරු හොරෙන් හමුවෙමු කිව්වා. අන්තිමට එකට ගමන් බිමන් ගියා. මා ළඟ තිබුණු මුදල් පවා ගත්තා...
මේ සියලු දේ වෙද්දී  නයෝමිගේ මව විදෙස් ගත වී සිටියාය. ඇය සේවය කළේ ඉතාලියේය.
ඒ වෙද්දි අම්මා එවපු ලක්ෂ  ගණනක් මා ළඟ තිබුණා.... ඒ සල්ලිවලින් මෙයා වාහනයක් පවා ගත්තා...
කෙසේ හෝ අවසානයේ දී මේ පුද්ගලයා නයෝමිව මග හරින්නට පටන් ගත්තේ ඇගේ කුසට දරු ගැබක් ආ  ආරංචියත් සමගයි.
මේ ආරංචියත් එක්ක ඔහු මාව මග හරින්න  පටන් ගත්තා. මගේ රංගන ජීවිතයට උදව් කරලා මාව කසාද බඳිනවා කිව්ව කෙනා එදා ඉඳලා හොයා ගන්නත් බැරි වෙන තැනකට ආවා...
නයෝමි රැවැට්ටූ මේ පුද්ගලයා අද සමාජය තුළ දැනුම් තේරුම් ඇති බොහෝ පිරිසක් ඇසුරු කරන කෙනෙකි. වැදගත් කෙනෙකු ලෙස ජීවත් වූ චරිතයකි.
දැන් මම මට ලැබෙන්න ඉන්න දරුවාගේ උප්පැන්නයට මෙයාගේ නම ඉල්ලලා නඩු දාලා තියෙනවා.  මාව ද්වේශ සහගත විදිහට රැවටූ  එකත් එක කාරණයක්.  අනික මගෙන්  ගත්ත ලක්ෂ ගාණක මුදල්...
මට මේ මනුස්සයා වැඩක් නැහැ. ඒත් මගෙන් ගත් දේවල් ඕන. මෙයා කියනවා එයා දරුවගේ තාත්තා නමෛයි කියලා... මම අභියෝග  කරන්නේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කරලා  හරි දරුවාගේ තාත්තා මෙයා කියලා  ඔප්පු කරන්න මම සූදානම් කියලයි...
නිළියක් වන්නට ගිය නයෝමි තම ජීවිතය විනාශ කර ගත්තේ කිසිදා නොසිතූ නොපැතූ රැවටීමකට හසු වූ නිසාය.
චේතනාගේ කතන්දරය ඊටත් වඩා වෙනස්ය.
ඇය තාත්තා නැති දුප්පත්  ගෑනු ළමයෙකි. ප්‍රියමනාප බව නිසාම ඇයටත් වුවමනා වූයේ නිළියක් වන්නටය.
චේතනා ඒ අරමුණ ඇතිව  චිත්‍රපට නිෂ්පාදකවරයෙකු හමුවට  යන්නේ අතරමැදියෙකුගේ උදව් උපකාර  ලබාගෙනය.
තමාගේ පියා හා සමාන එසේත් නැත්නම් ඊටත්  වඩා වයසින් වැඩි මේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයා මුලින්ම චේතනාට උදව් කරන්නේ පියෙකු ලෙසය.
ඇත්තටම කියනවා නම් මා සම්බන්ධව බොහෝ දේවල් පවා කතා කළේ මගේ අම්මා එක්ක. ඒ තරමටම ඔහු ඉතා  හොඳ කෙනෙකු ලෙස මුලදි හැසිරුණා...
මේ හැසිරීම නිසාම චේතනා අදාළ චිත්‍රපට නිෂ්පාදකවරයා ගැන කිසිදු සැකයක්  ඇති කර ගත්තේ නැත. ඔහු මට ඔහුගේ කාර්යාලයේ රැකියාවක්  පවා දුන්නා. මට තිබුණේ ‍ලේකම්වරියක් ලෙස වැඩ කරන්නයි.  කෙසේ හෝ  මේ කාලය තුළ දී චේතනා නැගී එන නිළියක් ලෙසින් නිර්මාණ කීපයකටත් දායක වූවාය.
තරුණ ගෑනු ළමයින් ජීවත් වන්නේ හීන ගොඩත් ඇතිවය. ඇතැම් විට ඒ හීන  ඉටු කර ගැනීමට ඔවුන් වෙහෙසෙන්නේ අවට වටපිටාව ගැන අල්ප මාත්‍රයක  දැනුමක් නැතිවය.
චේතනා මුහුණ දුන්නේත් එවැනිම අත්දැකීමකටය. ඔහු මට හුඟාක් හිතවත් වුණා. ගමන් බිමන් යන්න පවා කතා කළා.
කාලය මේ අයුරින් ගෙවී යද්දි තවත් දිනෙක  චේතනා අසනීප වූවාය. ඇය බලවත් හිස රුදාවකට මුහුණ දී කාර්යාලයේ තිබූ මේසය මත හිස ඔබාගෙන සිටියාය.
ඔළුව රිදෙනවද? ආ........... බොන්න මේක එතකොට හරියාවි .........
චේතනා කිසිදු චකිතයකින් තොරව ඒ බෙහෙත බිවේ අදාළ පුද්ගලයා පිළිබඳ තිබූ විශ්වාසය මතය.
ඉන්පස්සේ මට නින්ද ගිහින්. නැගිටලා බලද්දි මගේ ඇඟේ ඇඳුම් මොනවත්ම තිබුණේ නැහැ. ඒ වගේම කාර්යාලයේ කවුරුත් ඒ වෙලාවේ හිටියෙත් නැහැ.
චේතනා මේ පිළිබඳව ඇඬු කඳුළින් ප්‍රශ්න කරද්දී අදාළ පුද්ගලයා ප්‍රකාශ කළේ තමන්ට තමන්ව පාලනය කර ගැනීමට නොහැකි වූවා යැයි කියාය.
කෙසේ හෝ මේ සිදුවීම කිසිවෙකුට නොකියන ලෙසින්ද ඔහු චේතනාට බලකර කියා සිටියේ එසේ වුවහොත්  සිදු විය හැකි අයහපත ගැන තර්ජනය කරමිනි.
චේතනා මේ සිදුවීම සිය මවට පවා නොකීවේ මේ නිසාය. එහෙත් පසුදා ඇයගේ  මව චේතනා පත් වී තිබෙන තත්ත්වය දැනගත්තේ ඇගේ  සිරුරේ තිබූ සීරීම් තුවාල ගැන එක දිගට ප්‍රශ්න  කිරීමෙනි.
කෙසේ හෝ මේ සිදුවීම් වලින් පසුව අදාළ චිත්‍රපට නිෂ්පාදකවරයා හමු වී මේ පිළිබඳ ප්‍රශ්න කරන්නටද ඇගේ මව සිතා ගත්තාය.
ඒත් අපි හිතුවට වඩා තත්ත්වය නරක අතට හැරුණා. ඔහු කීවේ  මේ ගැන කාටවත්ම කියලා තිබුණොත්, බොහෝ ගැටලු ඇතිවෙන්න ඉඩ තිබෙනවා  කියලා. යම් යම් බලවතුන්ගේ නම් කියලා ඔවුන් නිසා තමන්ට බේරෙන්නට පුළුවන් බවත් , දියණියගේ ජීවිතයට නරකක් වෙන්න ඉඩ තිබෙන බවත් කියලා අන්තිමට අපට තර්ජනය කළා.  එසේ කීවේ චේතනාගේ මවය.
බලවතුන් සමග හැප්පෙන්නට ගොස් ජීවිතය පවා නැති වීමට ඉඩ තිබෙන බව වටහා ගත් චේතනා හා ඇගේ මව අවසානයේ දී අසරණ වී බලා සිටියේ කර කියා ගන්නට කිසිවක් නැතිවය.
මේ කාලය තුළ දී චේතනා බෙහෙවින් රෝගාතුර වන්නේ කිසිවෙකු නොසිතූ ලෙසය. ඇයගේ එක් අතක් සහ පාදයක් අප්‍රාණික වී ඇවිදින්නට පවා නොහැකිව සුසුම් හෙලන්නේ මේ අපරාධයට වග කිව යුතු අයට ශාප කරමිනි. මේ කාලයේ අපි මොනවද කරන්නේ. කියලා ඔත්තු බලන්න පවා මිනිසුන් දාලා හිටියා. පාතාල  ලෝකයෙන් කියලා ඇවිත් තර්ජනය කළා. දුවව පැහැර ගන්න පවා ආවා.
කෙසේ හෝ මේ සිදුවීම් පෙළින් පසු චේතනාගේ මව නීතිය ඉදිරියට ගියාය. එහෙත් මුල් කාලයේ දී තම බල ප්‍රදේශයට අයත්  ‍පොලීසිය  පවා මේ පැමිණිල්ල බාර ගැනීමට මැලි වූ බව ඇය කියන්නීය.
අන්තිමට අපි ඉහළටම ගියා. ගිහින්  මේ සම්බන්ධව නීති මගින් කටයුතු කරන්න පටන් ගත්තා. දැන් අදාළ පුද්ගලයා අත්අඩංගුවට අරන්. දැන් අපි බලා‍පොරොත්තු වෙන්නේ සාධාරණත්වය. මගේ දුව තවම ලෙඩින්. ඇයගේ අත පය තවමත් අප්‍රාණික  වෙනවා. හිටපු ගමන් එක් තැන් වෙනවා. දොඩවනවා. දැඩි බියකින් පසු වෙනවා. චේතනාගේ මව වැඩිදුරටත් කීවාය.
ජනප්‍රිය නිළියක වන්නට ගිය චේතනාගේ ඉරණම අද විසඳී ඇත්තේ ඒ අයුරිනි.
අප වෙසෙන සමාජය තුළ ජීවත් වන සියල්ලන් සැදැහැවතුන්  නොවේ. දාමරික  අධමයින්ද නොවේ. මේ කොටස් දෙකටම අයිති මිනිස්සු  ජීවත් වෙති.  එය සිනමා හෝ ටෙලි  නාට්‍ය ක්‍ෂේත්‍රයට  පමණක් සීමා  වූවක්  නොවේ. සියලු ක්‍ෂේත්‍රවලට ‍පොදු වූ දෙයකි.
මේ නිසාම සමාජය  තුළ සිටින මිනිසුන් හඳුනාගෙන ජීවත් වීම හැර වෙනත් විකල්පයක් අපට නැත. විශ්වාසය තුළ අන්ධ නොවීමට අප වග බලාගත යුතුය.
(නම් ගම් මනඃකල්පිතය)  

සමන් ප්‍රියංකර නම්මුනිගේ

No comments:

Post a Comment