Wednesday 12 June 2013

නාවලපිටිය රෝහලේ පරිපාලනය අවුල්වෙයි

නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ ස්‌ථිර රෝහල් අධ්‍යක්‍ෂවරයෙක්‌ නොමැතිකම හා ප්‍රධාන පරිපාලන නිලධාරිවරයා ගණකාධිකාරිවරයා ඇතුළු කළමනාකාර සහකාර තනතුරුවල නිලධාරීන් කිහිප දෙනකු පත් නොකිරීම නිසා එම රෝහලේ පරිපාලන ගැටලු රාශියක්‌ මතුව ඇතැයි රෝහල් කාර්ය මණ්‌ඩලය පවසති.

රෝහලේ ප්‍රධාන පරිපාලන නිලධාරිවරයා හා ගණකාධිකාරිවරයා නොමැතිකමින් මිලදී ගැනීම්, ලොන්ඩරි සේවා, ආහාර පාන හා අභ්‍යන්තර වෛද්‍ය සේවාවන් පවා නිසි ලෙස පවත්වාගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උදාවී තිබේ.

එහි සිටින රෝහල් අධ්‍යක්‍ෂකවරයා සතියට දින 3 ක්‌ නුවරඑළිය මහ රෝහලේ වැඩ ආවරණය කිරීමට යැමට සිදුවීම හා ඒ වෙනුවට වැඩ ආවරණය කිරීමට පත්ව සිටින නියෝජ්‍ය රෝහල් අධ්‍යක්‍ෂකවරයාට නිසි බලතල නොලැබීම මෙහි පරිපාලන ගැටලු උග්‍රවීමට ද හේතුවී තිබේ.

ගණකාධිකාරිවරයෙකු නොමැතිවීම නිසා එහි වැඩ ආවරණයට මහනුවර මහ රෝහලේ ගණකාධිකාරිවරයා පත්කොට සිටියද ඒ හා සම්බන්ධ කටයුතු ඉටුකර ගැනීම සඳහා නාවලපිටිය රෝහලෙන් මහනුවර මහ රෝහල වෙත යැමට ඒමට සිදුවීමත් මේ නිසා සියලු වැඩ පමාවීමෙන් පරිපාලන කටයුතුවලට දැඩි බාධා එල්ලවී තිබේ.

මෙම දැඩි නිලධාරි හිඟය නිසා දැනට මෙහි සිටින ප්‍රධාන ලිපිකාරිනිය හට එවැනි විෂයන් 8 ක්‌ ආවරණය කිරීම හා ඒ සම්බන්ධව සොයා බැලීම් කිරීමට සිදුව ඇති අතර වැඩබලන රෝහල් අධ්‍යක්‍ෂවරයාට ද මෙම ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබේ.

කෙසේ නමුත් රෝහලට අවශ්‍ය නිලධාරීන් පත් කිරීමට තවදුරටත් පමා වුවහොත් මෙහි දැඩි අර්බුදකාරී තත්ත්වයක්‌ මතුවන බව රෝහල් කාර්ය මණ්‌ඩලය සඳහන් කරති.

No comments:

Post a Comment