Wednesday 19 June 2013

ඉන්දු - ශ්‍රී ලංකා චැම්පියන් කුසලාන 'මහ ගැටුම' අද

අවසන් චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද (20 දා) කාර්ඩිෆ් හී පිහිටි සොෆායා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී අවසන් පූර්ව තරගයට සහභාගි වෙති. දිවා තරගයක්‌ ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.30 ට පමණ ආරම්භ වීමට නියමිතය.

අවසන් වරට පැවැති එක්‌දින ක්‍රිකට්‌ ලෝක ශූරතාව දින ඉන්දියාව සහ එහි අනුශූර ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මෙම අවසන් පූර්ව තරගය අවසන් මහා තරගයක අකෘතියක්‌ බවට පත්ව ඇති අතර මෙම තරගය සඳහා වන ප්‍රවේශ පත්‍ර සියල්ල පෙරේදා (18 දා) වන විට විකිණී අවසන්ව තිබිණ. අද තරගයෙන් ජය ගන්නා කණ්‌ඩායම ඊයේ පැවැති එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ ජයග්‍රාහී කණ්‌ඩායම සමග අවසන් මහා තරගයට ලබන 23 දා බර්මින්හැම්හීදි සහභාගි වේ.

මෙවර තරගාවලියේ 'බී' කාණ්‌ඩයෙන් තරග කළ ඉන්දියාව අපරාජිතව අවසන් පූර්ව තරගයට පැමිණි අතර ශ්‍රී ලංකාව 'ඒ' කාණ්‌ඩයෙන් දෙවැනි ස්‌ථානයට පත්වෙමින් අවසන් පූර්ව තරග වරම ලබා ගැනීමට සමත් විය. කාර්ඩිෆ් හීදී පැවැති නවසීලන්තය සමග තරගය පමණක්‌ ශ්‍රී ලංකාව එක්‌ කඩුල්ලකින් පරාජයට පත්විය.

චැම්පියන්ස්‌ කුසලාන තරගාවලි ඉතිහාසයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 1998 දී අවසන් මහ තරග වරම් ලැබීමට සමත්වු අතර එහිදී අයහපත් කාලගුණය හේතුවෙන් දෙපිල සම ශූරයන් බවට පත් වූහ. මීට පෙර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2002 වසරේදී මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග වරම් දිනා ගැනීමට සමත් වුවද එහිදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හමුවේද ඉන්දියාව බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේද පරාජය වෙමින් අවසන් මහ තරගයෙන් ඉවතට විසිවිසි වූහ.

දෙරට එක්‌දින ජාත්‍යන්තර තරග යටතේ හමුවන 140 වැනි අවස්‌ථා මෙය වේ. එහිදී ඉන්දියාව තරග 75 ක්‌ද ශ්‍රී ලංකාව තරග 52 ක්‌ද ජය ගෙන ඇත. එක්‌ තරගයක්‌ සම සමව අවසන් වු අතර තරග 8 ක්‌ විසඳුමකින් තොරව අවසන් වී තිබේ. 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ සිට දෙරට මුණ ගැසුන අවස්‌ථා 11 කදී ඉන්දියාව අට වරක්‌ ජය ගෙන ඇති අතර ශ්‍රී ලංකාවට ජය ගත හැකිවුයේ තරග දෙකක්‌ පමණි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ලකුණු හඹා ගොස්‌ තරග ජය ගැනීමේ සම්භාවිතාව වැඩි අතර ඉන්දියාව ශ්‍රී ලංකාව පරාජය කළ බොහෝ අවස්‌ථා ලකුණු හඹා ගොස්‌ ජය ගැනීමට සමත් වීම විශේෂත්වයකි. චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින තරගාවලිය ආරම්භ වීමට පෙර දෙරට සහභාගි වූ පුහුණු තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 333 ක්‌ ලබාගත්තද එම ඉලක්‌කය කඩුලූ 5 ක්‌ අතැතිව ජය ගැනීමට ඉන්දියාව සමත් විය. මීට අමතරව 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදීද ශ්‍රී ලංකා ලබාදුන් ලකුණු 274 ක අභියෝග හඹා ගොස්‌ කඩුලූ 6 ක්‌ ඉතිරිව තිබියදී ජය ගැනීම මත අද තරගයේ කාසියේ වාසියද ජයග්‍රහණයට සාධකයක්‌ වනු ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව තරග 55 කදී ලකුණු 2041 ක්‌ සමග පිතිකරු සාමාන්‍ය 60.2 ක්‌ රදවාගෙන තිබෙන ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි සහ විරාත් කෝලිගේ කඩුල්ල ශ්‍රී ලංකා ජයග්‍රහණය තීරණාත්මක සාධකයක්‌ බවට පත්ව තිබේ. විරාත් කෝලි ශ්‍රී ලංකාවට එරෙහිව තරග 30 කදී ලකුණු 1386 ක්‌ ලබා ඇති අතර එහි සාමාන්‍ය 55.44 ක්‌ ලෙස සටහන් වේ. මීට අමතරව ඉන්දීයානු නවක ආරම්භක පිතිකරුවන ෂිකාර් ධවාන් තරගාවලියේදී ශතක දෙකක්‌ සමග වැඩිම ලකුණු ලාභියා බවට පත්වීම කෙරෙහිද ශ්‍රී ලංකා කණ්‌ඩායම වැඩි අවධානයක්‌ යොමු කළ යුතුවේ.

ඉන්දීය පිතිකරු බලඇණිය ශක්‌තිමත් වුවද ශ්‍රී ලංකා පිතිකරු කොඳුනාරටිය බඳු කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන තරගාවලියේ ලකුණු අතර සිටීම ඉන්දියානු පන්දු යවන්නන්ට සුබ දැඩි අභියෝගයක්‌ වනු ඇත. කෙසේ වෙතත් කාර්ඩිෆ් තණතීරුවේදී ශ්‍රී ලංකා පිතිකරුවන් හිටි හැටියේ අසාර්ථක වීමේ තත්ත්වය අද තරගයේදී නවතා ගත යුතු අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ඊයේ දැඩි කැපවීමකින් කාර්ඩිෆ් ක්‍රීඩාංගණයේ පුහුණු වීම්වල යෙදිණි.

අද තරගයට කාලගුණයෙන් බාධා පැමිණිය හැකි බව වාර්තා වීම ශ්‍රී ලංකාව දෙසින් සුබදායක නොවන අතර එය ඉන්දියාවට අසුබදායක නොවනු ඇත. යම් හෙයකින් අද තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් තරග නීති රීති අනුව කාණ්‌ඩ ශූරයන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම මත එහි වාසිය ඉන්දියාව සතුවේ. තරගය ලකුණු සම වුවහොත් පමණක්‌ සුපිරි පන්දුවාරයකින් අවසන් තරගයට කණ්‌ඩායම තීරණය කරනු ලබයි.

ලෝක එක්‌දින ක්‍රිකට්‌ පිටියේ අවසන් වරට පැවැති දැවැන්තම තරගාවලි සියල්ලෙහිම ශ්‍රී ලංකාව අවසන් මහ තරග වරම් ලැබීමට සමත්වූ අතර එහිදී 2007 සහ 2011 පන්දුවාර පණහ ලෝක කුසලාන තරගාවලිය මෙන්ම අවසන් වරට පැවැති පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලි ද්විත්වයේදීම ශ්‍රී ලංකාව අවසන් මහ තරග වරම ලබමින් අනුශූරයන් බවට පත්විය. අදාළ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසා සිටින්නේ 'අපි ගොඩක්‌ වෙලාවට අවසන් මහා තරගයට ඇවිල්ල පරාජය වෙලා තිබුණත් මෙවර එය වෙනස්‌ කිරීමට කණ්‌ඩායමක්‌ ලෙස ශක්‌තිමත්ව තරග වදිනවා" වශයෙනි.

No comments:

Post a Comment