අතේ ඇඟිලි පහෙන් එකක් අඩු වුණත් පාරක් පාරක් ගානේ හිඟාකන්න පටන් ගන්න ලංකාවේ බොහොමයක් උදවිය වගේ වැව්ගම්පත්තුවේ කරුණාරත්න නම් හිඟමනට බැස්සේ නෑ. හුරු අත නැති වුණත් නුහුරු අතෙන් තමන්ගේ වැඩ කටයුතු තනියම කරගෙන ජීවිතේ පටන් ගත්තේ කාවත් පුදුම කරමින්.
අත නැති වුණත් කරුණාරත්නගේ පුරුදු ජීවන වෘත්තිය වෙච්ච මේසන් බාස්කම අතහැර දාන්න කරුණාරත්න යන්තම්වත් කැමති වුණේ නෑ. අහුවෙන අහුවෙන විදිහට මේසන් වැඩ බාරගෙන තනි අතින්ම ඒ මේසන් වැඩ කරන කරුණාරත්න කාගෙන්වත් දොසක් නාහ තමන් බාරගන්න වැඩ තිතට කරගෙන යන බව කරුණාරත්නව දන්න කියන කවුරුත් කියනවා.
මේසන් හැන්ද වගේම උදැල්ල, කැත්ත, පිහිය ඔය කොයි ආවුදේ වුණත් කරුණෙගේ තනි අතට හොඳට හුරුයි. බෑ කියලා දෙයක් නෑයි කියලා නිතර කියන කරුණේ හිටි ගමන් මහ විශාල ගස් උඩ පවා තනියම නගින බවත් නොකියාම බෑ.
ගල්ඔය උක් ගොවිපොළේ ආරක්ෂක නිලධාරියෙක් හැටියට මේ වෙනකොට සේවය කරන කරුණාරත්න තවත් ටික කාලෙකින් මොන මොනවා කරයිද කියලා කියන්න කාටවත් බෑ. නපුරු කමක් අහලකවත් නැති කොයි වෙලේ බැලුවත් සුන්දර හිනාවකින් මූණ පුරෝගෙන ඉන්න කරුණාරත්නගේ මූණත් හරියට සරුවට වැඩුණු ගලඔය මිටියාවතේ උක් යායක් වගෙයි. ගමේ කිසිම කෙනෙක් එක්ක ආරවුල් ප්‍රශ්න ඇති කරගෙන නැති කරුණාරත්නට
ගල්ඔය මිටියාවතේ කවුරුත් කැමතියි.
කරුණාරත්නගේ සම්පූර්ණ නම් ඩී.එම්. කරුණාරත්න, අම්පාර ගල්මඩුවේ ගල්ඔය පාලම අසල තියන අංක 105 දරන නිවසේ කරුණාරත්න දැනට ජීවත් වෙනවා. කරුණාරත්නගේ ගෙදරට යන කාට වුණත් කරුණාරත්නගේ දිරිය තමන්ගේ ඇස්වලින්ම බලා ගන්න පුළුවන්. කරුණාරත්නගේ වත්ත පුරාම බව භෝග වගා කරලා තියන හැටි දැක්කාම කරුණාරත්නට අත් හතරක් තියනවාදෝ කියලා විටෙක සැක හිතෙනවා.
හිතේ හයියෙන් වැඩ කරගෙන රටට බරක් නොවී වැව්ගම්පත්තුවට ආඩම්බරයක් වෙච්ච කරුණාරත්න වගේ තවත් අය ලංකාවේ කොතෙකුත් ඇති. ඒ හැමෝම රටට ආඩම්බරයක්. අතක් පයක් නැති වුණා කියන්නේ ජීවිතය එතනින් ඉවරයි කියන එක නොවන වග රටට පෙන්වන දිරිය මිනිස්සු ඉන්නේ බොහෝම අඩුවෙන්. ඒ අතරිනුත් අහිංසකකමත් ප්‍රසන්න බවත්, අවංකකමත් කැටි කරගත්තු කරුණාරත්න වගේ අය බොහෝම අල්පයි.
සඳරුවන් ජයවික්‍රම
No comments:
Post a Comment